අර්බුදයට මුහුණ දීමට ජාතික සම්මුතියක් – රොහාන් සමරජීව

“විශ්වාස කරන්න මහත්මයාණෙනි, සති දෙකක දී තමන් එල්ලා මරණ බව මිනිසකු දැනගත් විට, එමගින් ඔහුගේ මනස පුදුමාකාර ලෙස ඒකාග්‍ර කරනු ලබයි” – සැමුවෙල් ජොන්සන්

සති දෙකකින් මේ රටේ ජනතාව එල්ලා මැරීමට නියම වී ඇති අතර ඔවුන්ගේ සිත් ඒකාග්‍රවීම සඳහා පරිනත වී ඇත. අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයට සහ විශාල ලෙස මිල ඉහළ යාමට ඔවුහු මුහුණ දෙමින් සිටිති. ආර්ථිකයේ පහසුවෙන් වෙනස්වෙන අංග වන ආහාර, ඉන්ධන සහ ප්‍රවාහනය අතහැර, ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම්ව ගණන් බලන මුලික උද්ධමනය මගින් යටින් දිවෙන උද්ධමනය පිළිබිඹු කරන අතර එය 2021 සැප්තැම්බර් මාසයේ වාර්තා වූ සියයට 4.8  සිට 2021 ඔක්තෝබර් මාසයේ 7.2 ක් දක්වා ඉහළ ගොස් තිබිණි. ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය 2021 සැප්තැම්බරයේ 10% සිට 2021 ඔක්තෝබරයේ 11.7% දක්වා ඉහළ ගොස් ඇති බව සහ ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය 2021 සැප්තැම්බරයේ 3% සිට 2021 ඔක්තෝබරයේ 5.4% දක්වා ඉහළ ගොස් ඇති බව යි.

ජනතාවට පෙනෙන්නට ඇත්තේ ආණ්ඩුවට පාලනයක් නැති බවයි. සියයට සියයක් කාබනික කෘෂිකර්මයේ යෙදෙන ලෝකයේ පළමු රට බවට පත් වීමේ කතාවක් කියා පොහොර ආනයනය තහනම් කළද, ඇත්ත වශයෙන් එය කරන ලද්දේ විදේශ විනිමය ඉතිරි කර ගැනීමටය. එසේ වුව ද , අවසානයේ රටට සිදු වුයේ අපට භාවිතා කළ නොහැකි, හානිකර ආනයනික පොහොර සඳහා ඩොලර් මිලියන 6.7 ක් ගෙවන්නට ය.

අප තව දුරටත් කතා කරන්නේ අනාගත අර්බුදයක් ගැන නොවේ. එහි ගැඹුරු ම තැනට තවම ප්‍රවේශ වී නැතත්, දැන් අප සිටින්නේ එහි අර්බුදය ඇතුලේය. 2022 අයවැය ලේඛනය මගින් විසඳුමක ඉඟියක් හෝ ලබා දෙනු ඇතැයි අපගේ වූ බලාපොරොත්තුව වාෂ්ප වී ගියේය. එමගින් ද්විත්ව හිඟයන්ට කිසිදු විසඳුමක් ලබා නොදුන් අතර පෙර නොවූ විරූ හිඟයන් සහ කළු කඩ වර්ධනය කරනු ලැබීය. අලුත් ආදායම් යෝජනාවලින් සියයට 50 කට වඩා එකවරකට සීමා වූ ඒවා ය. 2023 දී කුමක් වනු ඇත්ද? වියදම් කපාහැරීම් බොහෝ දුරට සංකේතාත්මක ය. ඉන්ධන දීමනාවෙන් ලීටර් පහක් කපාහැරීම මොන විහිළුවක්ද? මුල්‍ය වෙළෙඳපොළ මේවා බැරෑරුම් ලෙස භාරගනු ඇතැයි බලාපොරොත්තු විය හැකිද?

