පැහැනද පහන් හි, සුනන්ද කිරණ

සුනන්ද කරුණාරත්නගේ ‘පැහැනද පහන්’ කාව්‍ය සංග්‍රහය කියවීමි. මට හැඟුණේ සුනන්ද සෑහෙන තරම් පරිණත බවක් වෙත පිය නගමින් ඇති බව ය. මේ ඔහුගේ තෙවැනි කාව්‍ය කෘතිය යි. ඊට වඩා බොහෝ කාව්‍ය සංග්‍රහ එළිදක්වා ඇති ඇතැම් කවීන්, තම කවි මාවත් හි මැද දුරක පමණ පසුවෙත් දී මේ ගුණය අත්-පත් කර ගත් අවස්ථා අපි දකිමු. ඔවුනගේ කෘති සංඛ්‍යාත්මක ඉහළ අගයක් ගන්නා විට අලංකාරික, වාත්තුමය භාෂා වදුල් හි මුවා වී අගනා කාව්‍ය මූලාශ්‍ර නාස්ති වී යනු ද දකිමු. ‘පැහැනද පහන්’ ඒ අගතියෙහි සිර නොවී දල්වන්නට සුනන්ද සූකෂ්ම වී ඇති බැව් හඟිමි. එකී ගුණය  ඉදිරියට ද සිඳ නොගෙන කවියෙහි තත්පර වන්නට හැකිවේවා යි පතමින් මූලිකව ඔහුගේ කාව්‍ය නිර්මාණ දෙකක් වෙත අවධානයය යොමු කරමි.

ඉරාගෙන කොපි පොතෙන් පිටුවක්

තනා දෙන්නැ යි කුඩා ඔරුවක්

මා සිඟිති පුතු කරයි ඇවටිලි

බිඳලමින් දිගු සිහින දැහැනක්…

(‘කඩදාසි ඔරු’ , පැහැනද පහන් හි පළමු කව, පිටුව 11).

මේ කව ධනාත්මක සහ සෘණාත්මක ලෙස සංකල්පීය අන්ත දෙකක් ස්පර්ශ කරයි. මෙසේ ‘ධන’, ‘සෘණ’ වශයෙන් මා විසින් හැඳිනුම තරමක් රළු හා පටු ලෙස පෙනිය හැකි බැවින් එය, ‘අසාර’ වූ සහ ‘බලාපොරොත්තු සහගත’ වූ ලෙස කියවා ගැනීමට කැමැත්තෙමි.

පියාගේ භූමිකාව කළින් සංකේත ලෝකය කියවා ඇත. එලෙස ‘පෙර පුහුණු’ , ‘අවබෝධාත්මක’ සමයක් ගෙවී ඇති නමුදු, කාලය වියැකී ගොස් පවතින නිසා දාර්ශනික වශයෙන් ජීවිතය  සමග යළි අභ්‍යාස කළ නොහැක. පුතාගේ ඉල්ලීම ඉදිරිපත් වන විට පියා සිටිනුයේ වෙනත් දැහැනක වීම ද එහි ඵලයක් විය හැකිය.

රැගෙන ඒ පත් ඉරුව පුතුගෙන්

ඒ අතට මම නමා බලනෙම්!

මේ අතට මම නමා බලනෙම්!!

එකල සුන්දර ඔරු තැනූයුරු

මැකී ගොස් ඇත මතක පටයෙන්

(එම)

සැබවින් ම පියා සිටිනුයේ වෙනත් අභ්‍යාස තලයක ය. අතීතයේ සුන්දර ඔරු තැනූ අයුරු ඔහුගේ මතකයේ පවා නැත. කාලය තුළ පියා ඇද වැටුණු තැනින් පුත්‍රයා විෂයෙහි ඵලක් ඇති යමක් නොවේ. ඔහු සිටිනුයේ වෙනත් ලොවක ය.

එකල මහ වැසි වැටුණු දවසක

මිදුල සයුරක් මැවූ උදයක

නෙක කොදෙව් හා මහා දීප ද

දික් විජය කරන මෙන් අණවා

පා, කළෙමි මා සිඟිති ඔරු පෙළ

 

මගෙ සිඟිති කඩදාසි ඔරුවක්

අතර මග දී නො වී දියබත්

නම නොදත් නව කොදෙව්වක් වෙත

මතක නැත මට ඇදුණු දවසක්

(එම)

පියාගේ ඔරු ඔහු පැතූ කොදෙව් කරා නො ඇදී එසේ දියබත් වූයේ ඇයි ? එය සනාතන  දහමක් ද? නැතිනම් විය යුතු පරිදි ළමා කෙළියක අනිවාර්‍ය ප්‍රතිඵලය ද?

පියෙකු, පුතෙකු සහ කඩදාසි ඔරුවක් පිළිබඳ ඉල්ලීම නමැති, කවියේ මතුපිට වාස්තවික චරිත සහ වස්තු පිහිටුවීම, එකී සිද්ධියේ යථාර්ථමය ඉදිරිපත් කිරීමක් නොවී, ඒවා රූපක බවට පත් වීම වැඩිමනත් වටහා ගත  හැකි තැන එතැනය.

එහෙත් පතමින් අලුත් ඔරුවක්

සොයා යන මෙන් අලුත් මුහුදක්

මෙන්න දැන් මෙහි අලුත් නැවියෙක්

දිලෙන නෙතැති ව තිර ව සිටගත්!

