15දා සජිත්ගේ සමගි ජන බලවේගය කොළඹදී දැවැන්ත උද්ඝෝෂණ පෙළපාලියක් කළා. සජබේ කට්ටිය නං ඉන්නේ රටේ බලය අල්ලපු මට්ටමේ ෆෝම් එකක. සජබෙ කට්ටිය ජනාධිපති ලේකම් කාර්යාලය වටකලා. කොහොමත් ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළට කඩා පනින්න එයාලගේ සැලැස්මක් නොතිබුණ බව පැහැදිලියි. නැත්තං වැඩේ කරන්න ඕනි තරං අවස්ථාව තිබුණා.
ඇත්තටම ඔයාලා දන්නවා රටේ රාළ සජිත්ගේ දේශපාලනය එක්ක එකඟ නෑ කියලා. ඒකට හේතුව සජිත් ප්‍රේමදාසගේ පුතා වීම නං නෙවෙයි. සජිත් රටේ ජනවරම ගන්න හදන්නේ දෙන්නං කාසිවලට. ඒ කියන්නේ රටට කිසිම වැඩපිලිවෙලක් ඉදිරිපත් කරන්නේ නැතිව, රාජපක්ෂ විරෝධයෙන් විතරක් ගොඩයන්න හදන්නේ. එතන සජිත් සහ රටේ රාළ අතර ගැටුමක් තියනවා. ඒක නිසාම සජිත් දෙන සමහර ටෝක් රටේ රාළට නං පේන්නේ විහිළු විදිහට. නිකං හිතන්නකෝ ඊයේ සජිත් කියනවා එයා බලය ගත්තම අරාබි රටවල් තුනක් පොරොන්දු වෙලා තියනවලු අවුරුදු දෙකක් අඛණ්ඩ තෙල් දෙන්න. අවුරුදු දෙකකින් සල්ලි ගෙවීමේ පදනමින්. එතකොට එයාලා ඒක කරන්නේ මොන හේතුවකටද? සජිත් එක්ක තියන ෆිට් එකටද? කොහේ හරි තානාපතිලා තුන් දෙනෙක් සජිත්ට ලණුවක් දීලා. ඇත්තටම ඒ වගේ කතා විශ්වාස කරලා ඒවා ජනතාවට කියන එකම මාර ජෝක් එකක්.
එහෙනං සජිත් ඒ රටවල් තුනත් කියන්න ඕනි. හැබැයි ඔතන කටාර් ඉන්නවා නං ඒක වෙනම ගේමක්? ඕවට කියන්නේ රාජ්‍ය තාන්ත්‍රික ලණු කියලා. අනික ඉතින් ඒක ඇත්තද බලන්න සජිත් මේ රටේ ජනාධිපති වෙන්නත් එපායෑ. හරි ඒ කතාව පැත්තකින් තියමුකෝ. රටේ රාළ අද කතා කරන්නේ සජිත් 15 කරපු උද්ඝෝෂණය සාර්ථකව නැද්ද කියන එක ගැන. ඇත්තටම ඒක ගැන සාධාරණ විග්‍රහයක් දෙන්න නං සජිත් කරපු වැඩේ ඇතුළේ තියන දේශපාලනය කතා කරන්න වෙනවා. 15 වැඩේ ගැන රටේ රාළට නං තියෙන්නේ මෙහෙම විග්‍රහයක්. පෙනුමෙන් සාර්ථකයි. ඒ වගේම හරයෙන් අසාර්ථකයි. පෙනුමෙන් ප්‍රගතිශීලියි. හරයෙන් කුහකයි. සජිත්ට ඒ ගැන තියන දේශපාලන තක්සේරුව මොකද්ද කියන්න රටේ රාළ දන්නේ නෑ. සජිත් ඔය වැඩේ තේරුවේ ලොකු දේශපාලන අර්ථයකින් බව දේශපාලනය තේරෙන ඕනි කෙනෙකුට තේරෙනවා.