අප තව දුරටත් කතා කරන්නේ අනාගත අර්බුදයක් ගැන නොවේ. එහි ගැඹුරු ම තැනට තවම ප්‍රවේශ වී නැතත්, දැන් අප සිටින්නේ එහි අර්බුදය ඇතුලේය. 2022 අයවැය ලේඛනය මගින් විසඳුමක ඉඟියක් හෝ ලබා දෙනු ඇතැයි අපගේ වූ බලාපොරොත්තුව වාෂ්ප වී ගියේය. එමගින් ද්විත්ව හිඟයන්ට කිසිදු විසඳුමක් ලබා නොදුන් අතර පෙර නොවූ විරූ හිඟයන් සහ කළු කඩ වර්ධනය කරනු ලැබීය.

ඇත්තෙන් ම ප්‍රශ්නය වන්නේ අර්බුදයේ විශාලත්වය ග්‍රහණය කර ගැනීමට වගකිවයුත්තන්ට නොහැකි වීම යි.

මෙය එක් නරක වසරක් නොවේ. මෙය දිගට ඇදෙනු ඇත.  අපගේ ණය ගෙවීමට අපට නොහැකි බව (සාමාන්‍ය වශයෙන් වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 5 ක් පමණ) සහ රටේ සාමාන්‍ය පැවැත්මට අවශ්‍ය ආනයන කිරීමට නොහැකි බව සරල අංක ගණිතය මගින් පෙන්නුම් කරයි. දැන් ගන්නා පිළියම් ක්‍රියාමාර්ග මගින් සිදුවන්නේ මහජනයාගේ ජීවන තත්ත්වයන් පිරිහීම පමණක් නොවේ. එමගින් අපනයන මෙන් ම දේශීය වෙළෙඳපොළට ද නිෂ්පාදන කරන කර්මාන්තවලට හානි කරයි. එමගින් නව ආයෝජකයින් පැමිණීම අධෛර්යමත් කරනවා පමණක් නොව දැනට මෙහි ඇති ඒවා ද ඉවතට යවයි. එමගින් සුළු සහ මධ්‍ය පරිමාන නිෂ්පාදන ආයතන විනාශ කරනු ලබයි.

මීට සමාන දෙයක් සිදු වී ඇත්තේ වසර සියයක් තරම් පෙර දී ය. ආචාර්ය එම් ආර් පී සල්ගාදුගේ ආචාර්ය උපාධි පර්යේෂණයට අනුව 1926 දී ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඇමෙරිකානු ඩොලර් 80 කි. 1932 වන විට එය ඇමෙරිකානු ඩොලර් 33 දක්වා පහත වැටුණි. 2020 වර්ෂයේ දී ආර්ථිකයේ සිදු වූ සියයට 3.6 ක සංකෝචනය සිදුවිය හැකි දේ පිලිබඳ ඉඟියක් පමණකි. දකුණු ආසියාවේ වැඩිම අසමානතාව ඇති රටක් වශයෙන් (චීනයට වඩා යන්තම් ඉහළින් සහ එක්සත් ජනපදයට වඩා යන්තම් පහළින්) සහ රට වසා තැබීම්වලින් ඇති වූ හානි සඳහා අඩු ම වන්දි ගෙවීමත් සමග පහසුවෙන් යථා  තත්ත්වයට පත්විය නොහැකි වන්නේ ආදායම් ලබීමේ පහළ ම දශමකවල සිටින පිරිස යි. ඔවුන්ගේ ඉතිරිකිරීම් ක්ෂය වී ඔවුන් ණයකාරයන් බවට පත් වී ඇත. පොහොර – කෘමිනාශක විගඩම මගින් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ කුඩා නිෂ්පාදකයන් හාන්සි කළ අතර එහි ආදීනව 2021 වසරින් පසුවද දැනෙනු ඇත. තවත් කම්පනයන්ට මුහුණදීමට අපේ ජනගහනයේ විශාල බහුතරයකට හැකියාවක් නැත.තිත්ත බෙහෙත් ගැනීමෙන් තොරව අපට මෙම අර්බුදයෙන් ගොඩ යා නොහැකි ය.  මෙම තත්ත්වය තුළ වඩවඩාත් පැහැදිලි වන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහනක සන්දර්භය තුළ ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් නැතුව බැරි  බවයි. මීට පෙර ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩ සටහන්වල දී මෙන් ලැබෙන පළමු අවස්ථාවේ දී ම විනය අතහැර දැමීම අපට කළ නොහැකි වනු ඇත. ප්‍රතිසංස්කරණ අපේ කර ගතයුතුය.  එසේ නොකළ හොත් අපට ගැලවීමක් නොවනු ඇත.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහනක සන්දර්භය තුළ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ බෙහෙත ගැනීමට ආණ්ඩුවේ අකමැත්තට හේතු වී ඇත්තේ ගත යුතු අමාරු පියවර වලට වගකීම බාර ගැනීමට  ඔවුන්ගේ ඇති බිය යි. විපක්ෂයේ පක්ෂවලට ද අර්ථවත් කාර්යභාරයක් හිමිවන සහ එකිනෙකාට දොස් පවරාගැනීම සීමා කෙරෙන, පොදුවේ එකඟ  වූ අවම වැඩ සටහනක්  මත සැබවින් ම ජාතික වූ ආණ්ඩුවක් ගොඩනගා ගැනීමට අප අපොහොසත් වුවහොත්, දිගට ම වැරදි කිරීම තුලින් අවසානයේ ලෙබනනයේ ඉරණම අපටද ඇත වීමට ඉඩ වැඩිය.

