රටට විදෙස් විනිමය ගේන ඔවුන් වෙනුවෙන් අපි මොනවද කරලා තියෙන්නේ? නීතිඥ ලක්ෂාන් ඩයස්

මීට අවුරුදු 150කට විතර කළින් අපි සංක්‍රමණික සේවකයෝ ලබාගත්ත රටක්.  ඉන්දියාවෙන්, මැලේසියාවෙන්, ඉන්දුනීසියාවෙන් ලංකාවට සේවකයෝ අරගෙන ආවා. බ්‍රිතාන්‍යයේ යුගයේ. අවුරුදු 120ක් ගිහිං දැන් අපි සංක්‍රමණික සේවකයෝ විශාල වශයෙන් පිටරට යවන රටක් බවට පත්වෙලා තියෙනවා.

1970 ගණන්වල මැද වගේ වෙනකොට අපි මැදපෙරදිගට සහ වෙනත් රටවල්වලට සේවකයෝ යවන්න පටන් ගත්තා. සේවකයෝ යැවීමේ මුල්කාලයේ කිසිම ප්‍රමිතියක් තිබුණේ නෑ. 1950 මුල් කාලයේ තමයි මුල්වරට පනතක් ගේන්නේ සේවකයෝ විදෙස්ගත කිරීම සම්බන්ධයෙන්. නමුත් ඒවෑ එහෙමට කියලා ප්‍රමිතියක් තිබුණේ නෑ. 1985 අංක 22 දරණ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශ පනත තමයි මේ සම්බන්ධයෙන් පැහැදිලිතාවයක් අස්සේ නිර්මානය වෙන නීතිය. එය ප්‍රමානවත්ද?

sri lankan migrant workers Foreign exchange Lakshan Dias

නීතිඥ ලක්ෂාන් ඩයස්

මෙහි තිබෙන වැදගත් කාරණය තමයි අපි සේවකයෝ පිටරට යවනකොට ඒ සේවකයන්ට අයිතිවාසිකම් තිබෙනවාද කියලා එච්චර සැලකිල්ලක් දක්වන්නේ නෑ. කිසිම සැලකිල්ලක් දැක්වුවේ නෑ කියලා කියන්නත් පුලුවන්. ඒකෙදී අපිට වැදගත් වුණේ ඒ සේවකයා එහේ ගිහිල්ලා ලංකාවේ තමන්ගේ පවුල ආරක්ෂා කරලා තමන්ගේ පවුල සංවර්ධනය කරාවි කියන දේ. ඒක මුල් කාලෙදි විදේශ විනිමය ගෙනෙන උල්පතක් හෝ විදේස විනිමය ලබාදෙන මාර්ගයක් විදිහට දැක්කෙත් නෑ. නමුත් කාලයාගේ ඇවෑවෙන් අද වෙනකොට ලංකාවට විදේස විනිමය ගෙනෙන ප්‍රධාන මාර්ගය බවට සංක්‍රමණික ශ්‍රමිකයෝ පත්වෙලා.

ලංකාවෙ ජනග්‍රහනයෙන් ආසන්න වශයෙන් 10%ක වගේ ප්‍රමානයක් විදේස රටවල ජීවත්වෙනවා සංක්‍රමණික සේවකයෝ විදිහට. කොරෝනා පටන් ගන්න කළින් වෙනකම් සාමාන්‍යයෙන් අවුරුද්දට දෙලක්ෂ තිස්දාහක් දෙලක්ෂ පනස්දාහක් වගේ ප්‍රමානයක් විදේශ ගතවුණා. ඒකෙන් මුල් කාලයේ 60% කාන්තාවෝ වුණා. අද වෙනකොට 40%ක් බවට එම ප්‍රමානය පත්වෙලා.

