ජවිපෙ අභයන්තර මනස කියවමු!

ජනතා විමුක්ති පෙරමුණ තරම් අභයන්තර සංවිධාන ව්‍යුහය ශක්තිමත් පක්ෂයක් ලංකා ඉතිහාසයේ තිබුණද කියන ප්‍රශ්නය තවමත් රටේ රාළට නං තියනවා. සන්නද්ධ දේශපාලනය ඇතුළේ වගේම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය ඇතුළෙත් ඒක එහෙමයි. හැබැයි සන්නද්ධ දේශපාලනයේ සංවිධාන ආකෘතියම බහුජන දේශපාලනයටත් ආදේශ කිරීම ජවිපෙ අතින් උන බරපතල දේශපාලන වරදක්. ජවිපෙ අද තියන සංවිධානය රටාව ඇතුළේ උනත් මිල්ටරි හැඩයක් තිබුණා.

ඒ වගේම ජවිපෙ ඇතුළේ තරම් විධිමත් දේශපාලන සංවාදයක් තිබුණ දේශපාලන ව්‍යාපාරයක් ලංකා ඉතිහාසය තියෙන්න නැතිව ඇති. තිබ්බා නං ඔය සමසමාජ, කොමියුනිස්ට් පක්ෂලමවල මුල් කාලේ තමයි. වැඩේ තියෙන්නේ දැන් ජවිපෙ ඇතුළේත් එහෙම දේශපාලන සංවාදයක් නෑ. එදා ඒ සංවාද ජවිපෙ දේශපාලන මණ්ඩලය, මධ්‍යම කාරක සභාව, දිස්ත්‍රික් සංවිධාන වගේම වෙනත් මට්ටම්වලට හදලා තිබුණ සංවිධාන ඇතුළේත් සිද්ධ උනා. ඒ වගේම ජවිපෙට පක්ෂ පාසැලක් තිබුණා. විටක ශිෂ්‍යයෙක් විදිහටත් විටක ගුරුවරයෙක් විදිහට ජවිපෙ සාමාජිකයා ඒ පක්ෂ පාසැලට සම්බන්ධ උනා. ඇත්තටම ඒ පක්ෂ පාසැලෙන් ජවිපෙ සමාජිකයාට විශිෂ්ඨ අධ්‍යාපනයක් උරුම කරලා දුන්නා. ජවිපෙට ඒ ස්වර්ණමය කාලය ගෙනාවේ සෝමවංශ අමරසිංහ ජවිපෙ හිටපු නායකයා. ඒත් සෝමවංශ අමරසිංහට ජවිපෙ ඇතුළේ ගොඩනැගුණ මූලධර්මවාදී ස්ථාවරයන් පරාජය කරන්න බැරි උනා.

මේ රටේ බලසම්පන්න ධනපති දේශපාලන පක්ෂ, ධනපති දේශපාලන නායකයෝ දණ ගස්සපු සෝමවංශට තමන්ගේ පක්ෂය ඇතුළේ ගොඩ නැගෙමින් තිබුණ අන්තවාදී මතවාදය පරද්දන්න බැරිවුණා. පක්ෂය අභයන්තර වශයෙන් මූලධර්මවාදීන් අතට තල්ලු වීම නතර කරන්න සෝමවංශට බැරි උනා. ඒකේ ප්‍රතිථලය උනේ ජවිපෙ ඉහළ ස්ථරය ඇතුළේ සර්වබරී නායකයන් කීපදෙනෙක් බිහිවීම. ඒකෙන් රෝහණ විජේවීර හදුන්වා දුන්න දේශපාලන උපායමාර්ගයත්, පක්ෂ සංවිධාන ප්‍රතිපත්තිය උන ප්‍රජාතන්ත්‍රවාදි මධ්‍යගතභාවයත් ගිලිහිලා ගියා. ගිහින් ඉහල අදහස් මත පමණක් පදනම්වූ මධ්‍යගත පක්ෂයක් නිර්මාණය උනා. ඒ වෙනකං සිද්ධ උනේ පහලින් ඉහලට යෝජනා ඇවිත් ඉහලින් ඒ යෝජනාවලට අදාළ වැඩපිළිවෙලක් නිර්මාණය වීම. ඒත් පක්ෂයේ බලය මූලධර්මවාදී අතට ගියාට පස්සේ ඒ වැඩපිළිවෙළ සම්පුර්ණයෙන්ම ඇණ හිටියා. පහලින් ඉහලට යෝජනා ඒම නතර උනා වගේම ඉහළ මූලධර්මවාදින් හදන වැඩපිළිවෙළ පහලට පැටෙව්වා.