ජාතික ආණ්ඩුවක් සඳහා පුර්වාදර්ශයක් ශ්‍රී ලංකාවේ නැත. සුනාමි විපතින් පසුව පක්ෂ එක්සත් වනු ඇතැයි අපගේ තිබු බලාපොරොත්තුව පාන් පත්තු කල උත්සවයෙන් ම අවසන් විය. වෙනස් දර්ශන සහිත පක්ෂ එකට වැඩකිරීම සඳහා මීට පෙර දැරූ උත්සාහයන් වන 2000 පරිවාස ආණ්ඩුව සහ 2001-2003 ශ්‍රීලනිප – එජාප සහයෝගීතාවය අසාර්ථක වී ය. පැහැදිලි පුර්වාදර්ශය වන්නේ දෙවන ලෝක යුද්ධ සමයේ එක්සත් රාජධානියේ බිහිකළ ජාතික ආණ්ඩුව යි. වත්මන් අර්බුදය ද එම මට්ටමේ ම තර්ජනයක් එල්ල කොට තිබේ.

අපගේ ඉරණම කුමක් විය හැකිද?

දැන් අප නිවැරදි තීරණයන් නොගතහොත්, අප අවසානයේ පත්වන්නේ රට බේරා ගැනීම සඳහා අමාරු තීරණ ගැනීමට තම වෙනස්කම් පසෙකට දැමීමට නොහැකි වූ දේශපාලන පැලන්තිය නිසා අගාධයට ගිය ලෙබනනයේ වැනි තත්ත්වයකට ය.

2019 අවසන් කාර්තුවේ සිට ලෙබනන පවුමේ වටිනාකම සියයට 90 කින් ක්ෂය වී තිබුණු අතර 2020 දී වාර්ෂික උද්ධමනය සියයට 84.9 ක් වී ය. ආණ්ඩුවේ සංඛ්‍යා ලේඛන අනුව 2021 ජුනි වනවිට ඊට පෙර වසර දෙකක කාලය තුළ පාරිභෝගික භාණ්ඩ මිල සිව් ගුණයකට ආසන්න ප්‍රමාණයකින් වැඩි වී තිබිණ. ධනවත් ම ලෙබනන ජාතිකයින් හැරුණු විට අන් සියලුදෙනාට තම ආහාරවල ප්‍රෝටීන් ප්‍රමාණය අඩු කරන්නට සහ තම මෝටර් රථවලට ඉන්ධන ලබා ගැනීමට දිගු පෝලිම්වල සිටින්නට සිදු වුනු අතර දිගු විදුලිය කැපීම් වලට ද මුහුණ දෙන්නට සිදු වුනි. විදුලියෙහි මිල අර්බුදය ආරම්භ වූ කාලයේ තිබු මිල මෙන් 10 ගුණයකට ආසන්නය. ජෙනරේටර් තිබු අයට ඉන්ධන සඳහා ගෙවීම් කිරීමට නොහැකි වී තිබේ.

