නොදනිමි කාගේ දොසා..!

1963 වසරේ නොවැම්බර් මස 22 වැනි දින ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලාස් නගරයට තවත් එක් දවසක් උදා විය. විවෘත ලිමොසින් මෝටර් රථයක නැගුණු ජනපති ජෝන් එෆ් කෙනඩි සහ රූමත් ආර්යාව ජැකලීන් කෙනඩි දෙපස පොදිකන මහා සෙනග අතරින් ඉදිරියට ඇදී ගියහ.

එක්වරම නිකුත්වන වෙඩි හඬකි. ගෙල පෙදෙස දෑතින්ම ආවරණය කරන ජනපතිවරයා ආර්යාව දෙසට නැඹුරු වන අතරම තවත් වෙඩි හඬක් පිට විය. ලේ මස් සමග හිසෙහි පැත්තක් සුණු විසුණු වී යන කෙනඩි අප්‍රාණිකව ඉදිරියට නැමෙයි.එසැණින් රූමත් ජැකී, ඉදිරියට ධාවනය වන රථයේ පසුපස බඳ පෙදෙස මත දණ ගාන අයුරු ද පසුපස රථයේ සිට දිවවිත් ලිමොසින් රථයට ගොඩවන ප්‍රභූ ආරක්ෂකයා ඇයව වළක්වන අයුරුද දක්නට ලැබිණි. ඇය බිය වැද තම ආරක්ෂාව පිණිස එසේ කරන්නට ඇතැයි බොහෝ දෙනා සිතුවද එහි සිදුව තිබුණේ වෙනකකි.කම්පනයට පත් ඒ සියුමැලි රූමතිය අනතුර නොතකා රිය බඳ වෙත පිවිසෙන්නේ සැමියාගේ මොළයෙන් විසි වී ගිය කැබැල්ලක් වැටෙනු දැක අසුලා ගැනීමට ය.

ඇමරිකා එක්සත් ජනපද ඉතිහාසයට එක් ජනපතිවරයෙක් අහිමි වී යද්දී විශාල, ගැඹුරු හදවතක් ඇති සියුමැලි ළඳකට තම සැමියාගේ දුක්ඛදායක වියෝගය සහ කම්පනය උරුම විය.

2011 වසරේ ජූලි මාසයේ 19 වැනි දා ලන්ඩනයට තවත් දවසක් උදා විය. ලෝ ප්‍රකට මාධ්‍ය කුවේර රූපට් මර්ඩොක් තමාට එරෙහිව එල්ල වන දුරකතන සංවාද පටිගත කිරීමේ චෝදනාව සම්බන්ධව වගඋත්තර බඳිමින් සිටියේය. එක් මොහොතකින් අසූ හැවිරිදි මර්ඩොක් ඉදිරියට කඩා වැදුණේ ක්‍රීම් බඳුනක් අතැති පුද්ගලයෙකි. ක්‍රීම් බඳුන මර්ඩොක් ගේ මුහුණ වෙත එල්ල වන අතරවාරයේ අසුරු සැණින් දුන්නක් සේ නැගී සිටින්නී වෙන්ඩි ඩෙන්ග් ය. මර්ඩොක් පසුපස සංසුන්ව අසුන්ගෙන සිටි වෙන්ඩි සැණින් ව්‍යාඝ්‍ර ධේනුවක් මෙන් ඉදිරියට පැන සැමියා ආවරණය කරන අතර ඉසිඹුවක් නොලබා ම ප්‍රහාරකයා වෙත දකුණත් කම්මුල් පහරක් එල්ල කරන්නීය.

එතෙක් කල් ‘ඉල්ලමක් ගරන්නියක’ හෙවත් Gold Digger ලෙස හැඳින්වූ, 80 හැවිරිදි සැමියාට වඩා 38 වසරක් ලාබාල 42 හැවිරිදි වෙන්ඩි ඩෙන්ග්, එක රැයකින් පරමාදර්ශී භාර්‍යාවක් බවට පත් වූවාය. චීනයෙන් සංක්‍රමණය වූ වෙන්ඩි 1999 වසරේ දී රූපට් මර්ඩොක් හා විවාහ වූයේ ඔහුගේ තෙවන නීත්‍යානුකූල භාර්යාව ලෙසිනි. මර්ඩොක් විසින් වෙන්ඩිව ආවාහ කරගනු ලබන්නේ වසර 32 ක දෙවැනි විවාහය කටු ගා දැමීමෙන් අනතුරුවය.

ප්‍රේමය සංසාරික හැඟීමක් ද සදාකාලික බැඳීමක් ද යන්න අප ඉදිරියේ ප්‍රශ්න කරන්නේ ජැකලීන් කෙනඩි සහ වෙන්ඩි මර්ඩොක් ය.

තම උකුල් තලය මත හිස සුණු විසුණුව මිය යන ජෝන් එෆ්. කෙනඩි සහ ජැකලීන් අතර පැවතියේ අසාර්ථක යුග දිවියක් බව සඟවන්නට අවශ්‍ය නොවීය. ජනපතිවරයාගේ බොහෝ ප්‍රේම ජවනිකා පිළිබඳව ලෝකයම දැනුවත්ව තිබිණ. නමුත් අවසාන මොහොතේ හෝ තම ස්වාමි පුරුෂයා පිළිබඳ වූ අංශු මාත්‍රික හෝ ප්‍රේමය බුර බුරා නැගුණ තැන ජැකලීන් කෙනඩි ධාවනය වන රිය බඳක පසු පසට දණ ගෑවාය.

