විද්‍යාරත්නලාට තනියෙන් හොරු ඇල්ලිය හැකිද?

දේශපාලන පක්ෂ හා කණ්ඩායම්වල පම්පෝරිවලින් එහාට ගිය රට ගොඩනැගීමේ පොදු වැඩපිළිවෙලක් ඕනෑ කියන කථාව රටේ රාළ මතු කරන්නේ දැන්ට අවුරුදු කීපයක ඉදන්. ඇත්තටම තවමන්ම රට ඉදිරියේ තියන්න එහෙම පොදු වැඩපිළිවෙළක් නිර්මාණය නොවීම කනගාටුදායකයි.

ඒත් සමාජය ඇතුළේ රට ගොඩනැගීමට පොදු වැඩපිළිවෙලක් ඕනෑ කියන දේශපාලන සංවාදය ගොඩනැගිලා තියනවා. ඒ සංවාදය ඇතුළේ බොරු පුද්ගල පම්පෝරි අභියෝගයට ලක්වෙලා තියනවා. ඒ සංවාදය ඇතුළේ රාජපක්ෂලා නං කුජීතම වෙලා ගිහිල්ලා. ඒ සමාජ සංවාදය විසින් ගොඩනගපු පීඩනය ඒ පුද්ගලයන්ට වගේ දේශපාලන පක්ෂවලටත් දැනෙන්න පටන් අරන්. ඒක නිසා රටේ රාළලා ගොඩනගපු මේ සමාජ සංවාදය සීරෝ නෑ. අඩුම ගානේ ඒක සියට තිහ හතලිහ මට්ටමේ තියනවා. ඇත්තටම රටේ රාළ ඒකෙන් ඉළක්ක කළේ මේ රටේ දේශපාලනයේ Key Point ටික. ඇත්තටම ඒ බලපෑම එයාලා වෙතට ගිහිල්ලා තියනවා.

ඒක නිසා මේ වෙලාවේ කියන්න ඕනි රටේ රාළ ලිපිය තනි පුද්ගලයෙක් නමින් එලියට ආවත් මේක සාමූහික උත්සාහයක ප්‍රථිපලයක්. කොහොම උනත් මේ වෙනකොට විපක්ෂයේ ගොඩාක් දේශපාලන පක්ෂ හා කණ්ඩායම් තම තමන්ගේ සීමාවන්ට යටත්ව වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීමට උත්සහ කරමින් ඉන්න බව පේනවා.

ඒත් ඒවා ඇතුළේ තනි පුද්ගලයෙකුගේ හරි කණ්ඩායමක හරි බල උවමනාව හැංගිලා තියනවා. ඒක තේරුම් ගන්න රටේ රාළට නං ලොකු අපහසුවක් නෑ. කොහොම උනත් ඒ වැඩපිළිවෙළවල් ඇතුළේ ගතයුතු යමක් නෑ කියලා රටේ රාළ කියන්නේ නෑ. පහුගිය දවසක ජාතික ජන බලවේගය තමන්ගේ වැඩපිළිවෙළ ඉදිරිපත් කරලා තිබුණා. ඇත්තටම ඒක හුදු ලියවිල්ලක් විතරයි. හරියට ජනාධිපති ගෝඨාභයගේ සෞභාග්‍යයේ දැක්ම වගේ තමයි. ඒක තියන ගොඩක් ඒවා අවසානයේ කියන්නේ කරනු ලැබේ කියලා. ඒවා කරන්නේ කොහොමද කියලා අහගන්න අනුර දිසානායක හම්බ වෙන්න යන්න වෙනවා.

හැබැයි එහෙම හරි වැඩපිළිවෙලක් ඉදිරපත් කරලා තියෙන්නේ ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය විතරයි. ඊට අමතරව සජිත් හා පාඨළී තමන්ගේ වැඩපිළිවෙළ ඉදිරිපත් කරන බව කියනවා.

