ලංවීමට තෙල් දෙන්න ඕනෑ ජනතාවද? පාඨලී ප්‍රශ්න කරයි!

තෙල් සංස්ථාව කියන්නේ ලංවිම රු. බි. 90 ක තෙල් බිල් පියවා නැති බවයි. ළඟදී ලාභ ලැබුවා යැයි ව්‍යාජ හඬක් නැඟූ ශ්‍රී ලංකන් ගුවන් සේවය ද ඩොලර් මිලියන 330 ක බිලක් තෙල් සංස්ථාවට ණය බව තෙල් සංස්ථාව කියයි. තෙල් ඇමැති කියන්නේ ඩොලර් දුන්නොත් තෙල් දෙන බවය. විදුලි ඇමැති කියන්නේ තෙල් දුන්නොත් විදුලිය දෙන බවය. මොවුන් මේවා ඉල්ලන්නේ කාගෙන්දැයි අප ඇසිය යුතු යැයි ද, තෙල් සංස්ථාවට ඩොලර් සහ ලංවීමට තෙල් ලබා දියයුත්තේ ජනතාව නොව ආණ්ඩුව බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ප්‍රකාශ කරයි.

සිය එෆ්බී ගිණුමේ සටහනක් තබන ඒ මහතා ප්‍රකාශ කරන්නේ කැබිනට් මණ්ඩලය සාමූහිකව පාර්ලිමේන්තුවට සහ ජනතාවට මේ බව පැවසිය යුතු බවය. මාධ්‍ය සංදර්ශන දමා තමන්ගේ ආණ්ඩුවේ බැරිකම තමන්ගේ නොවේ යැයි කියමින් ක්‍රියා කිරීමට තෙල් ඇමැති සහ විදුලි ඇමැතිවරුන්ට අයිතියක් නැත කියා ප්‍රකාශ කරන ඒ මහතා ඉන්ධන, තෙල් සංස්ථා ගබඩාවල ඇත්තේ තව දින 10 කට බව ප්‍රකාශ කරයි.

පෙට්‍රල් මෙ.ටො. 30,000 ඩීසල් මෙ.ටො. 50,000 සහිත තෙල් නැව් 3 ක් ණයවර ලිපි නැතිව වරාය අවට සැරිසරමින් ඇති බව ප්‍රකාශ කරන ඒ මහතා මේ පිළිබඳව මාස කිහිපයකට පෙර අනතුරු ඇඟවූ විට තෙල් හෝ විදුලි අර්බුදයක් නැතැයි අදාළ පුද්ගලයෝ පම්පෝරි ගැසූ බව ප්‍රකාශ කරයි.

වංචාවට ලක් වී ඇත්තේ රටේ ජනතාව නිසා, ජනතාවට සාමූහිකව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ග ගැනීමට කාලය එළඹ තිබෙන බවත් ඔහු අවධාරණය කරයි.

Social Sharing
නවතම