කාලෙකට පස්සේ ඊයේ විරෝධතා පා ගමනකට අවසන් වෙනකම් සහභාගී වුණා. ඒක ඇත්තටම කරන දේශපාලනය නිසා ගිය ගමනකට වඩා වර්තමාන තත්ත්වය නිසා ගිය ගමනක්. මම වගේම හිතලා ආපු සෑහෙන්න පිරිසක් එතන හිටියා. සමහරු මඟ දිගට පෙළ ගැහිලා බලන් හිටියා. සමහරු වීඩියෝ කළා.
‘වීඩියෝ කළාට කමක් නෑ, ඔයාලා අපි හැවෝම වෙනුවෙන් අපි මේ කොළඹ ආවේ’ එක විරෝධතාකරුවෙක් පාර අයිනට වෙලා වීඩියෝ කරන හාදයෙක්ට කියනවා මම අහගෙන. කොල්ලුපිටියේ හන්දියේ විරෝධතා පා ගමන හින්දා ගමන අවහිර වුණ කාර් එකක හිටි නෝනා කෙනෙක්ට වීරෝධතාකරුවෙක් මෙහෙම කියනවා ‘ඔයාලට සුව පහසුව යන්න ඩීසල් පැට්‍රල් ටික නැති නිසා තමයි අපි නුවර ඉඳලා කොළඹ ආවේ’.
කොහොමහරි අවසානයේ ගාලුමෝදර ජනාධිපති ලේකම් කාර්‍යාලය ඉස්සරහට විරෝධතාකරුවන් එකතුවුණා. සමහරුන් කෑගැහුවේ ජනාධිපති ලේකම් කාර්‍යාලය අස්සට යන්න ඕනෑ කියලා. ‘ අපි කොළඹ ආවේ මෙතනට එකතුවෙලා විරෝධය දක්වලා ගෙදර යන්න නෙවෙයි. අපි මේක අස්සට යමු. අපි මේක අස්සේ පදිංචි වෙමු.’ සමහර විරෝධතාකරුවන් එහෙම කියමින් අස්සට කඩාවදින්න උත්සාහ කළා. එතන හිටිය බොහෝ දෙනෙක් ඒකට විරුද්ධ වුණා මිසක් කැමති වුණේ නෑ. එක වෙලාවක ඇත්තටම හිතුනේ විරෝධතාකරුවන් බැරියර් එක කඩාගෙන ගේට්ටුවේ පෝලිම් දෙකකට සිටවලා හිටිය මුර සෙබළුන් කඩාගෙන ඇතුලට යාවි කියලා. ඒ විරෝධතාවය මිනිසුන්ගේ ඇගෙන් හැඟීමෙන් කරපු එකක්. ගොඩක් හිටියේ දුප්පත් එදා වේල හම්බකරගෙන කන, මේ ආර්ථික ප්‍රශ්නය නිසාම ගොඩාක් දුක් විඳින මිනිස්සු. සමහරු හොඳටම බීලා තමයි විරෝධතාවයට සහභාගී වුණේ. මම දැක්කා අරලිය ගහ මන්දිරය ඉස්සරහා එක විරෝධතාකරුවෙක් අරක්කු කාලක් කටට හලා ගන්නවා. මිනිහා සතුටු වෙන්න ඇති අරලිය ගහ මන්දිරයේ මිදුලේ ඉදලා බීව්වා කියලා.
වැඩේ ගියේ එහෙමයි. මිනිස්සු බීලා කාලා කාවඩි ගසමින් නටමින් තමයි ‘ගෝඨාභය ගෙදර පලයන්’ කියලා කිව්වේ. සමහර වෙලාවක මට හිතුනා ඇමරිකානුවෝ දෙන්නෙක් එල්ලවන්න නේද මේ මිනිස්සු කොළඹ ඇවිත් ඉන්නේ කියලා. බොහෝ විරෝධතා වදන් අස්සේ ඒක කියවුණා. ගෝඨාභයට බැසිල්ට විතරක් නෙවෙයි දන්දිනා මැතිනියටත් කුණුහරුපයෙන් බැන්න මිනිස්සු ඕනෑ තරම් එතන හිටියා, ඒ හැඟීම තමයි වැදගත්.
