ආණ්ඩුවේ අභ්‍යන්තර ගැටුම හා රාජපක්ෂ කඳවුර බිඳවැටීම

ඊයේ රටේ රාළ ලියපු ” රජාසන කතාවෙන් පසු කතාව ” ලිපියෙන් කිව්වේ ජනාධිපතිතුමාට අදින් පස්සේ මුහුණ දෙන්න වෙන අභියෝග තුනක් ගැන. එකක් තමයි දවස ගානේ බුර බුරා නැඟෙන ජනතා විරෝධය, අනික ආණ්ඩුව ඇතුළේ ගොඩනැගෙමින් තියන අභ්‍යන්තර ප්‍රතිවිරෝධය. ඊළගට පවුල ඇතුළේ ගොඩනැගිලා තියන බල අරයගලය. මේවා දැන් හිතුව වැඩිය සෑහෙන දුරක් ගිල්ලා. ඇත්තටම ඒ තරම් අහියෝගයක් විපක්ෂය පැත්තෙන් තවමත් ආණ්ඩුවට එල්ල වෙලා නෑ.

රටේ රාළට මෙතනදී කියන්න තියෙන්නේ ඔය ජනාධිපතිතුමා ඉස්සරහා අවුරුදු තුන ගැන දෙන පොරොන්දු ඉෂ්ඨ කිරීම ඒ අභියෝග තුනට සාපේක්ෂයි කියලා. ඒ විතරක් නෙවෙයි යම් විදිහකින් මොළේ පෑදිලා විපක්ෂයත් පොදු සටනකට බැස්සොත් කොහෙන් නතර වෙන්න වෙයිද දන්නේ නෑ. සමහරවිට ඇමරිකාවෙන් නතර වෙන්නත් බැරි නෑ. අද රටේ රාළ කතා කරන්නේ ආණ්ඩුව ඇතුළේ ගොඩනැගෙමින් තියන ප්‍රතිවිරෝධය ගැන. මොකද මේවා පටලන්නේ නැතිව නිරවුල්ව කියන්න ඕනි. අනික ජනතා විරෝධය ගැන විශේෂයෙන් කතා කරන්න දෙයක් නෑ. ඒක කාටත් දැනෙන එකක්. මෙතනදී ආණ්ඩුව ඇතුළේ ගොඩනැගෙන ප්‍රතිවිරෝධය එළියේ ගොඩනැගෙන ජනතා විරෝධයට සාපේක්ෂයි කියලා කාට හරි කියන්න පුළුවන්. ඒත් රටේ රාළ ඒක ඒ විදිහටම පිලිගන්නේ නෑ. හැබැයි මෙහෙම වෙන්න පුළුවන්, ආණ්ඩුව ඇතුළේ ගොඩනැගෙමින් තියන ප්‍රතිවිරෝධය පුපුරා යන්න එළියේ ගොඩනැගෙන ජනතා විරෝධය බලපාන්න පුළුවන්.

මෙතනදී ආණ්ඩුව ඇතුළේ ගොඩනැගෙන විරෝධය එළියේ ගොඩනැගෙන ජනතා විරෝධයට ඒ විදිහට සමාන නෑ. එළියේ ජනතා විරෝධයට ප්‍රධාන හේතුව ආර්ථික පීඩනය. හැබැයි එහෙම ආර්ථික පීඩනයක් දැනෙන අය ආණ්ඩුව ඇතුළේ නෑ. ඇත්තටම එළියේ තියෙන්නේ බරපතල රාජපක්ෂ විරෝධයක්. සීමිත ක්‍රම විරෝධයකුත් තියනවා. ඇතුළේ තියෙන්නෙත් රාජපක්ෂ විරෝධයක් උනාට ඒකේ ප්‍රභේද කීපයක් තියනවා. හරියට කොරෝනා වගේ. දැන් ඔමික්‍රෝනුත් ඇවිල්ලා. ආණ්ඩුව ඇතුළේ සමහර අය තවමත් අරගල කරන්නේ රාජපක්ෂලාගේ ආදරය දිනා ගන්න. ඒ හරහා තමන්ට මොනවා හරි ටිකක් එකතු කරගන්න. එයාලට මොනවා හරි වීසි කළහම හරි. ඒවා අරගල නෙවෙයි. අරගල නාමයෙන් කරන දේශපාලන කුපාඩිකම්. ඔය එස්බීල කරන්නේ ඒ ජාතියේ වැඩ. ඇතුළේ තියන රාජපක්ෂ විරෝධය හරියට බැලුවොත් මෙහෙමයි. එකක් තියනවා පොදුවේ සියලු රාජපක්ෂවරුන්ට තියෙන විරෝධය. සියල්ල පවුලට බෙදාගැනීමේ විරෝධය කියලා ඒකට කිව්වට කමක් නෑ..

