ගෝඨාගෝ ගම ඉවත් කළ හැකිද?

පොලීසිය ගෝල්ෆේස් අරගල භූමිය අධිකරන නියෝගයක් හරහා ඉවත් කරගැනීම සඳහා මෙහෙයුමක් පටන් අරගෙන තිබෙන බව පේනවා.

දැනගන්න තිබෙන විදිහට මේ වෙනකොට පොලීසිය අපරාධ නඩු විධාන සංග්‍රය පනතේ 106(2) සහ 106 (3) වගන්ති සමග කියවිය යුතු 106(1) වගන්තිය යටතේ අරගල භූමිය නිසා මහජන පීඩාවක් සිදු වන බව තහවුරු කරන්න කොටුව පොලිස් ස්ථානාධිපති නීතිපති දෙපාර්තුමෙන්තුව හරහා පිටු 15​ක පමණ දීර්ඝ කරුණ දැක්වීමක් අද (06) අලුත්කඩේ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයයේදී සිදුකරලා තියෙනවා කියලා නීතීඥ ප්‍රබෝධ රත්නායක ප්‍රකාශ කරනවා.

ඒ අතරේ අද වාර්තා වෙනවා අතිරේක  මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුළවෙල මෙම නඩු විභාගයෙන් තමන් ඉවත් වන බව ප්‍රකාශ කරනවා.  ඊටපස්සේ අංක 03 මහෙස්ත්‍රාත් අධිකරණයේ දී අංක 21990 දරණ මෙම නඩුව නැවත කැඳවූවාට පස්සේ මේ නඩුව තවදුරටත්  විභාග කරන්න මැයි 10 වන දිනට නඩුව කල් යනවා.

මේ හැසිරීමට අනුව උද්ඝෝෂකයන්ට අවාසි ජනාධිපතිවරයාට සහ රජයට අවශ්‍ය කරන තීන්දුවක් ලැබීමේ යම් ඉඩකඩක් තියෙනවා. මෙම නඩුවට උද්ඝෝෂකයන්ගේ පාර්ශවයෙන් සම්බන්ධ වෙන්නේ රජයේ නීතිඥ සංගමය. ඔවුන් දැනටත් විරෝධය පලකරලා තියෙනවා.

ඇත්තටම අධිකරණය යම් නියෝගයක් දෙන්න හිතුවොත් ඒ නියෝගය දෙන්නේ කාටද? මෙතන අරගල භූමියේ කිසිම නායකයෙක් නායකත්වයක් හෝ නායක මණ්ඩලයක් නැහැ. එහෙමනම් මෙතන රැස්වෙලා ඉන්න දහස් සංඛ්‍යාත සියල්ලටම විරුද්ධව අධිකරණය නියෝග නිකුත් කරන්න ඕනී. ඒත් මම හිතන්නේ නෑ ඒක ප්‍රයෝගියකයි කියලා.

අනෙක් පැත්තෙන් අධිකරණය ගෝල්ෆේස් අරගල භූමිය ඉවත් කරන්න කියලා නියෝග කළොත් ජනතාව යන්න බැහැ කියලා එතන රැඳී සිටියොත් මොකද කරන්නේ? අල්ලලා ලක්ෂ සංඛ්‍යාත ජනතාව සේරම හිරේට දක්කනවද?

අපිට නඩුවේ කරුණු ගැන කතාකරන්නට අයිතියක් නෑ. ඒත් ජනතාවට විශාලම පීඩනය එල්ලකරලා තියෙන ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ගෙදර යැවීම වෙනුවෙන් අපිට කතාකරන්න අයිතියක් තිබෙනවා. ගෝල්ෆේස් අරගල භූමිය ජයග්‍රහනය තෙක් රැකගන්නට දේවල් කරන්නට අපිට අයිතියක් තිබෙනවා.

මෙතන කියන්නේ ජනතාවට හිරිහැර වෙනවා කියලා. මේ වෙනකොට ආයෙත් රට හැමතැනම තෙල් පෝලිම්. ඒවා ජනතාවට හිරිහැරයක් නෙවෙයිද? මේ වෙනකොට රෝහල්වල අත්‍යාවශ්‍ය බෙහෙත් ජාති නෑ. එතකොට ඒක ගෝල්ෆේස් අරගලයට වඩා ජන පීඩනයක් ගේනවා නෙවෙයිද? මේ ආර්ථික පීඩනයෙන් රට මුදාගන්න නම් මේ පවුල යනකම් මේ භූමිය අරගල භූමියක් විදිහට පවතින්න වෙනවා. ඔව් ඒක එහෙමයි කියන දේශපාලන තීන්දුව අරගලකරුවන් ගත යුතුයි.

ඔව් අපි බලමු..!

ආණ්ඩුවට සහ ලොක්කෝ ඇත්තටම ජනතාවට කැමතිනම් කරන්න තියෙන්නේ ජනාධිපති ලේකම් කාර්‍යාලට ඉස්සරහා ප්‍රදේශය ෂැංග්‍රීලා හෝටලය අසලින් වහලා දාන එක. ඊටපස්සේ දූපතක් වගේ කෑල්ලක් මේ අරගලයේ ජනතාවට දෙන එක. ඔව්න් තමන්ගේ සාධාරණ අරගලය එතන ඉඳලා ක්‍රියාත්මකකරන්න අමාරු නෑ.

ඇත්තටම මේ තත්ත්වය එක්ක දැන් කරන්න තියෙන්නේ අරගල භූමිය ආරක්ෂා කරගන්න වෙහෙසෙන එක. උදෑසන කාලෙට සෙනඟ අඩුවෙන වෙලාවල්වලට තවත් සෙනඟ ගෙන්වා ගන්න එක. මෙතනට එකතුවෙන ප්‍රජාව වැඩිවෙන්න වැඩිවෙන්න රාජ්‍යයට තමන්ගේ කූඨ උපායන් හකුලා ගන්න සිද්ධ වෙනවා. ඊටපස්සේ අරගලයේ ප්‍රධාන සටන් පාඨ යතාර්ථයක් නොවෙන තාක් මෙම ස්ථානයෙන් යනවා කියන කිසිඳු සාකච්ඡාවක් නොගෙන ඉන්න අරගලකරුවන් තිරව අදිටන් කරගන්න ඕනී.

ඒ වගේම අපිට පුලුවන් සියලු ජනතාව එකතුවෙලා ආණ්ඩුවට කියන්න, ගෝඨාභය, උබ යනකම් අපි යන්න සූදානම් නෑ කියලා. එහෙම මතයක් හදන එක සෑහෙන්න වැදගත්.

මෙච්චර අසීරුතා දෙනිකව විඳින රටක ගෝල්ෆේස් අපහසුතා කියන්නේ මොන බක්කද? වෙහෙරවිහාර ගිල්පු අයට අග්ගලේ කියන්නේ කජ්ජක්ද? නෑනේ.

Gotagoogama galle face protest Anura Kumara Dissanayake sajith premadasa

කේ. සංජීව

Social Sharing
නවතම විශේෂාංග