පොඩි පොඩි ආර්ථික කෑලි හර්ෂ, එරාන්ලා කියනවා ඇහෙනවා. රනිල් නං ආර්ථිකය සම්බන්ධව එයාගේ උත්තරය කියලා ඉවරයි. රනිල් කියන්නේ IMF යන්න කියලා. මෛත්‍රීගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීමට සුදානම් බව කියනවා.

ඊළඟට නව ව්‍යවස්ථාවක් සම්බන්ධ සාකච්ඡාවක් කරූ ජයසූරියගේ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයෙනුත් ගෙනැල්ලා තියනවා. ඒ වගේම විවිධ පුද්ගලයන් තනි තනිව නැතිනම් කණ්ඩායම් විදිහට තම තමන්ගේ උත්තර කියන්න ඉදිරිපත් වෙන බවකුත් පේනවා. මෙතනදී පහුගිය දවස්වල විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම ගැන සාකච්ඡා නැවත ඉහළට ඇවිත් තියනවා. ජාතික ජන බලවේගයේ වැඩපිළිවෙළ ඇතුළේ විධායක ජනාධිපති ධූරය අහෝසි කරනු ලැබේ කියන කෑල්ල හංගලා ගහලා.

තියනවා. හැබැයි කරන ක්‍රමයක් කියලා නෑ. ඒකේ පළවෙනි පියවර විදිහට රටේ රාළ යෝජනා කළේ 20වෙනි සංශෝධනය 19 දක්වා රිවස් කරන්න ඕනි කියලා. ඇත්තටම අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරගන්න පුළුවන් හදිසි හා ඉක්මන් පියවර ඒක. ඒක කරන්න ජනවරමකට යන්න ඕනි නෑ. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් පුළුවන්.

කොහොම උනත් රටේ රාළගේ ඒ යෝජනාව මෛත්‍රී පිලිඅරන් තිබුනා. ඒ ගැන රටේ රාළ මෛත්‍රීට ස්තුතිවන්ත වෙනවා. හැබැයි අද රටේ රාළ කතා කරන්නේ ඒ ගැන නෙවෙයි. පහුගිය කාලේ නැවතත් කරලියට ඇවිත් තියන තවත් සටන් පාඨයක් ගැන.  ඒ තමයි දුෂණ විරෝධී සටන් පාඨය. මේ පාරත් ඒ ගැන සාකච්ඡාව ඉහළට ගෙනාවෙත් ජාතික ජන බලවේගයම තමයි. ඒ ගැන කියන්න රටේ රාළ කුහක නෑ. දැන් මෛත්‍රීත් දුෂණ විරෝධී සටන් පාඨයට අත තියලා තියනවා. ඇත්තටම රටේ රාළට ජවිපෙ එක්ක මොන තරම් ප්‍රශ්න තිබුණත් මේ රටේ දූෂණ විරෝධි සටන් පාඨය බරෙන් ගන්න පුළුවන් පක්ෂය ජවිපෙම තමයි කියලා කියන්න රටේ රාළ පැකිලෙන්නේ නෑ. හැබැයි ඒක එයාලට ගන්න පුළුවන් පක්ෂයක් විදිහට මිසක් තනි තනි පුද්ගලයෝ විදිහට නෙවෙයි. ජවිපෙ එක්ක ඒ ගැන සංවාදයට එන්න රටේ රාළ ලෑස්ති නෑ. රටේ රාළගේ තර්කය ඒක කියලා ජවිපෙ දැන ගැනීම විතරක් ඇති.