පිස්සු මොහොතක්
මේක පිස්සු මොහොතක්, මිනිස්සු අසීහෙන් ඉන්න මොහොතක්, එහෙම මොහොතක මිනිස්සු බීලා නටලා කාවඩි ගහලා ඔයින් ගියා ඇති කියලා සතුටු වෙන්නයි තියෙන්නේ. මුර සෙබළු පෙරළගෙන ජනාධිපති කාර්‍යාලය අස්සට නොගිය එක තමයි පුදුමය…! මට හිතෙන්නේ සංවිධායකයෝ මෙතනදී අසමත් කියලා. මේක අස්සට විරෝධතාකරුවන් ගිහිං දවස් දෙකක්වත් මේක අස්සේ පදිංචි වෙලා හිටියනම්, එතන තමයි විරෝධතාවය තියෙන්නේ. මට හිතෙන්නේ අපේ උද්ඝෝෂන, විරෝධතා ඒතරමටවත් ශක්තිමත් වෙන්න ඕනෑ. ඒක භක්තිමත් එහෙම නැතිනම් විනය වත් වෙලා වැඩක් නෑ. ඒ ශක්තිමත්භාවයට නායකත්වයක් ඕනෑ. ඊයේ පාගමන අස්සේ දැක්කේ ඒ නායකත්වය නෑ කියන එක.
මේ වැඩේ ඉවර වෙලා අද වෙනකොට ජවිපේ සහ ආණ්ඩු හිතවාදීන්ගේ ෆේස්බුක් පිටු බීමත් විරෝධතාකරුවන්ගේ ඡායාරූපවලින් පිරී යමින් තියෙනවා. එහෙම පොටෝ දාන ගමන් විශේෂයෙන් ජවිප හිතාදරයින් කියන්නේ විරෝධතා විනයවත් වෙන්න අවශ්‍යයි කියලා. මේ තර්කයට සිනාසෙනවා ඇරෙන්න කියන්න කිසි දෙයක් නෑ. ඊයේ කවුරුහරි ජනාධිපති ලේකම් කාර්‍යාලය අල්ලා ගන්න ගියානම්, මේ හාදයෝ අද මොනවානම් කියයිද? ආණ්ඩු හිතවතුන්ගේ විරෝධතා ගැන කතා කරන්න දෙයක් නෑ. ‘ගෝඨා ගෙදර පල’ කිව්වාම ඒ මිනිස්සු මොකක් හරි කෑල්ලක් අල්ලගෙන ගහන්න ඕනෑ, නැත්තං උන්ගේ දේශපාලනය ඉවර වෙනවා. ඒත් ජවිපාවුන් ඇයි මේ.. ඔවුන් මොකද මේ විරෝධතාවයට මෙච්චර විරුද්ධ?