(එම)

මෙසේ කවියේ අවසානය දක්වා යන විට,  පියාගේ අතීත පැතුම් බිඳී ගිය ආස්ථානයෙන් බලාපොරොත්තු සහගත ලක්ෂයකය මාරු වේ. එතැන දී දේශපාලන  දෘශ්ටිවාදයකින් මේ කවිය ගැනීමට රිසියෙකු ප්‍රීනණය වනු ඇති වුවත්,  වෙනත් අතිරේක යමක් සිදුවේ. ඒ කවියේ නාමකරණය ‘කඩදාසි ඔරු’ වීම වඩාත් ආගමික දාර්ශනික අන්තයකට ගමන් කරන බැවිණි. එය ‘අලුත් නැවියෙක්’ ලෙසින් නම් වූයේ නම් තාවකාලික හා කාලීන දේශපාලන සතුටකට ලඝු විය හැකි ව තිබිණි. කෙසේ නමුත් මේ දෙ අන්තයේ ම කඩදාසි ඔරු කවියේ හෘද ස්පන්දනය පණ නො ලබනු යැයි කිව හැකි නොවේ.

පැහැනද පහන් හි බොහෝ කවි, කවියාගේ අභ්‍යාසවෘධ බව පෙන්වයි. වැඩිමනත් ඒවා දීර්ඝ රචනා වුව, එසේ වී ඇත්තේ අනායාස ගලනයක් ඉල්ලා සිටින බැවින් මිස භාෂා ක්‍රීඩාවේ බලහත්කාර ඇඹුමක් නිසා නොවන බැව් පෙනේ.

අහෝ මාගේ පියාණෙනි!

ශෝක ඇත්තෙමි – සැලුම් ඇත්තෙමි

දැදුරු වී ළය – හුදෙකලාවෙනි,

ඔබේ ඒක මාංශ පුතු

අත්තික්කා ගස් ගොමුව යට

ගෙත්සෙමනෙහි!

(ගෙත්සෙමන උයනෙහි, පිටුව 13)

යම්කිසි ස්වාමිකාරකත්වයක් වෙත කවියෙහි කථකයා විසින් අමතනු පෙනෙන මෙය ‘මේ යැයි’ නිශ්චිත අරුත් පසිඳලීමකට වඩා අභ්‍යන්තරිකව විඳිය හැකි නිර්මාණයක් ලෙස දකිමි. එය රිසි රිසි තැනින් කපාගෙන නැවත හැඟීමට පෙරැළීම පහසු නැත. එහෙත්, පරමාදර්ශ බිඳවැටුණු ලෝකයක, ක්ෂිතිමය චිත්ත ස්වභාවයකුත්, ඒ ක්ෂිතියෙන් විගලිත වීමේ වුවමනාවෙන් පෙළෙන මනසිකාරයකුත් දැකිය හැකි වෙයි.

මා අනුව පැමිණියෝ නිද්‍රාවෙනි

පඳුරු යට ඇද දැමුණු දර කොටන් සේ!

මුනින් හෝනා ප්‍රේතයන් සේ!

අහෝ අත් නොහරිනු මැනව මා

ගෙත්සෙමනෙහි උයන් අහසින්

හිරු අස්තංගත හෝරාවෙහි

(එම)

භාෂා ආලේපයෙන් රසිකයාගේ බොටුවෙන් ඇද හොවා ගන්නා කෙමනක් ලෙස මෙය ලියැවී නැත. එවැන්නක් වූයේ නම් නිසි මගක් නොපෙනී කියවන්නා මුලා වනු ඇත. එවන් අතරමං වීම් හි ප්‍රථිඵලය කවියෙහි භාෂාවෙන් වික්ෂිප්තව බිහිවන විකාරරූපි විචාරයන් ය. මෙහි ඇත්තේ වෙනත් මානයකි. එය උගුලක් නොව විටෙක වංකගිරියකි. එහිදී ද අතරමං විය හැකි මුත්, ඒ කිසිදු මගක් නොපෙනීමෙන් නොවේ. බොහෝ මාවත් පෙනෙන මුත් ගමනාන්න්තය සටහන් කළ යුතු අක්ෂය නිශ්චය කර ගත හැකි නොවීමෙනි. නමුදු එය සෙවීමේ උත්සාහය තුළ ‘ගෙත්සෙමන උයන’  සහෘද සිත හා රමණය කරයි. ඒ නිමග්න වීම ම ඵලදායක ය. අප වැනි භින්න රුචිකයිනට එසේ වුව ද, මෙහි සංඥා දැනුමට පෙරළාගත හැකි ප්‍රබුද්ධ විචාරයකට මෙ කව පුළුල් මානයක් කරා විසෘත කියැවීමකට ලක් කළ හැකියැයි සිතමි. එහෙයින් ‘ගෙත්සෙමන’ බඳෙහි මධ්‍ය විඳිමින් එහෙත් එය යළි බසට පෙරැළීමෙන් මග හැර එහි අවසන සටහන් කරමි.

අන්ධ අඳුරෙහි නිදන විශ්වාස මදවුන්

ගොමරිති මෙන් පාගමින් උහු එළැඹෙත්

පියානෙනි මා මේ මධු කුසලානෙන්

නො බී එය දුරු වේ නම්,

ඔබේ කැමැත්ත වේවා!

ආමෙන්!

(එම)

කවි තිහක් සංගෘහිත ‘පැහැනද පහන්’ කෘතියෙන් මේ සටහන් කළේ දෙ කවක් ගැන පමණි. මෙය පුළුල් කියැවීමකට ඉලක්ක විය යුතු කෘතියකි. අවබෝධයෙන් නිර්මාණයකරණයේ නිමග්න කවියෙකුගේ ගතකි.

– විකුම් ජිතේන්ද්‍ර

Social Sharing
නවතම විශේෂාංග