සජිත් තෝරපු අරමුණට සාපේක්ෂව නං වැඩේ සාර්ථක ඇති. ඒ වගේම මේ වෙලාවේ රට පුරා නැගෙන රාජපක්ෂ විරෝධයට සාපේක්ෂවත් හොඳ වෙඩි මුරයක්. සජිත් එතනදී කෙලින්ම අභියෝග කළේ ගෝඨාභයට. විමල්ලා වගේ විරෝධය වෙන තැන්වලට තල්ලු කළේ නෑ. Head එකටම ගැහුවා. ඒක කළෙත් Head Office එක ළගදී. ඒක සජිත්ගේ අරමුණත් එක්ක හරියටම සමපාතයි. මොකද සජිත් ටාගට් කරන්නෙත් ජනාධිපතිකම. ඉල්ලන්නේ ජනාධිපතිවරණයක්. ජනාධිපතිගේ කාර්යාලය ඉස්සරහා ඉදන් ජනතාව ඉස්සරහා තියාගෙන ජනාධිපතිවරණයක් ඉල්ලනවා කියන්නේ සජබේ පාක්ෂිකයට ලොකු ආශ්වාදයක්. ඒ ආශ්වාදය ඇතුළේ සජිත් ඒ කඳවුරේ ජනාධිපති අපේක්ෂකයා තමන් කියලා අභිෂේක ලබනවා. ඒකෙන් සජිත් ඒ කඳවුර ඇතුළේ ඒ ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්න අයටත් කියනවා උඹලගේ හිතේ එහෙම එකක් තියනවා නං ඒක දැන්මම අතහැර ගනිල්ලා කියලා.
ඒ අය ඉස්සරහා සජබේ නායකයා විදිහට සජිත් ජනාධිපති අපේක්ෂක ඔටුන්න තමන් විසින් තමන්ටම දාගන්නවා. එතන හිටපු පාඨළීලට. ෆොන්සේකලට හෙමත් ඒකට හූරේ දාන්න උනා. ඊළඟට ඇත්තටම මේ රටේ බුර බුරා නැගෙන රාජපක්ෂ විරෝධයට හොඳට ගෑස් ටිකක් ගහන්න තිබුණ අවස්ථාව ඒක. සජිත් ඒකට ගෑස් වෙනුවට දැම්මේ පිඳුරු. ගෑස් ගහන්න පුළුවන් මිනිස්සු එතන හිටියට සජිත් ඒ අයට අවස්ථාව දුන්නේ නෑ. අනික සජිත් මේ වෙලාවේ බැසිල් වගේ රැළියක් තෝරලා ඇණ ගත්තේ නෑ. සජිත් ඇණ ගත්තේ ආපු මිනිසුන්ට ගෙනියන්න දෙයක් නොදීමෙන්. ඇත්තටම ගෙනියන්න දෙන්න දෙයක් සජිත් ළග නෑ. තියන ටිකේ ගන්න දෙයක් නෑ. සජිත්ගේ තියෙන්නේ මේ විධායක ජනාධිපතිකම කියන දුෂ්ඨ උපකරණය ගැනීමේ අරමුණ. ඒක සජිත්ගේ කතාවෙන් ඊයේ හොඳට තේරුනා. තවත් ගෝඨාභය රාජපක්ෂ කෙනෙක් සජිත් ඇතුළේ ඉන්නවා.