ලෙබනනය පුරා පවතින ඉන්ධන හිගය නිසා ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් ඇති වී තිබෙන අතර පැය ගණන් රස්තියාදුවන්නට රියැදුරන්ට සිදු වී තිබෙන්නේ ඉන්ධන ලීටර් කිහිපයක් ලබා ගැනීමට හෝ පිරවුම්හලේ ඉන්ධන අවසන් වුවහොත් කිසිවක් නොලබන්නට ය. ඖෂධ සැපයුම ද අවිනිශ්චිත තත්ත්වයට පත්ව ඇත. වේදනා නාශක සහ රුධිර පීඩන ඖෂධ සොයා ගැනීම දුෂ්කරය. ආතතියට ප්‍රතිකාර සඳහා ඖෂධ වැනි අනෙකුත් නිෂ්පාදන සම්පුර්ණයෙන් අතුරුදන් වී ඇත. ඉන්සියුලින් සොයාගැනීමට අපහසුය. ළදරු කිරිපිටි සඳහා වසර දෙකකට පෙර ගෙවූ මිල මෙන් හත් ගුණයක් ගෙවීමට මහජනයාට සිදු වී තිබේ.

ලෙබනනයේ ප්‍රශස්ත යයි සලකන ලද අංශ තුනකට අර්බුදය මගින් දිගුකාලීන හානි සිදු වී ඇත. මැද පෙරදිග ස්විට්සර්ලන්තය ලෙස කලක හඳුන්වන ලද රටේ බැංකු බොහෝ දුරට බංකොළොත් වී ඇත. ගුරුවරුන් සහ මහාචාර්යවරුන්, විදේශවල වඩා හොඳ අවස්ථා සොයා යාම නිසා අධ්‍යාපනය කඩා වැටී ඇත. වැටුප් අඩු වීම නිසා වෛද්‍යවරුන් සහ හෙදියන් රට හැර යාමෙන් සෞඛ්‍ය සේවා පිරිහී ඇත. රටේ ඉහළ ම මට්ටමක පැවති ඇමෙරිකානු විශ්ව විද්‍යාලයේ බීරුට් වෛද්‍ය මධ්‍යස්ථානයේ හදිසි අනතුරු වාට්ටුවේ 2020 ජුලි සිට, වෛද්‍යවරුන් 12 සිට හත දක්වා අඩු වී ඇති අතර 65 ක් ව තිබු හෙදියන් සංඛ්‍යාවෙන් අද එයින් අඩකට අඩු වී තිබේ.

ලෙබනන් ආකාරයේ විනාශයක ප්‍රතිවිපාක ගැන අනාවැකි කිව නොහැකි ය. එරටේ ප්‍රධාන දේශපාලන පක්ෂයක නියෝජ්‍ය ප්‍රධානියකු වූ මුස්ටාෆා අලෝච් ප්‍රකාශ කළේ රටේ ප්‍රශ්න විසඳීමට දේශපාලන පද්ධතිය අසමත් වේ ය යන බියක් ඔහුට ඇති බව යි. ඔහුගේ මහත්ම බිය වන්නේ බලාපොරොත්තු සුන්වීම සහ කෝපය නිසා උපදින අන්ධ ප්‍රචණ්ඩත්වයයි. එනම් “නිවාස සහ සාප්පු කොල්ලකෑම, ඒවාට වෙඩිතැබීම සහ පහරදීම” යි. ඔහු මෙය කීවේ මාස හතරකට කලින් ය. ඔක්තෝබරයේ දී, ජීවිත හයක් බිලිගත් සහ 30 දෙනෙකුට වැඩි ජනතාවකට තුවාල සිදුකල වීදි කෝලහාල මැඩලීමට හමුදා කැඳවීමට සිදු විය.

