කියෙව් නගරයේ විශාල පිපිරීමක්..!

යුක්‍රේන රුසියා ගැටුමේ නවතම වාර්තා වලට අනුව යුක්‍රේනයේ කියෙව් අගනුවර රුසියානු ගුවන් ප්‍රහාර නිසා දැවැන්ත පිපිරීමක් ඇති වී තිබෙන බවට විදෙස් මාධ්‍ය ප්‍රකාශ කර සිටියා. එමෙන්ම රුසියානු හමුදාව විසින් යුක්‍රේනයේ ප්‍රධාන වරායවල් දෙකක් මේ වන විට යටත් කරගෙන තිබෙනවා. කියෙව් හි නගරාධිපති ටෙලිග්‍රෑම් පෝස්ටුවක් මගින් සඳහන් කර සිටියේ සතුරා අගනුවරට දිගින් දිගටම පහර දෙන බවත් මේ වනතුරු ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති බවත්ය. තව ද රුසියානු හමුදා පාසල් සහ දෙව් මැදුරු වෙත ප්‍රහාර එල්ල කරමින් සිටින බවට යුක්‍රේන මාධ්‍ය සඳහන් කළා.

යුක්‍රේන ආක්‍රමණය පිළිබඳ පුවත් රුසියානුවන්ට නොඇසීම සඳහා රුසියාවේ ස්වාධීන රූපවාහිනී නාලිකාව සහ ලිබරල් ගුවන් විදුලි නාලිකාව ද ට්විටර්, ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් යන සමාජ මාධ්‍ය ද මේ වන විට රජය විසින් අවහිර කර තිබෙනවා. එමෙන්ම ‘යුද්ධය එපා’ යනුවෙන් හඬ නගන රුසියානුවන් 1000 කට අධික දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම යුද්ධය නිසා රුසියාව දුර්වල වන අතර සෙසු ලෝකය ශක්තිමත් වන බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසා සිටියා. එමෙන්ම එක්සත් ජනපදය විසින් සියළුම රුසියානු ගුවන් ගමන් සඳහා තම ගුවන් අවකාශය තහනම් කර තිබෙන අතර එයාර්බස් සහ බෝයිං සමාගම් රුසියානු ගුවන් සේවා සඳහා තම සහය අත්හිටුවා තිබෙනවා. එමෙන්ම ඉහළ යන තෙල් මිලට තමන් උපායමාර්ග ඇසුරෙන් අනෙක් රටවල් වලින් විසඳුම් ලබා ගන්නා බවට ඇමරිකාව ප්‍රකාශ කර සිටිනවා.

මේ අතර ජපානයේ ටොයොටා සමාගම විසින් රුසියාවේ ටොයොටා සමාගමේ මෙහෙයුම් අත්හිටුවා දමා තිබෙනවා. ඒ අනුව නැවත දැනුම් දෙන තුරු වාහන ආනයනය නතරකර තිබෙනවා. මෙය රුසියාවේ ආර්ථිකයට විශාල පහරක් එල්ල කරන බව ආර්ථික විශේෂඥයන් පවසනවා. මීට අමතරව ජපානයේ පෑන් පැසිෆික් ආයතනය පවසන්නේ ඔවුන් යුක්‍රේනයේ සරණාගත පවුල් 100ක් භාර ගැනීමට කැමැත්තෙන් සිටින බවයි. එමෙන්ම ඔවුන් එම පවුල් 100ට මූල්‍ය ආධාර සහ රැකියා අවස්තා ලබා දීමට කටයුතු කරන බව පැවසුවා. තවද ඇමර්සන් සමාගම යුක්‍රේනයට තම සහය පළ කරමින් ඩොලර් මිලියන 10ක් ලබා දී තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එසේම ආරංචි මාර්ග පවසන පරිදි යුක්‍රේනයේ එනහොඩාර් නගරවාසීන් රුසියානු හමුදාවට යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරයට ඇතුලු වීමට තිබෙන මාර්ගය විවිධ උපක්‍රම ඔස්සේ අවහිර කර තිබෙනවා. එහෙත් එම බලාගාරයේ කටයුතු රුසියාව විසින් අල්ලාගත් බවට විදෙස් මාධ්‍ය කිහිපයක් වාර්තා කර ඇති අයුරු දක්නට ලැබුණා. කෙසේ වෙතත් අද (3) දින බෙලරුස් හි දේශසීමා අසල පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයෙන් සටන් විරාමයක බලාපොරොත්තුවක් තබාගත හැකි බව විශ්ලේෂකයෝ පවසනවා.

හේෂානි කරුණාරත්න

Social Sharing
නවතම විදෙස්