මේ වෙලාවේ ලංකාවේ වීදි සටන තරම් වලංගු සටනක් තවත් නෑ. හැම ෂෙඩ් එකක් ළගම වීදි සටනක් තියනවා. දැන් රාජපක්ෂලාට විරුද්ධව කරන ඕනිම සටනට ජනතා සහය හම්බ වෙනවා. ඒක ඉතින් පෙනුමට තියනවා නං තවත් හොඳයි. ඒ ආකර්ෂණය හදන්න ඊයේ සජබෙට පුළුවන් උනා. හැබැයි ඉතින් ඒ ආපු ගොඩක් අය විරෝධය පෙන්නනවා වෙනුවට පාරේ බජව් දාන එක තමයි කළේ. හරියට නාමල්ලගේ නුවර කොළඹ පාගමන වගේ. මහ පාර වනසලා දැම්මා. පරිසරය ඉවරයි. ඇත්තට නගර සභා සේවකයන්ගෙන් සජිත්ලා හොඳට අහගන්න ඇති. සජිත් මෙතනදී ගමේ තියන සටනත් කොළඹට ගෙනාවා. සමාජයේ වැඩිම පීඩනයක් තියන නාගරික මැද පන්තිය අතරට සජිත් සටන ගෙනාවා. දේශපාලනිකව හිතුවොත් ඒක හරි. මොකද නාගරික මැද පන්තිය අතර සජිත්ට ප්‍රසාදය අඩුයි. පහුගිය කාලේ ජාතික ජන බලවේගය එක්ක නාගරික මැද පන්තිය අල්ලන්න සජබේට ලොකු තරගයක් තිබුණා. හැබැයි ඒක අල්ලන්න පුළුවන් මිනිස්සුන්ට සජබෙ ඉඩ නෑ. එකවරම දැවැන්ත මානසික බලපෑමක් ඒ බලවේගයට එල්ල කරන්න ඕනි කියලා හිතලා තෝරපු සටනක් මේක.
මොකද සජිත් දන්නවා ගමේ ජනතාවගේ ආකර්ෂණය එයාට යම් ප්‍රමාණයකට තියනවා කියලා. සජිත්ගේ කතා හරියන්නෙත් ගමේ අහිංසකයටම තමයි. සජිත් හිතන්න ඇති නාගරික ප්‍රජාව අතරට යන්න ආකර්ෂනීය සටනක් තෝරගෙන. දැන් ජාතික ජන බලවේගයටත් පාරට බහින්න බල කෙරෙන වටපිටාවක් හැදෙනවා. මොකද මේ දෙගොල්ලෝ අතර තරගයක් තියනවා. එයාලත් 18 වෙනිදා කොළඹ විරෝධතාවයක් තියන්න ලෑස්ති වෙනවා. ඒක නිසා නාගරික සමාජය මේ සටන් දෙක දිහා සන්සන්දනාත්මකව බලයි. කොහොම උනත් ආකර්ෂණීය වගේම දැවැන්ත ජන රාශියක් කරන්න ජාතික ජන බලවේගයටත් පුළුවන්. ඒකත් බලමු කොහොම වෙයිද කියලා. කොහොමත් එකක් කියන්න පුළුවන් ඒක මීට වඩා සටන්කාමී එකක් වෙයි. මෙච්චර කල් ජාතික ජන බලවේගය හිටියේ ප්‍රාදේශීය මට්ටමේ විරෝධතාවල. එයලා දැනුත් දිස්ත්‍රික් මට්ටමේ විරෝධතාවල ඉන්නවා.සමහරවිට එයාලා හිතන්නේ දිස්ත්‍රික් මට්ටමින් හිහින් අවසානයේ ජාතික මට්ටමට එන්න වෙන්න ඕනි.