අත්‍යවශ්‍ය පුර්ව කොන්දේසි

ප්‍රකෘති තත්ත්වයට පත්වීම සඳහා පොදු වැඩසටහනකට අප එකඟ විය යුතු බව සහ වසර දෙකක් එකට වැඩ කළ යුතු බව ප්‍රකාශ කිරීම පහසු ය.  අපහසු වන්නේ පොදු වැඩසටහනකට එකඟත්වයක් ඇතිකර ගැනීම සහ  2000 – 2003 කාලයේ අසාර්ථක වීම් නැවත සිදු නොවන බවට සහතික කර ගැනීම යි. අපගේ ව්‍යවස්ථා ක්‍රමය තුළ ජනාධිපතිවරයාට පවරා ඇති අති විශාල බලය, පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ අතර ඵලදායි සහයෝගිතවයකට ඉඩ නොදෙන්නකි. 2018 දී පෙන්නුම් කළ පරිදි මෙම ඒකාධිපති බලයට වඩාත් ම සාර්ථක ප්‍රතිවිරෝධකය වුයේ 19 වැනි සංශෝධනය යි.

ප්‍රකෘති තත්ත්වයට පත්වීම සඳහා පොදු වැඩසටහනකට අප එකඟ විය යුතු බව සහ වසර දෙකක් එකට වැඩ කළ යුතු බව ප්‍රකාශ කිරීම පහසු ය.  අපහසු වන්නේ පොදු වැඩසටහනකට එකඟත්වයක් ඇතිකර ගැනීම සහ  2000 – 2003 කාලයේ අසාර්ථක වීම් නැවත සිදු නොවන බවට සහතික කර ගැනීම යි. අපගේ ව්‍යවස්ථා ක්‍රමය තුළ ජනාධිපතිවරයාට පවරා ඇති අති විශාල බලය, පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ අතර ඵලදායි සහයෝගිතවයකට ඉඩ නොදෙන්නකි. 2018 දී පෙන්නුම් කළ පරිදි මෙම ඒකාධිපති බලයට වඩාත් ම සාර්ථක ප්‍රතිවිරෝධකය වුයේ 19 වැනි සංශෝධනය යි.

එබැවින් අප ගොදුරු වී සිටින ආර්ථික අර්බුදය ජය ගැනීමේ ඒකාබද්ධ උත්සාහයක් සඳහා අත්‍යවශ්‍ය පුර්ව කොන්දේසියක් වන්නේ ඇතැම් ප්‍රයෝගික වෙනස්කම් සහිතව 19 වැනි සංශෝධනය නැවත ක්‍රියාත්මක කිරීම යි. 20 වැනි සංශෝධනය හකුලා ගැනීම පමණක් නොව, සම්පුර්ණයෙන් ම තනි පුද්ගලයකුගේ කැමැත්ත මත පමණක් පදනම්ව  ස්වාධීන කොමිසන් සභාවලට කළ වැරදි පත් කිරීම් අහෝසි කොට ව්‍යවස්ථා සභාව මගින් අලුතින් පත්වීම් කළ යුතු ය. ඉදිරියේ දී කළ යුතු වන සාකච්ඡා සඳහා මෙන් ම, පසුව ඒවා ක්‍රියාත්මක කිරීමේ දී ද මහ බැංකුව ස්වාධීන සහ වෘත්තීයමය ආකාරයෙන් ක්‍රියාත්මක වීම තීරණාත්මක වෙයි. නුතන මුල්‍ය න්‍යාය සහ එවැනි දේ ගැන පර්යේෂණ වලට අපව නැවතත් භාජනය කිරීමට ඉඩ නොතැබිය යුතුය.