ජාතික අපේක්ෂකයෙක් අවශ්‍යයි
මේ විරෝධතාවයට ජවිපාවුන්ගේ විරෝධය සැලකිල්ලට ගත්තාම අපිට පේන දේ තමයි ඔවුන් නැවතත් තනියම ජනාධිපතිවරණය තරග කරන්න සැරසෙනවා කියන එක. ඔවුන්ට මේ වෙලාවේ වැදගත් ඊළඟ ජනාධිපතිවරණයට ඡන්ද එකතු කරන එක. ‘අපේ ඡන්ද ප්‍රතිශතය 70%ක් වෙලා’ කියලා විජිත හේරත් කිව්වා වගේ කතාවක් තමයි මේකත්. එනිසා මට නම් හිතෙන්නේ ජවිපාවුන් වගේම සජබ වටේ එකතුවෙලා ඉන්න මිනිස්සුත් මේ වෙලාවේ හිතන්න ඕනෑ පොදු අපේක්ෂකයෙක් ගැන නෙවෙයි, එහෙමත් නැත්තං තම තමන් වෙන වෙනම තරග කරලා මස් රාත්තලම දිනාගන්නවා කියන එක නෙවෙයි, රටේ දැවෙන ප්‍රශ්නවලට ආමන්ත්‍රනය කරන්න පුලුවන් කාටද කියන දේ තමයි දැන් අපි හැවෝම පොදුවේ හිතන්න ඕනෑ කාරණය. එතනදී මගේ යෝජනවා, අපි පොදු අපේක්ෂකයා කියන තැනින් ඔබ්බට ගිහිං ජාතික නායකයෙක් නැත්තං ජාතික අපේක්ෂකයෙක් සොයා ගත යුතුයි කියන එක. මෙතනදී ජාතික කියපු ගමන් සිංහල ජාතිය ගාවගන්න එපා. ශ්‍රී ලාංකික ජාතියක් වශයෙන් අපිට (සිංහල දෙමළ මුස්ලිම් හැවෝටම) පොදුවේ එකඟවෙන්න පුලුවන් (වර්තමාන අර්බුදය ජයගන්න පුලුවන් අපේක්ෂකයා) ජාතික අපේක්ෂකයෙක් තමයි අපි සොයා ගන්න ඕනී.
එක කතාවක් එක නායකයෙක්
මේ ජාතික අපේක්ෂකයා සොයා ගැනීමේදී සමගි ජන බලවේගයට විශාල වැඩක් තිබෙනවා. අපි ජාතියක් විදිහට අද මුහුණ දීලා ඉන්න ප්‍රශ්න වලට සජිත් ප්‍රේමදාස ළඟ විසඳුම් නැහැ කියන එක තමයි අද ගොඩක් අය කියන්නේ. ඊයේ සාර්ථකව අවසන් උන පා ගමන ගැන අද කතාවෙන ගොඩක් දෙනෙක් කියන්නේ සජිත් තමයි ප්‍රශ්නය කියලා. මට හිතෙන්නේ සජබ උඩ කවය අස්සෙත් මේ ‘සජිත් ප්‍රශ්නය’ තියෙනවා. ඊයේ පාගමන අවසානයේ සජිත් විතරක් කතා කරපු එක උනත් අද වෙනකොට විශාල අවුලක් නිර්මානය කරලා. සජිත්ට වඩා හොඳට කතා කරන්න පුලුවන් අනෙකුත් නැඟී එන නායකයන්ගේ හඬ නෑසෙන්න අවශ්‍ය නිසා එක කතාවක් පමණයි තියරිය ගෙනාව කියලා, ගොඩක් අය අද කතාවෙනවා. ඒකත් අර සජිත් ප්‍රශ්නයේම දිඟුවක් මිසක් වෙන දෙයක් නෙවෙයි. ඒ නිසා සජිත් උනත් හීනමානය පසෙකින් තියලා රට ගැන හිතලා තමන් ගැන නිවැරදි තක්ෂේරුවකට එන්න ඕනී. සපිත් වටේ ඉන්න සජිත් පමණයි කියලා කියන සජබ ජේෂ්ඨයන් උනත් තමන්ගේ මතය ගැන නැවත නැවතත් සිතන්න අවශ්‍යයි.
ඒ නිසා ඊයේ පාගමනේ අවසානය කියන්නේ අපිට නායකත්වයක් අවශ්‍යයි කියලා. ලංකාව අද මුහුන දෙන ප්‍රශ්න ගැන නිවැරදි වැටහීමක් තියෙන, ඒ ප්‍රශ්නවලට විසඳුම් තියෙන, රට ගැන සිහිනයක් තියෙන නායකයෙක් අපිට අවශ්‍යයි. ඒ ජාතික නායකත්වය මේ මොහොතේ සොයා ගැනීම අස්සේ විතරයි මේ අරගයට ජයග්‍රහනය කරන්න පුලුවන් වෙන්නේ. මේ සටන් අස්සේ අපි ඒ නායකත්වය සොයා ගන්න ඕනී.
කේ. සංජීව