ඊළඟට තියනවා අර වෙන වෙනම තියන විරෝධය. ඇල්ෆා,බීට්,ගැමා,ඩෙල්ටා වගේ එක. එතනදී ප්‍රධාන විරෝධය තියෙන්නේ බැසිල්ට. ඒ වගේම ජනාධිපති ගෝඨාභයටත් වෙනමම එකක් තියනවා. ඒක බැසිල් විරෝධය තරම් නැති උනත් ඊට සෑහෙන කිට්ටු එකක්. ඇත්තටම ආණ්ඩුව ඇතුළේ රාජපක්ෂවරුන්ගෙන් අවම විරෝධය තියෙන්නේ මහින්දට. ඒක හොඳට පැහැදිලි වෙන්නේ සුසිල්ගෙන්. සුසිල් හැම වෙලේම මහින්දව බේරමින් තමයි අනෙක් රාජපක්ෂවරුන්ට පහර දෙන්නේ. හැබැයි ආණ්ඩුව ඇතුළේ මහින්ද විරෝධයක් නෑම කියලා කියන්න බෑ. ඒක හැබැයි දේශපාලනයටත් වැඩිය ඔය බේබිලා කරන පිස්සු වැඩ හින්දා හැදිච්ච එකක්. මොකද ඒවා නිසා බේබිලාට නෙවෙයි පාරට බහින්න බැරි ආණ්ඩුව ඇතුළේ ඉන්න වහල් සේනාවට. ඉතින් ඔහොම රාජපක්ෂ විරෝධයක් ආණ්ඩුව ඇතුළේ කොටස් වශයෙන් බෙදිලා තියනවා. සමහර ඒවා තවමත් තියෙන්නේ හුදකලා තත්වයේ. සමහර ඒවා එකිනෙකට සේවය කරමින් තියනවා.

ඒ ඒ විරෝධයන් නියෝජනය කරන කණ්ඩායම් කවුද කියලා බැලුවොත් විමල්, වාසු, ගම්මන්පිල ඇතුළු සුළු පක්ෂ සන්ධානයට තියෙන්නේ මූලික වශයෙන් බැසිල් විරෝධයක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත්තොත් එයාලට තියෙන්නේ පොදු රාජපක්ෂ විරෝධයක්. ඒ වගේම දැඩි ගෝඨාභය විරෝධීන් ප්‍රමාණයකුත්, දැඩි බැසිල් විරෝධීන් ප්‍රමාණයකුත් ආණ්ඩුව ඇතුළේ ඉන්නවා. ඒ කණ්ඩායම නියෝජනය කරන්නේ ඇත්තටම පොහොට්ටුවේ ජේෂ්ඨයෝ. සුසිල්, විජේදාස වගේ චරිත වැටෙන්නේ ඒ ගොඩට. ඒ වගේම සමහර වෙලාවට පීඩනය දරා ගන්න බැරුව ඒක පිට කරලා ආය නිහඩ වෙන අයත් ඉන්නවා. අනුර ප්‍රියදර්ශන යාපාලා, ජොන් සෙනවිරත්නලා, චන්දිම වීරක්කොඩිලාගේ තියෙන්නේ එහෙම හැඩයක්. හැබැයි රටේ රාළ වගකීමෙන් කියනවා මීටත් යටින් තව පිරිසක් ඉන්නවා. එයා කවුද කියලා මේ වෙලාවේ හෙලි කරන එක හරි නෑ. ඒක පාවාදීමක්. මොකද රටේ රාළ හිතන විදිහට එයාලා ගහන්නේ දේශපාලන ගේමක් උනාට රාජපක්ෂලාට එහෙම ගේමක් ගහන එක වැරදි නෑ.

