කකුළු පාර්ලිමේන්තුව..!

ඊයේ (26) දා පළාත් සභා හිටපු නියෝජිතයන් හමුවූ අගමැති මහින්ද රාජපක්ෂ තරුණ හැඟීමෙන් කීවේ තමන් යන්න සූදානම් නැති බවය. ගමේ සිට කොළඹ පැමිණ තිබූ හිටපු පළාත් නියෝජිතයන් ඔල්වරසන් දුන්හ. ඔවුන් නැවත ගමට ගිය පසුව ඔවුන්ගේ ගෙවල්වලට යන්නට තරුණ උද්ඝෝෂකයන් කටයුතු කරාවිදැයි අපි දන්නේ නැත. මේ අහු අස්සේ හිටපු අමාත්‍යවරියක් වන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය යූ ටියුබ් නාලිකාවක් සමග එකතුව ප්‍රකාශ කරන්නී මේ අයියා මලෝ වහාම තනතුරු අතහැරිය යුතු බවය. ඇය එහිදී ඖෂධ හිඟය ගැන සානුකම්පිතව අදහස් දක්වනු පෙනුනි. ජනතාවගෙන් සමාවද ඉල්ලා සිටින්නීය. මේ දේවල් මෙහෙම උනත් ප්‍රශ්නය විසඳෙන බවක් පෙනෙන තෙක් මානයක නැත.

පසුගිය 26 දා වෙනවිට දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කර තිබුණේ විශ්වාසභංගයෙන් පසු තැනෙන ආණ්ඩුව ගැන නොදැන තමන් විශ්වාසභංගයට සහාය නොදෙන බවය. මෙම ප්‍රකාශයේ වාචාර්ථය මෙය වුණත් ටීඑන්ඒ මෙම විශ්වාසභංගයට සහාය දෙනු ඇතැයි සිතිය නොහැකිය. එයට හේතුව වර්තමාන ඉන්දියානු හැසිරීමයි. වර්තමානයේ ඉන්දියාව රාජපක්ෂ පවුල සමග ගනුදෙනු කරන ස්වරය සහ ඔවුන් අයිඑම්එෆ් සාකච්ඡාවලට සහභාගීවී සිටින සෙයියාව අනුව ඔවුන් රාජපක්ෂලා ගෙදර යවා චීනන්සරණං ගච්ඡාමි ඩලස්-විමල් ආණ්ඩුවක් ගෙන එනු ඇතැයි සිතිය නොහැකිය.

සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා ප්‍රකාශ කරන්නේ ඡන්දයක් හරහා ජනව‍රමින් ආණ්ඩුවක් ලැබුණොත් මිසක්කා තමන් ආණ්ඩු කරන්නට සූදානම් නැති බවය. ඔහු ප්‍රශ්න කරන්නේ ජනතාව ගෝඨා ගෝ හෝම් කියද්දී ගෝඨාභය නායකත්වයේ තබාගෙන අන්තර්කාලීන ආණ්ඩුවක් හැදීමට පුලුවන් ද කියා ය. ජනතාව හොරු අල්ලන්න කියන විට, හොරු සමග ආණ්ඩු හදා හොරු අල්ලන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කරයි. ඔහු එහිදී කියන්නේ 2015 දී හොරු අල්ලපු ආකාරයෙන් මෙවරත් හොරු අල්ලන්න ජනතාව සූදානම් නැති බවයි. ඔහු කියන මේ කතාවත් ඇත්තය..! 2015 දී මේ පිරිස් සමග සිරිසේන ආණ්ඩු කළ ආකාරය අපි හොඳටම දැක ඇත්තෙමු. එහෙත් ප්‍රශ්නය එතරම්ම සරළ ද?

මේවනවිට ලංකාව උද්දමනය අතින් ලෝකයේ තුන්වෙනි තැනට කප් එක ගසා ඇත. අපිට ඉහළින් සිටින්නේ සිම්බාබ්වේ සහ ලෙබනනය පමණය. අයිඑම්එෆ් සාකච්ඡා සාර්ථක වීමට මාස 06කට වඩා වැඩි කාලයක් ගත වෙනු ඇත. එම සාකච්ඡාවන්ද සාර්ථක වෙනු ඇත්තේ දේශපාලන ස්ථාවරථවය උඩය. දේශපාලන සමගිය සාදාගැනීම පාර්ලිමේන්තුවේ මූලිකම වැඩේ විය යුතු බව අපි කියන්නේ ඒ නිසා ය.