ඇත්තටම ජවිපෙ ඉතිහාසය හොඳට අධ්‍යයනය කළොත් මේ ප්‍රශ්නය ජවිපෙ ඉතිහාසය පුරාම තිබුණ ප්‍රශ්නයක් බව පේනවා. අද ජවිපෙන් එන අභයන්තර තොරතුරුවලින් එකක් පැහැදිලියි. පක්ෂය ඇතුළේ තිබුණු අධ්‍යාපන ක්‍රියාවලිය සම්පුර්ණයෙන්ම දැන් බිඳ වැටිලා ඉවරයි. එදා ජවිපෙ පහලම ස්තරයේ හිටියෙත් යමක් කමක් දන්න සාමාජිකයෙක්. ඒත් අද ඉන්නේ දේශපාලන වෙනුවෙන් බුකිය පුරා කුණුහරුප කියාගෙන මරා ගන්න එන සෙට් එකක්. ඇත්තටම ජවිපෙ ඇතුළේ අධ්‍යාපන ක්‍රියාවලියේ බිද වැටීම ඒකෙන් හොදට පේනවා. අද ජවිපෙ සමාජිකයන් බහුතරයක් විචේචනයට උත්තරයක් දෙන අය නෙවෙයි. විවේචකයාට කුණුහරපෙන් බනින අය. රටේ රාළ කියන්නේ ජවිපෙ මුලධර්මවාදින් ඒ අධ්‍යාපන ක්‍රියාවලිය හිතාමතාම නතර කළා කියලා. ජවිපෙ ලබාදුන්න ඒ අධ්‍යාපනය ඇතුළේ හැම වෙලේම ජවිපෙ ඉහළ ස්ථරය ප්‍රශ්න කිරිමකට ලක් උනා. දේශපාලනයේ පීලිපැනීම් පහලට දැනෙන්නේ පටන් ගත්තා.

ඒවා ප්‍රශ්න කරන, ඒවාට විවේචන හදන බුද්ධිමය කවයක් පහල නිර්මාණය උනා. ඒත් මේවාට උත්තර දෙනවා වෙනුවට ඉහළ මූලධර්මවාදින් කළේ ඒ අධ්‍යාපන ක්‍රියාවලිය නතර කර දැමීමයි. තමන් පහල සමාජිකයාට විවෘත වෙනවා වෙනුවට පහලින් වෙන් උන ඉහලක් නිර්මාණය වීමයි. ඒක නිසා අද ජවිපෙ කියන්නේ මතවාදීමය වශයෙන් වැහැරුණු, සංවිධානමය වශයෙන් දියාරු දරදඩු දේශපාලන පක්ෂයක්. ඒ වගේම මූලධර්මවාදීන්ගේ මතවාදයට එහා මතයකට ඉඩ නැති පක්ෂයයක්. එතනින් එහාට කවුරු හෝ යන්න හදනවා නං එයාට උරුම වෙන්නේ කුණු බිත්තරවලට එහා ගිය දේවල්. ජවිපෙ ඒක එහෙම නෑ කියනවා නම් ඒක ඔප්පු කරලා පෙන්නන්න රටේ රාළ ලෑස්ති. කොහොම උනත් රටේ රාළ ජවිපෙන් ගේම ඉල්ලන්නේ ඒවට නං නෙවෙයි. රටේ රාළට ජවිපෙත් එක්ක තියෙන්නේ දේශපාලන ප්‍රශ්නයක් විතරයි. ඒක කිසිසේත්ම පුද්ගලික ගැටුමක් නෙවෙයි.

