1997 වසරේදී Transparency International සංවිධානය ලොව වඩාත්ම දූෂිත රාජ්‍ය පාලකයන් දස දෙනාගේ නම් ඇතුලත් ලැයිස්තුවක් එලි දැක්වීය. මේ ලයිස්තුවේ ඉහලින්ම සිටියේ එවකට ඉන්දුනීසියාවේ පාලනය හෙබවූ සුහර්තෝය. එම වාර්තාවට අනුව ඒ වන විට දශක තුනක් රට පාලනය කොට සිටි ඔහුගේ වත්කම් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 15-35 අතර ප්‍රමාණයක් විය. මෙය එරට සමස්ථ ආර්ථිකයට දැනෙන කොටසක් විය.
නාමිකව හෝ පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදයක් තිබෙන රටක ආර්ථිකයෙන් පංගුවක් සොරා ගැනීම පහසු වැඩක් නොවේ. ඊට යම් කලාත්මක නිපුනතාවයක්ද අවශ්‍යය. සුහර්තෝ ඉතා දැඩි පාලනයක් ගෙන ගියද තම පාලන කාලයෙන් වැඩි කොටසක් තුලදී ඉතාම ජනප්‍රිය නායකයකු විය. ඔහු මේ හපන්කම කලේ කෙසේද?
සුහර්තෝ සුවිශාල පවුල් සහ හිතමිතුරු ගසක් නඩත්තු කළේය. රජයේ වැදගත් තනතුරු සහ ආර්ථික ඉඩ ප්රස්ථා බහුතරය හිමි වුනේ මේ ගසේ සාමාජිකයන්ටය. ඔවුන් රිසි සේ සොරකම් කල අතර එයින් කොටසක් සුහර්තෝගේ පවුලේ ගිණුමට බැර විය. දරුවන් හයක් සිටි ඔහුගේ පුතුන් දෙපලක්ම ජනප්‍රිය දේශපාලනයේ යෙදිනි. ඔවුන් දෙදෙනාට මෙන්ම අනෙක් දරුවන්ටද විශාල නිල නොවන බලයක් තිබිණ. ඔවුහු ඉතා සුඛෝපබෝගී ජීවිත ගත කළහ.
සුහර්තෝගේ බිරිඳ එරට බරපතල ආර්ථික තීන්දු වලට මැදිහත් වුනු තීරණාත්මක සාධකයක් විය. ප්‍රදර්ශණකාමී උන්මාදයකින් පෙළුණු මේ ගැහැණිය තම අධි පරිභෝජනවාදී ජීවන රටාව සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් ඉසිලීය. ඔහු ඉන්දුනීසියානු ජාතිකවාදය රිසි සේ භාවිතා කළේය. රජය විසින් ගනු ලබන ඕනෑම තීන්දුවක් සාධාරණීකරණය කිරීම සඳහා මේ ජාතිකවාදී ගෝරනාඩුව ඔහුට මහෝපකාරී විය. මේ සඳහා හොඳින් පළපුරුදු දෙඩුම් ශිල්පීන් පැලැන්තියක් ඔහු වටා සිටියේය. (ලංකාවේ මෙන් ඉන්දුනීසියානු දේශීය දැනුමක් නිර්මාණය කිරීමටත් එරට යක්කු සහ භූතයන්ගෙන් වැඩ ගැනීමටත් උත්සාහ කල හාන්සි පුටු මහාචාර්යය කෙනෙකු සිටියාද දැයි නොදනිමි) ඔහුට දූෂණ චෝදනා එල්ල වන විට ඒවා බටහිර කුමන්ත්‍රණ විය. නමුත් ඔහුගේ පවුල් සංගමය එකී බටහිර රාජ්‍යයන් සමගම නොපැකිල ව්‍යාපාරික ගනුදෙනු වල නිරත විය. තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය, ආයෝජන සහ සෞඛ්‍ය අවශ්‍යතා සඳහා ඔහු සැම විටම හැරුනේ බටහිර දෙසටය. මේ පාලනයට විරුද්ධව යම් හෝ ශක්තිමත් නායකත්වයක් එලි දැක්කේද එය එකිනෙහිම විනාශ කරන ලද්දේය. එක්කෝ එකී නායකයන්ගේ චරිත ඝාතනය විය. නැතහොත් ඔවුහු ඇත්ත වශයෙන්ම ඝාතනය විය.
සුහර්තෝගේ ප්‍රියතම කලාපය වූයේ ඉදි කිරීම් අංශයයි. රට පුරා මංමාවත්, විශාල පාලම් ගොඩනැගිලි, ගුවන් තොටුපල යනාදිය වේගයෙන් ඉදි විය. ඒවායින් සැලකිය යුතු කොටසක් ඉදි වූයේ ඒවායේ ප්රයෝජ්ය වටිනාකම පිලිබඳ කිසිදු තක්සේරුවක් නොමැතිවය. මෙම ඉදි කිරීම් මුල සිට අගටම පැවතියේ සුහර්තෝගේ පවුල් සංගමය යටතේය. ඒවායේ කොන්ත්‍රාත් දීමේ සිට ගිවිසුම් හරහා ආයෝජකයන් කැඳවීම දක්වා සියල්ල සිදු වුයේ තමන්ගේ කවුරුන් හෝ හරහාය.
නිරන්තරයෙන්ම රටට තිබෙන පරසතුරු කුමන්ත්‍රණ සහ ආක්‍රමණ පිලිබඳ ජනතාව බිය ගන්වනු ලැබිණි. මේ අනුව ඉන්දුනීසියානු හමුදා සැම විටම ශක්තිමත් කෙරුණු අතර රටේ වගකිව යුතු රාජකාරි සැලකිය යුතු ප්‍රමාණයක් හමුදාවන්ට පැවරිණි. පිට පිට මැතිවරණ ජයග්‍රහණය කිරීමට අවශ්‍ය තත්වය මේ මගින් සම්පාදනය කරනු ලැබීය. ව්‍යවස්ථාව මගින්ද තහවුරු කරනු ලැබුවේ සුහර්තෝගේ ජයග්‍රහණයම විය.
කෙසේ වෙතත් දශක තුනක සුහර්තෝ පාලනය අවසන් වන විට ඉන්දුනීසියාව යම් ආර්ථික වර්ධනයක්ද අත් කරගෙන සිටි බව කිව යුතුය. අධි වේගයෙන් මුදල් සංසරණය වීම නිසා අලුතෙන් ගොඩනැගුනු පාදඩ ධනපති පංතියක්ද රටේ ඇති වුනු අතර ඔවුන් දේශපාලන බලයට අත පොවන්නටද පටන් ගෙන තිබිණි. මේ සියල්ල සිදු වුනත් ඉන්දුනීසියාව කඩා නොවැටුණේ එරට ඛණිජ තෙල් ඇතුළු විශාල ස්වාභාවික සම්පත් ප්‍රමාණයක් තිබීමත් සැලකිය යුතු මට්ටමේ නිෂ්පාදන ආර්ථිකයක් තිබීමත් නිසා බව කිව හැකිය. ස්වභාවික සම්පත් කිසිත් නැති, කිසිදු නිෂ්පාදනය ආර්ථිකයකුත් නොමැති රටක සුහර්තෝ කෙනෙකු පහල වුවහොත් එම රටේ ඉරණම ගැන ඔබට කිව හැක්කේ කුමක්ද?
-දිනෙත් මල්ලිකාරච්චි-