අවම පොදු වැඩ සටහන පිළිබඳව ජනතා විශ්වාසය ගොඩනැගීම සඳහා මෙරට මාධ්‍ය අවකාශය ප්‍රජාතන්ත්‍රීය කිරීමේ අවශ්‍යතාවය සැලකිල්ලට ගෙන, ගුවන් විදුලි සංඛ්‍යාත භාවිතා කරන සියලු ආයතන සහ මාධ්‍ය ව්‍යවසාය නියාමනය සඳහා ස්වාධීන කොමිසන් සභාවක් පිහිටුවීමට නව පනතක් හඳුන්වාදීම මගින් මාධ්‍ය ප්‍රතිසංස්කරණ වේගවත් කිරීම ද අවශ්‍ය වෙයි. මෙමගින් සංඛ්‍යාත නිකුත් කිරීමේ සම්පුර්ණ ප්‍රතිසංස්කරණයක් සිදුවන අතර එහි ඇති භාවිතා නොකළ වටිනාකම් ලබා ගැනීමක් ද සිදු කර ගත හැකි වෙයි. මධ්‍යම ආණ්ඩුවට ආර්ථිකය යථාවත් කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමට ඉඩ ලැබෙන පරිදි, පළාත් සභාවන්ට තම කාර්යභාරය ඉටු කිරීමට හැකිවන ලෙස ,දැන් බොහෝ සේ ප්‍රමාද වී ඇති පළාත් සභා මැතිවරණ පැරණි නීතිය යටතේ ඉක්මනින් පැවැත්විය යුතු ය.

2023 පෙබරවාරි මාසයෙන් පසු ඕනෑම අවස්ථාවක තමන්ගේ තනි කැමැත්ත පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට  20 වැනි සංශෝධනය යටතේ ජනාධිපතිට බලය ඇත. ජාතික ආණ්ඩුවක අන්තර් වාර පාලනය අඩු තරමින් වසර දෙකක් වත් බාධාවකින් තොරව පැවතීම අවශ්‍ය ය. 20 වැනි සංශෝධනය අහෝසි කිරීමේ අවශ්‍යතාව මෙමගින් තව දුරටත් පෙන්නුම් කරයි. වසර දෙකකට පසුව 2024 දී, ජාතික ආණ්ඩුව විසුරුවා හැරිය හැකි අතර පක්ෂවලට නැවතත් සාමාන්‍ය දේශපාලනයට යා හැකි ය. එම කාලය වන විට, නිත්‍ය ද්විත්ව හිඟයන් පියවීමට අවශ්‍ය ව්‍යුහාත්මක වෙනස්කම් කිරීමට අපට හැකි විය යුතු අතර එමගින් අපගේ ණය සාර්ථක ලෙස ප්‍රතිව්‍යුහගත කරගැනීමේ හැකියාව ලැබෙනු ඇත.

2023 පෙබරවාරි මාසයෙන් පසු ඕනෑම අවස්ථාවක තමන්ගේ තනි කැමැත්ත පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට  20 වැනි සංශෝධනය යටතේ ජනාධිපතිට බලය ඇත. ජාතික ආණ්ඩුවක අන්තර් වාර පාලනය අඩු තරමින් වසර දෙකක් වත් බාධාවකින් තොරව පැවතීම අවශ්‍ය ය. 20 වැනි සංශෝධනය අහෝසි කිරීමේ අවශ්‍යතාව මෙමගින් තව දුරටත් පෙන්නුම් කරයි.

අවම වැඩ සටහනක අංග 

ඇත්ත වශයෙන් ම අවම පොදු වැඩ සටහන සාකච්ඡා කොට සකසා ගත යුතු වුව ද, පහතින් සඳහන් වන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩ සටහනට අත්‍යවශ්‍ය විශ්වාසය ගොඩනගන අතර ද්විත්ව හිඟයයන් අඩු කර ගැනීමට අන්තර් වාර ජාතික ආණ්ඩුවකට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව උදාහරණ කිහිපයකි.