රටේ උද්ගත වෙලා තියෙන දේශපාලන අර්බුදය ඉස්සරහා ජවිපෙ තවදුරටත් හිතන්නේ රට පැත්තේ හිටගෙන නෙවෙයි. පක්ෂය පැත්තේ හිටගෙන. අර මූලධාර්මවාදී පක්ෂය පැත්තේ හිටගෙන. ඒක නිසාම රටේ රාළ කියන්නේ ජවිපෙට මේ ඇවිත් තියෙන දේශපාලන අවස්ථාව කළමණාකරණය කරන්න බෑ. දැන් ජවිපෙ දිහා බලන කෙනා ජවිපෙ ඇතුළට හරි ජාතික ජන බලවේගය ඇතුළට හරි ගන්න එයාලට බෑ. ඒ එන මනුස්සයා ඔය දෙක ඇතුළේ ටික දවසක් රසාතියාදු ගහලා ආපහු ගෙදර යනවා. ඇත්තටම දැනටත් ජවිපෙ ඇතුළට, ජාතික ජන බලවේගය ඇතුළට ආපු ගොඩක් දෙනෙකුට එහෙම වෙලා. ජවිපෙ කියන බහුජන ක්‍රියාවලියත් එක්ක ඉස්සරහට යන්න එයාලට බෑ. එක තැනකදී එයාලා අර මුලධර්මවාදී කණ්ඩායමේ ග්‍රහණයට අහුවෙනවා. එතකොට වෙන්නේ එයාලා ජවිපෙ බස් එකෙන් බහින එකයි. ජවිපෙ බස් එක හැමදාම ලෝඩ් වෙලා තිබුණට ඒ සෙනග කියන්නේ අලුතෙන් නැගපු සෙනගක්.

බස් එකට ගොඩවෙන අය රැදෙන්නේ නෑ. ඒකට හේතුව තමයි බස් එකේ පිටට පේන ලස්සන ඇතුළේ නෑ. ජවිපෙට පහුගිය ඉතිහාසය පුරාම අලුත් නායකයන් රටට දායාද කරන්න බැරිවුණා. තවමත් ඉන්නේ අර සම්ප්‍රදායික මූලධර්මවාදයට යට උන කණ්ඩායම විතරයි. ජවිපෙ එක්ක අඛණ්ඩ ගමනක් ආපු කෙනෙක් නෑ. සෝමවංශ අමරසිංහටවත් ඒක කරන්න බැරි උනා. ඒ තරමට ජවිපෙ මූලධර්මවාදය බලවත්. ඒ ජවිපෙ හැරයාමේ හිස්තැන පුරවන්න ජවිපෙ තවමත් අසමත්. දැනට පුරවලා තියෙන්නේ කුණුහරප බාස්ලගෙන්. ඇත්තටම ජවිපෙ 2008 පස්සේ රටට හදුන්වා දුන්න බහුජන චරිතයක් නැති තරං. ඉන්නවා නං ඉන්නේ නලින්ද ජයතිස්ස වගේ කෙනෙක් විතරයි. නලින්ද කියන්නේ දක්ෂයෙක් වගේම ජන මනස කියවන්න පුළුවන් කෙනෙක්. ඒ වගේම අලුත් චරිතයක් පේන තෙක්මානෙක නෑ. පුද්ගලයෙක් විදිහට උවිඳු ඊට වඩා ගොඩක් ඉස්සරහට ගිහිල්ලා තියනවා.

අද ඉන්න ජවිපෙ නායකයන්ට වඩා උවිඳු ගොඩක් සාධනීය ලක්ෂණ පෙන්වනවා. ඇත්තටම ජවිපෙට මහ පොලවේ එදා හිටපු සාමාජිකයා අද නෑ. හැබැයි ජවිපෙ ගැන යම් සමාජ සංවාදයක් ඇති වෙලා තියනවා. නාගරික ප්‍රජාව අතර ඒක ටිකක් වැඩිය තියනවා. ජවිපෙ දැන් නාගරික මැද පන්තිය අතරට බහින්න පටන් අරන්. අද ගම ආක්‍රමණය කරන්නේ සජිත්. රාජපක්ෂලා කරන කතාවේ අනිත් පැත්ත සජිත් ගමට ඇවිත් කරනවා. ඇත්තටම ගමේ දේශපාලනයේ සවිඥානකකම අද බිද වැටිලා. ජවිපෙ ගමේ නැතිවීම ඒකට බලපාන තවත් එක හේතුවක් වෙන්න ඕනි. ජවිපෙ දැන හෝ නොදැන ලිබරල්වදයට පහු බැහැලා. ඒක නිසාම ජවිපෙ සාමාජිකයා හා ජවිපෙ එක්ක එකතු වෙන නාගරික මැද පන්තිය අතර දේශපාලන ගැටුමක් ඇති වෙන එක නවත්තන්න බෑ. ඒ දෙක අතර තුලනයක් හදන්න තවමත් ජවිපෙට බැරිවෙලා තියනවා. මොකද අද ජවිපෙ ක්‍රියාවෙන් ඉන්නේ එක තැනක මතයෙන් ඉන්නේ වෙන තැනක.