ඒ වගේම ඒකේ අනිත් පැත්ත තමයි මෛත්‍රීට තියෙන්නේ. මෛත්‍රීට තනි පුද්ගලයෙක් විදිහට දූෂණ විරෝධි සටන් පාඨය ගන්න පුළුවන්. ඒත් පක්ෂයයක් විදිහට ශ්‍රීලනිපයට ඒක තවම ගන්න පුළුවන්ද කියන ප්‍රශ්නය රටේ රාළට නං තියනවා. මෙකද තවමත් එහෙම බඩු දෙක තුනක් හරි ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම ඇතුළේ ඉන්නවා. එක ගැන සංවාද කරන්නත් රටේ රාළට ඕනි නෑ. රටේ රාළ එහෙම කියනවා කියලා ශ්‍රීලනිපය දැනගත්තම හොඳටම ඇති. කොහොම උනත් ඇත්තටම මේ රටේ මහජන දේපල මංකොල්ල කාපු සියල්ල ආපිට ගන්න ඕනි. ඒ ගැන හීනෙන්වත් දෙගිඩියාවෙන් රටේ රාළට නං නෑ. හොරකම ජනාධිපති නෙවෙයි මොන සක්කරයා කළත් ඒක කරන්න ඕනි. ඒ වත්කම් රජයට පවරාගෙන විතරක් හරියන්නේ නෑ. ඒ හොරුන්ට දඩුවම් දෙන්නත් ඕනි. ඒක සිර දඩුවමේ සිට මරණ දඩුවම දක්වා වෙන්නත් පුළුවන්.

ඇත්තටම රටේ රාළ නං ඉන්න ස්ථාවරය තමයි මේ රටේ මහජන දේපල මංකොල්ල කාපු උන්ට, නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයින්ට වගේම ස්ත්‍රී දුෂකයන්ට හා ළමා අපචාර කරන උන්ට මරණ දඩුවම දෙන්න ඕනි කියන එක. ඒ වගේම අද නිදොස් කොට නිදහස් වෙලා ඉන්න ඔක්කොම පාපතරයන්ගේ නඩු නැවත අහන්න ඕනි. ඒකට විශේෂ නීතියක් හදන්න ඕනි.

අපි මේ දක්වා රටක් විදිහට ට්‍රිලියන 18 ක් විතර ණය අරන් තියනවා. හැබැයි ඒ ණය කන්දෙන් ජනතා සේවයට යෙදවිලා තියෙන්නේ ට්‍රිලියන දෙකකට අඩු ගානක්. ට්‍රිලියන 16 කට වැඩි ගානක් හොරා කාලා. ඉතින් මේවා හොයාගෙන රටට පවරා ගන්න ඕනි නැද්ද? ඒ හොරුන්ට දඩුවම් දෙන්න ඕනි නැද්ද? අපි මේ ජාති ණය ගෙවන එක නතර කරන්න ඕනි නැද්ද? මේ දුෂණය පිටු දැකලා ඒ මහජන දේපල ආයෙත් අරගන්නේ කොහොමද කියලා ඊයේ පෙරේදා දවසක හොඳ කතාවක් ඇහුණා. ඒ ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්නගෙන්. රටේ රාළත් සමන්තගේ යෝජනාවට අත් දෙකම උස්සලා එකඟයි.

සමන්ත කියන්නේ මෙහෙම. හොරකම් කිරීම කියන එක එයා කොටස් දෙකකට බෙදනවා.  එකක් තමයි නැතිකමට කරපු හොරකම්. ඔය පොල් ගෙඩියක් කඩපුවා, කෙහෙල් කැනක් කපපුවා, පොඩි පගාවක් ගත්ත ඒවා. ඇත්තටම ජීවත්වීම වෙනුවෙන් කරපු හොරකම්වලට සමාව දෙනවා. මෙතනදී සමන්ත කියන විදිහට අල්ල ගන්න ඕනි මහ හොරු ටික. ඉහළ පුටුවල ඉඳගෙන ඉහළ වැටුප් ගනිමින් රජ සැප විදිමින් රටේ මහජන දේපල හොරකම් කරපු තක්කඩි දේශපාලකයෝ ටිකයි නිළධාරින් ටිකයි. සමන්ත කියන්නේ ඒයාලටත් නිශ්චිය කාලයක් දෙනවා කියලා. තමන් ස්වේච්ඡාවෙන්ම වරද පිලි අරගෙන තමන් හොරකම් කරපු සියලු දේ ගෙනත් ආපිට බාර දෙන්න. එහෙම භාර දෙන අයගේ රහසිගත භාවයත් රකිනවලු. හැබැයි සමන්ත මතක තියාගන්න ඕනි මුන් බාරදෙන්නේ පොඩ්ඩයි. නැත්තං බාර දෙන්නෙම නෑ. ඒ බාර දුන්නට පස්සේ එයාලා ගැනත්, බාර නොදුන් එවුන් ගැනත්, ටිකක් බාරදුන් එවුන් ගැනත් නීතිමය කටයුතු පටන් ගන්නවලු.

ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුවේ අලුත් නීති සම්මත කරලා කෙටි කාලයක් ඇතුළත නඩු අහලා ජනතාවගේ කොටස ආපහු අරගෙන හොරුන්ට දඩුවම් දෙනවලු. ඇත්තටම සමන්තගේ ඒ සංකල්පය ඉතා හොඳ එකක්. ඒක ප්‍රායෝගිකව කරන්න පුළුවන් දෙයක්. හැබැයි සමන්ත සහෝදරයා ඔතන තියන ප්‍රශ්නය ඕක කරන්න බලය ගන්නේ කොහොමද කියන එකයි. ඒකට ප්‍රායෝගික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න ජාතික ජන බලවේගය තවමත් අසමත්. ඒකට කරන්න ඕනි පොදු වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම විතරයි. පොදු වැඩපිළිවෙළකට නම් සමන්තගේ නැත්නම් ජවිපෙ යෝජනාව කාලෝචිතයි. එහෙම නැතිව ජවිපෙ මේ යන ගමනට අනුව නං හොරුන් අල්ලලා දඩුවම් කරනකොට සමන්තවත්, රටේ රාළවත් ඔය කියන හොරුන්වත් ජීවතුන් අතර නෑ. ඒක නිසා රටේ ඇත්ත ප්‍රශ්නයට විසඳුම තියෙන්නේ කාගෙත් හොඳ දේ එක තැනකට ගත් වැඩපිළිවෙලක් හැදීමෙන් විතරයි.

එහෙම නැතිව මේ සමාජ බලවේග හැසිරෙන විදිහ අනුව බලය ගන්න කාටවත් තනියෙම බෑ. ඒක තමයි ජවිපෙ වැටිලා තියෙන මුලාව. සියලු හොඳ දේ මහ සමාජයට එකතු කරමු. මහ සමාජයට ඕනි හොඳ මිනිස්සු. ඌ ජේව්පී කාරයෙක් නොවී ශ්‍රීලංකාකාරයෙක් උනාට කමක් නෑ. යූඑන්පී කාරයෙක් උනත් කමක් නෑ. ඒක නිසා හොඳ දේවල් කෝවක් ඇතුළේ හිර කරන්න යන්න එපා. එතකොට නම හොඳ උනත් වෙන වැඩේ හොඳ නෑ. මතකනේ කාම්බෝජයේ පොල් පොට් සමාජවාදය නමින් කරපු විනාශය. ජවිපෙන් ඒක කරගන්න මේ රටට ඕනි නෑ. හොඳ දේ කරන්න මහ සමාජය ඉදිරියේ ඉදිරිපත් වෙන කෙනා ඒ වැඩපිළිවෙලේ නායකත්වය දරන්න සුදුසුයි. ඒක සමාජ බලයක් බවට පත් කිරීමෙන් ඒ වටිනාකම එයාලට ලැබෙයි. මොකද ඒකට තමයි බලය ගන්න පුළුවන්. එහෙම නොකරන තාක් හොරු තමයි බලයට එන්නේ. එහෙම නොකිරීම හොරු බලයේ තියන්න කරන දේශපාලන ඩීල් එකක් හැර වෙන මොකක්ද?

එහෙනම් ගිහින් එන්නම්.

බුදු සරණයි ජයවේවා.

රටේ රාළ

(ප්‍රියන්ජිත් විතාරණ)

Social Sharing
නවතම විශේෂාංග