හැබැයි සජිත් කරන්න හදන්නේ ජාතික මට්ටමෙන් ලොකු ලයිට් එකක් ගහලා දිස්ත්‍රික් මට්මටම බහින්න. රටේ රාළ හිතන්නේ මේ වෙලාවේ ජාතික වශයෙන් ගහන ලයිට් එක තමයි බලවත්. ඒක යටතට කට්ටිය එන්න තියන සම්භාවිතාවය වැඩී. රටේ රාළ මෙතනදී ලයිට් එක කියන්නේ වැඩපිළිවෙළකට මිසක් නායකයෝ ගිරිය පුප්පගෙන කෑගහන එකට නෙවෙයි. මොකද දැන් ආය මතු කරගන්න කියලා අමුතු විරෝධයක් කොහේවත් නෑ. ඒක මිනිසුන්ගේ හිත්වලින් දොර ගලමින් තියෙන්නේ. රාජපක්ෂ කියන නමටත් දැන් මිනිස්සු විරුද්ධයි. අනික තමයි රටේ රාළ ඊයේ ශ්‍රීලනිපයට දුන්න සිග්නල් එක. ප්‍රමාදය දුකට හේතුවක් වෙන්න පුළුවන් කියලා. මෛත්‍රීලා හිතාගෙන ඉන්නේ එයාලා එලියට බැහැලා වරෙන් ආණ්ඩුව පෙරලන්න යන්න කියනකං මිනිස්සු බලා හිටී කියලද දන්නේ නෑ. මිනිස්සු ආණ්ඩුව පෙරලන්න දැනුත් ලෑස්තියි. මිනිස්සුට තියෙන ප්‍රශ්නය තමයි ආණ්ඩුව පෙරලන සටනට නායකත්වය දෙන්න හරි හමන් මිනිහෙක් නැති එක. හැබැයි මේ පීඩනය ඉස්සරහා මිනිස්සු තියන බස් එකකට නැගලා යන්නත් පුළුවන්.
අපි කැමති උනත් නැතත් සජිත් මේ ආක්‍රමණ කරමින් ඉන්නේ ඒ රිත්තකයට. ඒක නිසා ශ්‍රීලනිපය එනකොට අශ්වයා පැනලා ගිහින් තියෙන්න පුළුවන්. එහෙම උනොත් මෛත්‍රීට ඇවිත් කරන්න වෙන්නේ ඉස්තාලය වහන එක විතරයි. ඇත්තටම මෙතන තව දෙයක් වෙනවා. රාජපක්ෂලා බය වෙනවා වගේම ආණ්ඩුව ඇතුළේ ඉන්න රාජපක්ෂ විරෝධීන්ට පොඩි නෙවෙයි ලොකු අශ්වාදයක් එනවා. සමහරවිට මෛත්‍රී වටේට භ්‍රමණය උන ඉලෙක්ට්‍රොන වෙන වෙන ශක්ති මට්ටම් වලට වීසිවෙලා අලුත් සංයෝග හැදෙන්නත් පුලුවන්. දැන් විපක්ෂයේ ප්‍රබල කණ්ඩායම් දෙකක් හඳුනා ගන්න පුළුවන්. ඒ සජබයයි, ජාතික ජන බලවේගයයි. ඊළගට වෙලාව පැනලා හරි ශ්‍රීලනිපයට එලියට බහින්න වෙනවා. දැනට එලියේ ඉන්න සජබෙයි,ජාජබයි දෙගොල්ලොම බලය පමණක්ම ඉලක්ක කරගෙන යන දේශපාලන ව්‍යාපාරය දෙකක්. ඒක නිසා ජාතික එකඟතා හා ජාතික සම්මුතීන් හදාගන්න එයාලට උවමනාවක් නෑ.