ඇත්තටම ඔය කියන කණ්ඩායම වගේ ටීම් එකක් ඉතිහාසසේ සෝවියට් කොමියුනිස්ට් පක්ෂයෙත් හිටියා. එයාලට කිව්වේ මධ්‍යමිකයෝ කියලා. එයාලයි මෙයාලයි සමාන කරන්න බෑ. හැබැයි මේ දෙගොල්ලන්ගේම Job එක සමානයි. එයාලා බලා ඉන්නේ බලය තහවුරු කරගන්න කණ්ඩායමත් එක්ක යන්න. එක වෙලාවක් ඒයාලා තීරණාත්මක සාධකයක් වෙන්නත් පුළුවන්. එයාලා එලියට එන්නෙම අවසන් පිපිරීමෙදි. එතකොට ඔයාලට හිතෙයි රාජපක්ෂලා ආයෙත් බලය තහවුරු කර ගත්තොත් එයාලා ආයෙත් රාජපක්ෂලා එක්ක හිටගන්නවානේ කියලා. ඔව් ඒක එහෙමයි. ඒත් එයාලා මෙතනදී හෙලි කරන්න බැරි දැන් ආණ්ඩුව ඇතුළේ සටන ටිකක් විවෘත තැනකට ඇවිල්ලා. රාජපක්ෂලා පරදින්නත් බැරි නෑ. ඔයාලා හිතනවාට වඩා මේ මොහොතේ රාජපක්ෂලා දුර්වලයි. ඊළඟට ඔයාලට එන ප්‍රශ්නය තමයි කවදාද අවසන් පිපිරීම වෙන්නේ කියලා. රටේ රාළ එතනදී තමයි ඔයාලගේ තර්කයට එකඟ වෙන්නේ. ඒක වෙන්නේ මේ රටේ ජනතා නැගිටීමට සාපේක්ෂව.

හැබැයි එතනදී රටේ රාළ නිශ්චිතව එකක් දන්නවා. පිපිරීමේ අවසානය කෙසේ වෙතත් පිපිරීමේ ආරම්භය ළගදීම සිද්ධ වෙනවා. ආරම්භ සිද්ධ උනොත් ඉතුරු ටික පිමි විදිහට උනත් වෙන්න පුළුවන්. ඊළඟට රටේ රාළ කියන්නේ පිපිරීම පටන් ගන්නේ පාර්ලිමේන්තුව ඇතුලෙන්මයි. ඒක ජනවාරි 19, 20 වෙන්නේ නැති උනත් පෙබරවාරි/මාර්තු මාසේ අනිවාර්යෙන්ම වෙනවා. මොකද දැන් දෙබරෙයට එක ගල්පාරක් වැදුනහම ඇති. ඇවිස්සෙනවා. එතකොට ඔයාලට හිතෙයි එහෙනම් ජනවාරි 20 වෙනිදා ජනාධිපතිගේ රාජාසන කතාවට විරුද්ධ වෙන්න ඕනි නෑනේ කියලා. නෑ අද ආණ්ඩුවත් එක්ක හැපෙන සුළු පක්ෂ සන්ධානය වගේම ශ්‍රීලනිපය තමන්ට කොන්දක් තියනවා නම් ජනාධිපතිගේ රාජාසන කතාවට පක්ෂව ඡන්දය නොදී ඉන්න ඕනි. අඩුම ගානේ විරුද්ධව දෙන්න බැරි නං ඡන්දය දීමෙන් වැළකී ඉන්න ඕනි. එයාලා පක්ෂව ඡන්ද දුන්නොත් රාජපක්ෂලා ආය ශක්තිමත් වෙනවා. එතකොට අර මධ්‍යමික කණ්ඩායම යට යනවා.