1 ජාතික ආණ්ඩුවේ අභිප්‍රායන් විශ්වසනීය ලෙස සන්නිවේදනය වන පුවත් සිරස්තල ලෙස ප්‍රචාරය වන ක්‍රියාවක් අපට අවශ්‍ය වෙයි. එයාර් ඉන්දියා සමාගමට කළ ආකාරයට ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් ද විකුණා දැමීම හොඳම දෙය විය හැකි ය. එමගින් භාණ්ඩාගාරයට වලකා ගත හැකි පාඩුව එක දිනකට ශ්‍රී ලංකා රුපියල් මිලියන 99 ක් පමණ වෙයි. එය 2018, 2019, සහ 2020 වසරවල ගුවන් සමාගමට එක දිනකට දරන්නට වූ සාමාන්‍ය පාඩුව යි. සියයට 100 ක අයිතිය විකුණා දමා එක්රැස්ව තිබු ණයෙන් සැලකිය යුතු පංගුවක් තබා ගැනීමට ඉන්දියානු ආණ්ඩුව ක්‍රියා කළ ආකාරයට ම, මිල දී ගන්නාට සම්පුර්ණ පාලනය භාර දී එක්රැස් වූ ණය පිලිබඳ යම් වගකීමක් භාර ගැනීමට අපට ද සිදුවිය හැකි ය. ආණ්ඩුව තව දුරටත් පාඩු ආවරණය නොකරන බවට 2022 අයවැය කතාවේ ප්‍රකාශ කළ පණිවිඩය රාජ්‍ය ව්‍යවසායයන්ට ලැබෙනු ඇත. කිසිදා අවසන් නොවන ඉල්ලීම්වලින් භාණ්ඩාගාරය (සහ බදු ගෙවන්නන්) ආරක්ෂා වනු ඇත. එමෙන් ම අප අපගේ නිවහන පිළිවෙළට තබාගන්නා බවට පැහැදිලි පණිවිඩයක් අපගේ ණය හිමියන්ට ලැබෙයි.

2 ගෘහස්ත ගෑස් ඇතුළු ආනයනික පෙට්‍රෝලියම් නිෂ්පාදන සඳහා මිල සුත්‍ර මත පදනම් වූ මිල නියම කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළ යුතු ය. මෙය ද්විත්ව හිඟයයන් අඩු කිරීමේ අත්‍යවශ්‍ය අංගයකි. මෙය විදුලිය සහ ජල ගාස්තු ආදිය ඉහළ නංවමින් ආර්ථිකය පුරා පැතිරෙනු ඇත. මෙම සියලු ම උපයෝගිතා සේවා විධිමත් උපයෝගිතා නියාමනයක් යටතට පත් කොට සැබෑ වියදම් පිළිඹිබු වන ආකාරයෙන් මිල නියම කළ යුතු ය. ගාස්තු වැඩි කිරීම් නිසා බලපෑමට ලක්වන දිළිඳු පිරිස්වලට පහත විස්තර කොට ඇති ආකාරයේ සමාජ ආරක්ෂණ දැලක කොටසක් ලෙස ලබා දෙන ඉලක්ක ගත සහනාධාර මගින් ආධාර කළ යුතු ය.

 3 එකිනෙක අතිච්ඡාදනය වන බහු විධ සුබසාධන වැඩ සටහන් සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය යටතේ ඒකාබද්ධ කිරීමේ ක්‍රියාවලිය සහ එහි ප්‍රතිලාභීන්ගේ දත්ත ගබඩාව සැකසීම වේගවත් කළ යුතු ය. රුපියල අවප්‍රමාණ වීම යම්කාලයක් පැවතිය හැකි බැවින් එහි ප්‍රතිඵලයක් ලෙස අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාම සිදුවිය හැකි නිසාත්, උපයෝගිතා ගාස්තු වෙනස් වන තත්ත්වයක් පැවතීමත්, නිසා ලෝක බැංකුවේ ආධාර යටතේ දැනට ක්‍රියාත්මකව පවතින සමාජ ආරක්ෂණ දැල් ව්‍යාපෘතියේ මුදල් ලබාගැනීම අවශ්‍ය වන අතර ඉලක්කගත ආකාරයෙන් ආධාර ලබා දීමේ යාන්ත්‍රණයක් සංවර්ධනය කිරීම ද අවශ්‍ය වෙයි. සමාජ ආරක්ෂණ දැල් ක්‍රියාත්මක කිරීමට ඉහළ ප්‍රමුඛත්වයක් ලබා දීම වේදනාව පාලනය කිරීමට හේතු වෙයි. මෙම ක්‍රියාවලිය තුළ සමෘද්ධි  දෙපාර්තමේන්තුව වැනි වැඩ සටහනට ලබා දී ඇති සම්පුර්ණ මුදලින් සියයට 25 ක් කා දමන ඇතැම් අතිරික්ත ආයතන වසා දැමීමට ජාතික ආණ්ඩුවට හැකි වුව හොත් එය ණය හිමියන්ට බලගතු පණිවිඩයක් ලබා දෙනු ඇත.