පසුගිය මහින්ද රාජපක්ෂ යුගයේ අපිට ඇගට දැනෙන්න නෙළුම් කුළුණු, වරාය නගර, සම්මන්ත්‍රන ශාලා, අධිවේගී මාර්ග දුන් චීනය කියන්නේ තමන් ණය ප්‍රථිව්‍යුහගත කරන්නට සූදානම් නැති බවය. ඕනෑ නම් තම ණය පියවීමට තවත් ණයක් දෙන්නම් යැයි ඔවුන් ප්‍රකාශ කරයි. චීන තානාපතිගේ මෙම ප්‍රකාශය අප බරපතළ ලෙස කියවාගත යුතුය. ඔහු මේ නොකියා කියන්නේ තම රට, ලංකාව IMF යනවාට අකමැති බවය. තවත් විදිහකින් කියනවානම් ඔවුන් මේ කියන්නේ ඉන්දියාව ප්‍රමුඛව බටහිර සමග එකතුව මෙම ආර්ථික අර්බූදය විසඳාගන්නට ලංකාව ගන්නා උත්සාහයට තම රට විරුද්ධ බවය.

ඉන්දියාව, ඇමරිකාව සහ යුරෝපා සංගමය අයිඑම්එෆ් සාකච්ඡා සාර්ථක කර ගැනීම සඳහා සක්‍රීයව මැදිහත්වීම සහ චීනයේ මෙම ප්‍රතික්‍රියාව අපි එක විට බැරෑරුම් ලෙස කියවා ගත යුතුය. ඒ මන්ද මෙම ලෝක බල දේශපාලනය ලංකාවේ මෙම ආර්ථික අස්ථාවරත්වය සහ දේශපාලන අස්ථාවරත්වය තවතවත් උග්‍ර කළ හැකිය. බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂවරුන් මේවනවිට තමන්ගේ මවු රට වන ඇමරිකාව දෙසට පූර්ණව හැරී සිටියි. මෙම තත්ත්වය චීනය ඉවසන බවක් පෙනෙන්නට නැත. ඔවුන් ඩලස්-විමල් බල හවුලට උදව් කරනවා නිසැකය. ඒ මෙම තත්ත්වය තුළ ඔවුන්ගේ මස් රාත්තල ආරක්ෂා කර ගන්නට ය. අනෙක් පැත්තෙන් ඉන්දියාවද ටීඑන්ඒ හරහා හැදෙන්නට යන මෙම නව දේශපාලන බල ව්‍යාපෘතියට සිය විරෝධය පළ කරනු ඇත. ටීඑන්ඒ මෙම විශ්වාසභංගයට අත්සන් කරන්නේ නැති බව කියනකොට අපිට ඉන්දියාවේ මේ මැදහත් වීමේ දේශපාලනය තේරුන් ගැනීමට අපහසු නැත.

මෙම බල දේශපාලන මොහොත ගැන මෙන්ම මේ අසීරු මොහොත ගෙවාගන්නේ කොහොමද සහ ලංකාව ආර්ථික සහ දේශපාලන අතින් පූර්ණ අරාජිකත්වයක් දෙසට තල්ලු නොකර සිටින්නේ කෙසේද යන්න ගැන නැවත නැවතත් ලංකා පාර්ලිමේන්තුවේ සාමාජිකයින් කල්පනා කළ යුතුය. රාජපක්ෂවරුන් එලවාදමා හැදෙන්නේත් පොහොට්ටු ආණ්ඩුවක් නම් එයට පාර්ලිමේන්තුවෙන් පිටත සුජාතභාවයක් නොලැබෙනු ඇත. අනෙක් පැත්තෙන් ඒ ආණ්ඩුවේ අගමැති වන්නේ ඩලස් අලහප්පෙරුම වැනි කෙනෙක් නම් එය ඉන්දියාවට රුස්සන්නේ නැති වෙන්න පුලුවන් ය. එනිසා මේ අවස්ථාවේ මේ හැම පැත්තම බේරාගෙන රටත් බේරා ගන්නේ කෙසේද කියන එක ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කල්පනා කළ යුතුය.

සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාද ආණ්ඩුවක් පිහිටුවීම එලබෙන ඡන්දයකට කල් නොදමා ඊට මෙහා විසඳුමක් පිළිබඳව කල්පනා කළ යුතුය. ඔහු අන්තර්කාලීන ආණ්ඩුවකට එකඟ නැතිනම් ඔහුගේ පක්ෂයේ වෙනත් නායකයෙක්ට මෙම අන්තර්කාලීන ආණ්ඩුවේ නායකත්වය ගැනීමට ඉඩකඩ ලබාදිය යුතුය. පසුගිය දා ප්‍රකාශයක් කරමින් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ප්‍රකාශ කළේ විපක්ෂය මෙම අභියෝගය භාර ගත යුතු බවය.

මේ ලියුම්කරුගේත් අදහස විපක්ෂය කුමන අසීරුතා තුළ වුණත් මේ අභියෝගය භාර ගත යුතු බවය. එය දේශපාලන ස්ථාවරත්වයට මේ මොහොතේ අවශ්‍යම දෙයක් ය. ආචාර්‍ය හර්ෂ ද සිල්වා, පාඨලී චම්පික වැනි නායකයෙක්ට මේ අවස්ථාව දිය යුතු බව මේ ලියුම්කරුගේ අදහසයි. එය එසේ නොකර ඩලස් ලා ආණ්ඩුවක් හදනකම් බලාසිටීම තුළ රට තව තවත් අස්ථාවරත්වයට පල්ලම් බහිනු නියතය.

සමගි ජන බලවේගය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණත් මේ අවස්ථාවේ පාර්ලිමේන්තු මැතිවරණයක් ඉල්ලා සිටී. එය ඔවුන්ගේ දේශපාලන බල ව්‍යාපෘතියට අනුව නිවැරදි තීරණයක් විය හැකිය. එහෙත් රටේ වර්තමාන ආර්ථික තත්ත්වය ඉල්ලා සිටින්නේ තවත් විශාල මුදල් කන්දක් වියදම් වෙන මැතිවරණයක් නොව දේශපාලන සාමයක් ය. රට කඩා නොවැටී ජන ජීවිතය විනාශ වන්නට නොදී රැකගත හොත් ඉදි‍රියේදී මැතිවරණ ඕනෑම ප්‍රමානයකින් තියාගන්නට පුලුවන් ය.  එනිසා මුලින්ම අප වර්තමාන අර්බුදය කළමනාකරණය කරගත යුතු වෙමු. ඒ සඳහා මුලින්ම ජනතා විශ්වාසය රැඳෙන සුජාත ආණ්ඩුවක් සාදා ගත යුතුය. දෙවෙනුව එම ආණ්ඩුව ගෝඨාභය රාජපක්ෂ ගෙදර යැවීම ගැන සලකා බැලිය යුතුය.

වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ඩලස්_විමල් හවුල සමග රහස් එකඟතාවයක් තිබෙන බව පෙනෙයි. එම එකඟතාවය මේ මොහොතේ රට තව තවත් අරාජික කරනු නියතයක් ය. එනිසා විපක්ෂය මෙන්ම ආණ්ඩුව තුළ සිටින ස්වාධීන යැයි කියන මන්ත්‍රීවරුන්ද මේ රහස් එකඟතාවය ගැන සිතිය යුතුය. වර්තමාන දේශපාලන අස්ථාවරත්වය තුළ ඩලස් අලහප්පෙරුම අගමැතිකර මේ ප්‍රශ්නවලට විසඳුම් සෙවිය නොහැකිය. අඩුම එම තත්ත්වය විසඳුමක් දෙසට යන මාර්ගයේ නවාතැනක් හෝ නෙවෙනු ඇත. එය මෙම ආර්ථික සහ දේශපාලන අර්බුදය තවත් දැඩි කරනු ඇත. එනිසා විපක්ෂයේ සිටින නායකයන් මේ මොහොත බැරෑරුම්ව තේරුම් ගත යුතුය.

කකුළුවන් නටන්නේ දිය රත් වෙනකම් ය..!

politics-in-sri-lanka-dullas-alahapperuma-gotabaya-rajapaksa-president

-කේ. සංජීව-

Social Sharing
නවතම විශේෂාංග