වෙඩින් ඩෙන්ග් ද තම වියපත් සැමියා වෙනුවෙන් චීන ව්‍යාඝ්‍ර ධේනුවක් බවට පත් වූව ද ඇය ඔහුගේ සදාකාලික පාද පරිචාරිකාව බවට පත් වන්නේ නැත. 2011 වසරේ ලෝකය ඉදිරියේ පරමාදර්ශී භාර්යාව වන වෙන්ඩි 2013 වසරේ දී රූපට් මර්ඩොක් ගෙන් වෙන් වී ස්වාධීන ජීවිතයක මුල් ගල තැබුවාය. නමුත් වේගවත් දකුණත් අතුල් පහරක් හරහා ඇය ප්‍රකට කළ මර්ඩොක් කෙරෙහි වූ ආදරය; ඉතිහාසයේ සටහන් වන්නේ නොමැකෙනා පරිද්දෙනි.

ආදරය යනු අසුරු සැණකදී ඇති විය හැකි දෙයක් බවත්, අවැසි කුමන හෝ මොහොතක පුළිඟුවක් සේ දැවී මියැදෙන්නට හැකි බවත් ල්, අවැසි නම් දැවි දැවී පවතින්නට වුව ද හැකි බවත් සාක්ෂ්‍ය දරන්නේ මෙමිහිමත ගොඩ නැගෙන ඉතිහාසය විසිනි.

2012 වසරරේ දී දහ හත් හැවිරිදි ලාබාල සිසුවියක සමග පැවති ප්‍රේම සබඳතාවක මත ගැටුමක් අවසානයේ වියපත් මේජර්වරයෙකු මාතර තිහගොඩ දී මෝටර් රථයේ රියදුරු අසුනේ හිඳගෙනම බෝම්බයක් පුපුරුවා ගත්තේ ය. විවාහක දෙදරු පියෙක් වන මේජර්වරයා තමා ඉදිරියේ ජීවිතක්ෂයට පත් වනු දැක ලාබාල පෙම්වතිය බියෙන් පලා යන්නට අසාර්ථක උත්සාහයක යෙදුණාය. අන් යුවතියක් වෙනුවෙන් දකුණුදිග මූදු තීරයට ගොස් සිය පණ නසා ගත් ස්වාමි පුරුෂයාගේ මෘත දේහය භාරගත් කුරුණෑගල පදිංචි භාර්යාව අත් නොහැර, පලා නොමගොස් පණ සුන් සිරුර බදා වැළපුණාය. ලාබාල යුවතිය ළඟ ආදරය තිබිණිදැයි විනිශ්චය කරන්නට අප ඉක්මන් විය යුතු නැත. නමුත් විවාහක බිරිඳ අප කතා කරන්නට වදනක් හෝ ඉතිරි නොකළාය.

ආදරය සංසාරික විය යුතු නැත. සදාකාලික විය යුතු නැත. අත්වැල් බැඳන් බොහෝ දුර යා යුතු නැත. රක්ෂණාවරණයකට මෙන් ආරම්භක දිනයක් සහ කල් ඉකුත් වන දිනයක් ද නැත. නමුත් අපි ආදරය සොයන්නට දිනයක් වෙන් කර ගනිමු. අවුරුදු දිනයට සැඟවුණු අමුත්තා සොයා කුල්මත් වන ළමා ලපටි මෙන් නම් කරගත් දිනයක දී ආදරය සොයා ඉතිරි දින සති මාස ගණන් සාංකාවෙන් ගත කරමු. ආදරය දිනයකට ලඝු කළ නොහැකිය. මන්ද එය ඇත්තේ ඔබ මම ජීවත් වන මෙමොහොත තුළම වන බැවිනි.

‘මගේ මිනිහා ට අත තියන්න තෝ කවුද ?’ වනාහි එහි තවත් එක්තරා පැතිකඩකි. නමුත්; වැදි රජුට අසිපත දිගු කර අවසානයේ මහ වන මැද අසරණ වන මනමේ කුමරියක දැකීමට ආශා කරන අප, කුමරා ගලවාගනු පිණිස වැදි රජ සමග සටන් වදින මනමේ කුමරියක දැකීමට අකැමැත්තෙමු. එය ජාතක කතාකරුගේ පටන් පුරාතන නාඩගම්කරු ද නූතන නාට්‍යකරු ද දක්වා ම චිරන්තන සම්ප්‍රදායය ඔස්සේ අපට ඉගැන්වූ දෙය ය.

‘මගේ මිනිහා ට අත තියන්න තෝ කවුද? ‘

‘නොදනිමි කාගේ දොසා’ වර්ගයේ සිදුවීමක් වුව ද මරන්නට ගෙන යන සතෙක් සේ තම සැමියාගේ ගෙලෙන් ඇදගන්නා පොලිස් භටයා ට මහ හඬින් මුරගාන්නී; මනමේ ෆැන්ටසියට එල්ල කරන අභියෝගය සම්ප්‍රදායයික චින්තනය කළඹවනසුලු ය.

– සහන් කසීර වික්‍රමසිංහ –
උපුටාගැනීම : ෆේස්බුක්

Social Sharing
නවතම විශේෂාංග