තමන් ගන්න ක්‍රියාමාර්ගවලට සාපේක්ෂව පක්ෂය සුදානම් කරලා නෑ. අද ජවිපෙට තමන්ගේ කේඩරය බාධාවක් වෙලා. ඒ බාධාව වෙලා තියෙන්නේ ඒක මුලධර්මවාදීන්ගෙන් පිරවීම නිසයි. ඒක නිසා ජවිපෙට බහුජන ව්‍යාපාරයක් ගොඩ නගන්න බෑ වගේ බහුජන ව්‍යාපාරයක් නඩත්තු කරන්නත් බෑ. ජවිපෙ බහුජන සංවිධානයක් හදයි. හැබැයි ඒකට බහුජන ව්‍යාපාරයක අනන්‍යතාව අත්පත් කරගන්න බෑ. අද ජවිපෙ ඇතුළට එන බහුජන චරිතවලට එක තැනකදී කේඩරයේ ඉන්න ජවිපෙ සාමාජිකයා හම්බ වෙනවා. එයා ඉන්නේ පොල්ල අතේ තියාගෙන. එතනින් එහාට යන්න ඔය කාටවත් බෑ. ඉතිහාසය පුරාම සිද්ධ උනේ ඒක. ජවිපෙ කේඩරය විසින් බහුජන ව්‍යාපාරය පාලනය කරනවා. පාලනය කරමින් ජවිපෙ මූලධර්මවාදී කෝවට ඇතුළ් කරන්න හදනවා. එතනින් වැඩේ අවසන්. ජවිපෙ එහෙම බහුජන ව්‍යාපාරය කීයක් හදන්න හැදුවද? අද ජවිපෙ තමන් සම්බන්ධව ඉන්නේ බරපතල වැරදි දේශපාලන තක්සේරුවක. ඒකනේ විජිත හේරත් කියන්නේ දැන් ජවිපෙ ඡන්ද පදනම 80% දක්වා වර්ධනය වෙලා කියලා.

ඒක තමයි ජවිපෙ ඇතුළේ ද්‍රෝහීන් ඉවර කිරීමේ සාකච්ඡාවක් හැදිලා තියෙන්නේ. ඊළඟට ඇත්තටම මෙතන තව දෙයක් වෙමින් තියනවා. ඇත්තටම ඒක සාධනීය ලක්ෂණයක්. ජවිපෙ ඇතුළේ අනුර – ටිල්වින් හවුලට එරෙහි සංවාදයක් මතු වෙමින් තියනවා. පොදු ගමනක් ගැන විශ්වාස තියන කණ්ඩායමක් ජවිපෙ ඇතුළේ ඉන්න බව දැන් පැහැදිලියි. ඒත් එයාලට මේක එතෙන්ට තල්ලු කරගන්න පුලුවන් වෙයිද කියන ප්‍රශ්නය රටේ රාළට තියනවා. ඒක ජවිපෙ ඇතුළේ ඉදන් කරනවා කියන්නේ බෙල්ල ගහලා යන වැඩක්. සමහර විට එයාලටත් ජවිපෙ ද්‍රෝහීන් වෙලා නවතින්න වෙයිද දන්නේ නෑ. හැබැයි එයාලට මෙතනදී රටේ රාළලාට නොතිබුණ චාන්ස් එකක් තියනවා. ඒකට හේතුව විදිහට රටේ රාළ දකින්නේ ජවිපෙ වටේට දැන් එකතු වෙන බහුජන චරිත වගේම ජවිපෙට ආශීරිවාද කරන බහුජන කවයන් හරහාත් පොදු සටනට එන්න කියන බලපෑම ජවිපෙට එල්ල වෙමින් තියනවා.

ජවිපෙට ජයග්‍රහණය තියෙන්නේ පොදු සටන ඇතුළේම තමයි. ඒ මතවාදයේ ඉන්න ජවිපෙ සගයන්ට රටේ රාළත් ධෛර්යය ප්‍රාර්ථනා කරනවා.

එහෙනම් ගිහින් එන්නම්.

බුදු සරණයි.ජයවේවා.

මීට

රටේ රාළ

ප්‍රියන්ජිත් විතාරණ

Social Sharing
නවතම විශේෂාංග