සජබේ ඇතුළේ පාඨළීලා වැඩපිළිවෙලක් එක්ක ඉන්නවා උනත් ඒ සංවාදය තවමත් රට ඉස්සරහා බලවත් නෑ. ඒක නිසා රටේ රාළ කියන්නේ දැන් ශ්‍රීලනිපය එලිය එන්නේ නැත්නම් එයාලගේ අවස්ථාව ගිලිහෙන්න පුළුවන්. ඒ වගේම මේ රටට පොදු එකඟතාවයක් හදා ගැනීමේ අවස්ථාවත් ගිලිහෙන්න පුළුවන්. රටේ රාළ කියන්නේ ශ්‍රීලනිපයත් ආණ්ඩුවේ ගලවගන්න පුළුවන් හැම දේම ගලවගෙන එලියට එන්න ඕනි. එක ඇතුළේ විමල්ලා, ගම්මන්පිලලා ඉන්නත් පුළුවන්. මොකද විපක්ෂයේ ප්‍රබල කණ්ඩායම් තුනක් ඉන්න එක රටට හොඳයි. නැත්තම් මේක කාගේ හරි මල්ලකට වැටෙන්න පුළුවන්. තුනටම එකඟතාවයක් එන්න පුළුවන් නම් ඒක තමයි හොඳමදේ. ඒ වගේම රටේ නිර්මාණය වෙන තත්වයන් විසින් කොයි වෙලේ හරි එයාලට එකඟතාවයකට එන්න වටපිටාවක් නිර්මාණය වෙන්නත් පුළුවන්. තුනටම බැරි නම් දෙකකට හරි. ඒ එකඟතාවයට එන කණ්ඩායම අතට බලය හුවමාරු වෙන්න තියන ඉඩ වැඩී.
ඇත්තටම මේ ජාතික එකඟතාවයන් හා පොදු සම්මුතීවලට විපක්ෂයේ කණ්ඩායම් එකතු කිරීමේ වගකීම කරූගේ නායකත්වයෙන් යුතු සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරයට තියනවා. සෝභිත හාමුදුරුවන් දරපු උත්සාහය කරූටත් දරන්න පුළුවන්. මොකද එයාලා අතෙත් වැඩපිළිවෙලක් තියෙනවා. අනික ඒ වැඩේට ඕනි සුදුසුකම කරූට තියනවා. ඒ වගේම කරූ පොදු එකඟතාවයක් සම්බන්ධ සාකච්ඡාවේ දිගටම ඉන්න කෙනෙක්. රනිල්ට ඒ අවස්ථාව ගන්න බැරි රනිල් තවමත් රාජපක්ෂලා එක්ක ඩීල් එකකද ඉන්නේ කියන සැකය කට්ටියට තියනවා. ඊළඟට මේ නිර්මාණය වෙන අලුත් තත්වයත් එක්ක මෛත්‍රී හරහා එන සර්ව පාක්ෂික සමුළුවත් අභියෝගට ලක් වෙන්න පුළුවන්. ඒකට සජිත් එයිද නැද්ද කියන්න රටේ රාළ දන්නේ නෑ. හැබයි සජිත් ආවත් නාවත් සජිත්ගේ පැමිණීම හෝ නොපැමිණීමේ තීරණයට සමාජ බලයක් තියනවා. ඊළඟට ආණ්ඩුව හොරාට, හොරාට කතා කරමින් හිටපු ජාතික ආණ්ඩු සංකල්පය සෑහෙන පස්සට යනවා. මොකද හරීන් දුන්න අභියෝගයට හැටියට නං සර්ව පාක්ෂික සමුළු වැඩකුත් නෑ, ජාතික ආණ්ඩු වැඩකුත් නෑ.
මොකද එයාලා මේ ආණ්ඩුවට දුන්නේ හරියටම තව මාසයයිනේ. රටේ රාළ නං කියන්නේ හරියට කරනවා නං මාසයක් ඕනිත් නෑ. දැන් රටේ මිනිස්සු වැඩේට ලෑස්තියි. හැබැයි රටේ රාළ එකඟ නැත්තේ ජාතික එකඟතාවයක් නැතිව,පොදු සම්මුතියක් නැතිව ඒ වැඩේ වෙනවට. මොකද සජිත් නෙවෙයි ඊට වැඩිය ලොක්කෙක් ඇවිත් කතා කලත් වැඩපිළිවෙලක් නැතිව දෙන්නං කාසිවලට නං බෑ. මේ සියල්ල එක්ක බලමු තවටිකකින් ජනාධිපතිතුමා මොකද්ද කියන්නේ කියලා.
එහෙනම් ගිහින් එන්නම්.
බුදු සරණයි.ජයවේවා
මීට
රටේ රාළ.