ඒකයි රටේ රාළ කියන්නේ රාජාසන කතාවට පක්ෂව ඡන්දය දීම ආණ්ඩුව ඇතුළේ මෝදුවෙන අරගලය පාවාදීමක් කියලා. කොහොම උනත් මේ ප්‍රතිවිරෝධය මෝරන විදිහෙන් පුපුරා යෑම පටන් ගන්නවා. ඒකත් එක්ක ආණ්ඩුව ඇතුළේ දේශපාලන බලවේගවල හැසිරීම වෙනස් වෙනවා. ආණ්ඩුවේ සංයුතියේ වෙනසක් වෙන්නත් ඕනි. ඒ පිපිරීමේදී ආයෙත් තව එක දෙයක් වෙන්න පුළුවන්. ඒ තමයි තමන්ගේ පවුලේ බලකොටුව ආරක්ෂා කරගන්න රාජපක්ෂ පවුල ආයෙත් එක තැනකට එන්න පුළුවන්. තියෙන ප්‍රතිවිරෝධතා තාවකාලිකව යට ගහගෙන පොදුවේ පවුලේ බලය ආරක්ෂා කරගැනීම කියන තැනට එන්න පුළුවන්. ඇත්තටම මෙදා පාර ප්‍රශ්නය එච්චර දුරට ආවොත් රාජපක්ෂලාට ඒකත් බරපතල අවාසියක්. ඒකට හේතුව මේ වෙලාව වෙනකොටත් රාජපක්ෂලා ලොකු මහජන බලයක් නියෝජනය කරන්නේ නෑ. දැනුත් රාජපක්ෂ කදවුරේ හිටිය 69 ලක්ෂණයෙන් බාගෙට බාගයක් එයාලව දාලා ගිහිල්ලා. දැනට මාස දෙක තුනකට උඩදි කරපු ජනමත සමීක්ෂණයකින් ඒ බව ඔප්පු වෙලා තියනවා.

ඒක නිසා මේ තත්වය මෙච්චර දුර යන්න දෙන්න හොද නැති බව මහින්දට තේරෙන්න ඕනි. ඒත් එයා මේ මොහොතේ දේශපාලනයට කොච්චර සංවේදීද කියන ප්‍රශ්නයත් එක්ක ඒක depend වෙනවා. ඇත්තටම මේ වෙලාවේ මහින්දට ඒක කරන්න බෑ. මේ තත්වය සමනය කරන්න බැසිල්ට උත්තරයක් නෑ. එයා ගහන ගේම්වලට මේ තත්වය කළමණාකරණය කරන්න බෑ. ඒ වගේම ජනාධිපතිතුමාට තේරෙන විදිහට හමුදාව දාලා බුද්ධි අංශ දාලා මේක කළමණාකරනය කරන්නත් බෑ. මේ මොහොතේ ඒ දෙන්නා කතා කරන වචනයක් වචනයක් ගානේ වෙන්නේ ජනතාව හා බලවේගය ඈත්වීම විතරයි. ඒක නිසා රටේ රාළගේ තක්සේරුවට අනුව දේශපාලන වශයෙන් රාජපක්ෂලා ඉන්නේ ගොඩක් දුර්වල තැනක. ඇත්තටම නිව්ටන්ගේ තුන්වන නියමයට අනුව නම් මේ වෙලාවේ මේකට බාහිර බලයක් යොදන්න පුළුවන් නම් වස්තුවේ ගමන් මාර්ගය වෙනස් කරන්න පුළුවන්. රටේ රාළ කියන්නේ ඒ බාහිර බලය වෙන්න තරම් සදාචාර බලයක් විපක්ෂයට නෑ.

හැබැයි කරනවා නං ඒ හැකියාව චන්ද්‍රිකාට තියනවා. පොහොට්ටුව ඇතුළේ අභයන්තර නාඩිය පහසුවෙන් අඳුරගන්න පුළුවන් කෙනෙක් තමයි චන්ද්‍රිකා. පහුගිය දවස්වල ඒක හොඳට පෙනුනා. රාජපක්ෂලා එක්ක ගැටුම් ගදාගත්ත ගොඩක් අය නැවතුනේ මෛත්‍රී ළඟ නෙවෙයි චන්ද්‍රිකා ළඟ. චන්ද්‍රිකාත්      ” චන්ද්‍රිකා ” පොත එළියට දාගෙන එන්නේ තවත් පොතක් පෙරළන්නද දන්නේ නෑ? ඒත් ඒ ගැන කියන්න තවම ඉක්මන් වැඩී. එහෙනම් ගිහින් එන්නම්.

බුදු සරණයි. ජයවේවා.

මීට

රටේ රාළ

ප්‍රියන්ජිත් විතාරණ

Social Sharing
නවතම විශේෂාංග