මැද පන්තියේ සැපට, බැසිල් හරහට!

මධ්‍යම පාන්තික ජනතාව වැඩි වශයෙන් භාවිතා කරන ඔවුන්ට අවැසිම භාණ්ඩ ගණයට වැටෙන භාණ්ඩ වර්ග 367ක් අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ලෙස ගැසට් කර ඇත.

ඩොලර් අර්බුදය හමුවේ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367ක් ආනයනය පාලනය කිරීමට සිඳුවෙන බව ප්‍රකාශ කරමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මෙම විශේෂ ගැසට් නිවේදනය පසුගිය පෙබරවාරි 09 දා නිකුත් කළේය.

එදිනෙදා භාවිතයට ගන්නා බොහෝ ද්‍රව්‍ය මෙම ලයිස්තුවට ඇතුලත් වී ඇත. කිරි, බටර්, යෝගට් ආදී කිරි ආශ්‍රිත නිෂ්පාදන, අන්නාසි, මැංගුස්, දොඩම්, අලිගැටපෙර, පේර සහ ආනයනික පළතුරු වර්ග, චොකලට් වර්ග, පැස්ටා, නූඩ්ල්ස්, මස් වර්ග, මාළු වර්ග, ධාන්‍ය වර්ග, ළඳරු ආහාර වර්ග, පෝෂන අතිරේක, සහ සැකසූ ආහාර මෙන්ම සැකසූ පළතුරු වර්ග ද මෙම ගොඩට අයත් වේ.

තව ද රූපලාවන්‍ය ආලේපන සහ එම උපකරණ වර්ග, ෂැම්පෝ වර්ග, සුවඳ විලවුන් වර්ග, සබන් වර්ග මෙන්ම සෝදනකාරක ද සියළුම වර්ගයේ බෑග් වර්ග ද සම් ආශ්‍රිත නිෂ්පාදන ඇතුලු ගෘහ ආශ්‍රිත නිෂ්පාදන සහ විදුලි උපකරණ වර්ග මෙන්ම වීදුරු භාණ්ඩ, සෙරමික් භාණ්ඩ ද ආනයනය සීමාකර ඇත. එමෙන්ම ක්‍රීඩා ඇඳුම් සහ උපකරණ ද සීමා කිරීමට ලක්කර ඇත.

බීර වර්ග, වයින් වර්ග මෙන්ම මධ්‍යසාර ප්‍රතිශතය 80%ට අඩු විස්කි, වොඩ්කා, රම්, ජින් වැනි මධ්‍යසාර වර්ග ද දිග මිලි මීටර 84 ඉක්මවන සිගරට් වර්ග ද මෙම සීමා කිරීමට යටත් ය. මෙම භාණ්ඩ ආනයනය ඉතාම අත්‍යවශ්‍ය කාරණයකට හැර අන් කිසිම කාරණයකට අවසර ලබා නොදෙන බව මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

Social Sharing
නවතම