 4 අපනයන ඉහළ නැංවීම අප වහාම කළ යුත්තකි. දේශපාලන නායකයින් සිතන ආකාරයට එය අලුතින් ම පටන් ගැනීම අවශ්‍ය නැත. පුළුල් ලෙස සාකච්ඡාවට ලක් කළ ජාතික අපනයන උපාය මාර්ග සැලසුමක් තිබේ. එය ක්‍රියාවට නැගීම සඳහා වග කියන ආංශික කමිටු ක්‍රියාත්මක ය. ජනාධිපතිතුමා විසින් 2019 දී අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ලෙස පත්කරනු ලැබූ , ප්‍රභාශ් සුබසිංහ නිවැරදිව ප්‍රකාශ කළ පරිදි, රෝදය නැවත සොයා ගැනීමට යන්නේ නැතිව, අප කළ යුතු වන්නේ ජාතික අපනයන උපාය මාර්ග සැලසුම ක්‍රියාවට නැගීමයි. යෙදවුම් සඳහා බලපත්‍ර ගැනීමේ සිට නිතර වෙනස් වන බැංකු රෙගුලාසි දක්වා, අපනයනකරුවන් මුහුණ දෙන බාධක හඳුනාගැනීම සඳහා නිලධාරීන් කණ්ඩායමක් සමග ක්‍රියාකරන ලෙස ජාතික අපනයන සැලැස්මේ එක් එක් කමිටුවට නියම කළ යුතු ය. මෙම කමිටුවල නිර්දේශ පරීක්ෂා කොට ඉක්මන් විසඳුම් ක්‍රියාමාර්ග ගැනීමට ඉහළ බලයක් සහිත කමිටුවක් තිබිය යුතු ය.

5  සියලු ආර්ථිකයන් ආතතියට ලක් වී ඇති සහ ආරක්ෂණවාදී ආවේග ඉහළ නගිමීන් පවතින පසු – වසංගත වාතාවරණය තුළ වෙළෙඳපොළ පිවිසුම තීරණාත්මක ලෙස වැදගත් වෙයි. වර්තමාන පරිසරය තුළ වෙලෙඳපොළ ප්‍රවේශ ලබාගැනීමේ පළමු පියවර වන්නේ දැන් සාකච්ඡා කෙරෙමින් පවතින ඉන්දියානු සහ චීන ද්විපාර්ශවික වෙළෙඳ ගිවිසුම් ඉක්මනින් අවසන් කිරීමයි. එම වෙළෙඳපොළවල වර්තමාන සහ අනාගත වැදගත්කම නිසා ඉන්දියානු සහ චීන ගිවිසුම්වලට ප්‍රමුඛත්වය දිය යුතු ය. ඊළඟ ප්‍රමුඛතාව හිමිවිය යුත්තේ වියට්නාමය වැනි තරඟකාරීන්ට තවත් වාසි සලසමින් 2022 ජනවාරි සිට ක්‍රියාත්මක වන කලාපීය විස්තීර්ණ සහයෝගීතාවයට ( RCEP ) සම්බන්ධ වීමට මග පාදා ගැනීමට ය. වෙළෙඳපොළ ප්‍රවේශ සහතික කර ගැනීමට සහ විශ්වාසය තහවුරු කිරීමට හැකි වන ලෙස වෙළෙඳ ගිවීසුම් සාකච්ඡා කර ගත හොත්, විදේශීය ඍජු ආයෝජන ආකර්ෂණය කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

National Convention on Economic Crisis - Rohan Samarajiva

මහාචාර්ය රොහාන් සමරජීව

(අනිද්දා)

Social Sharing

Related posts