කිසිම අයිතිවාසිකම් ප්‍රවේශයක් නොතිබුණ නිසා මේ අය හුදු හුදකලා තනි පුද්ගලයෝ විදිහට තමයි ඒ රටේ ජීවත් වෙන්නේ. එතකොට එහෙම පුද්ගලයෙකුට සේවා අයිතිවාසිකම් නැහැ. පැය 8 වැඩමුරයක් නෑ. කේවල් කිරීමේ අයිතිවාසිකම, සාමූහික ගිවිසුම් වගේ සේවක අයිතිවාසිකම් කිසිවක් නෑ. ඒ රටවල හෝ අපේ රටේ කම්කරු නීති බලපාන්නෙත් නෑ.

හුඟාක් මේ කාන්තාවෝ අපි යවන්නේ මැදපෙරදිග රටවල්වලට, අපි දන්නවා මේ රටවල සංක්‍රමණික සේවකයන්ට තියා ඒ රටේ පුරවැසියන්ටවත් නීති නෑ. සේවක අයිතිවාසිකම් නෑ. සමහර අවස්ථාවල නීතිඥ සහාය හෝ ගන්න බැරි රටවල් තිබෙනවා.

මෙහෙම රටවල් වලට මෙවැනි තත්ත්වයක් යටතේ රැකියාවක් කරන්න ගියාම ජීවත් වීමට අඩු පහසුකම් තමයි ලැබෙන්නේ. මේ තත්ත්වය උඩ මොවුන් බලාගන්න කෙනෙක් ඉන්න අවශ්‍යයි කියන එක උඩ තමයි විදේශ සේවා නියුක්ති කාර්‍යාංශ පනත ගොඩනැගෙන්නේ.

අද වෙනකොට මේ පනතින් ස්ථාපිත ආයතනය ලංකාවේ තිබෙන විශාලතම ආයතනයක්. එයට ලැබෙන ආදායමත් ඉතාමත් විශාලයි. අපි හිතමු ලක්ෂ 2 1/2 ක් රට ගියා කියලා එතකොට යන හැම පුද්ගලයෙක්ම ආසන්න වශයෙන් රුපියල් 17000ක මුදලක් මේ ආයතනයට ගෙවන්න ඕනී. මේක වැඩිකරලා බලන්න විශාල මුදලක්. මාසිකව ඩොලර් බිලියනයක විදේශ ආදායමක් මේ සේවකයෝ නිසා අපේ රටට එනවා. වැටුප් හරහා.

මේ විශාල මුදල නූතන ලංකාව හරි හැටි භවිතා කළාද, කරමින් ඉන්නවාද කියන ගැටලුව තිබෙනවා අප අස්සේ. අද අපි විදෙස් සංචිත ගැන කතාකරනවා. ඩොලර් හිඟය ගැන කතා කරනවා. එතකොට මේ තරම් විශාල මුදලක් රටට එවන මේ මිනිස්සුන්ට අපි පෙරළා මොනවද දුන්නේ? අපි ඒ මිනිසුන් ගේ මේ කාර්‍ය දිරිගන්වන්න මොනවාද කළේ? අපි මේ මිනිස්සු දුකට වැටිලා ඉන්නකොට බැලුවද? මේ මිනිස්සුන්ගේ ජීවිත පහසුකරන්න අපි රටක් විදිහට මොනවාද කරලා තියෙන්නේ. මේ මිනිස්සුන්ට රැකියාව කරන්න ගියාම වඩා වැඩි ජීවිත සුරක්ෂිතතාවයක්, රැකියා අයිතීන් ආරක්ෂාවෙන වටපිටාවක් නිර්මානය කරන්න අපි මොනවද මේ වෙනකොට කරලා තියෙන්නේ. විදේශ සේවා නියුක්ති කාර්‍යාංශය වගේ ඒ වෙනුවෙන් පිහිටුවා තිබෙන රජයේ ආයතන මේ සම්බන්ධයෙන් ප්‍රමානවත් මැදිහත්වීමක් කරලා තිබෙනවාද? මම නම් හිතන්නේ නෑ කියලා.

ඒ නිසා මේ ශ්‍රමිකයන්ගේ අයිතීන් ආරක්ෂාකරන නීත අනපනත් ගේන්න අවශ්‍යයි. ඔවුන් වෙනුවෙන් අපි මීට වඩා වැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි.

Social Sharing
නවතම විශේෂාංග