කරුවල කාමරවල සකස් කරන මැතිවරණ ප්‍රකාශන මත රටක ප්‍රතිපත්ති කරන්න යෑමේ ආදීනවයි අපි මේ විඳින්නේ – මහාචාර්ය රොහාන් සමරජීව

කරුවල කාමරවල සකස් කරන මැතිවරණ ප්රtකාශන මත රටක ප්රඅතිපත්ති කරන්න යෑමේ ආදීනවයි අපි මේ විඳින්නේ

■ ප්‍රබුද්ධ නුවන්

කෘෂිකර්ම අමාත්‍යවරයා කියන හැටියට, දෙදහස් පන්සීයක ස්වයංපෝෂිත ඉතිහාසයක් තිබුණ මේ රටේ කෘෂිකර්මාන්තයේ තීරණාත්මක ගැටලුවක් ගෙනාවේ 1965 හරිත විප්ලවය. ඔහුට අනුව හරිත විප්ලවය මගින් ලංකාවේ ගොවීන්ට රසායනික පොහොර බලහත්කාරයෙන් හඳුන්වා දෙනවා. ඇත්තටම හරිත විප්ලවය කියන්නේ එහෙම එකක්ද? ඒක රටේ ස්වයංපෝෂිතභාවය නැති කළාද?

අපි ඉස්කෝලේ යන කාලේ වන විට රට ස්වයංපෝෂිත කිරීම කියන එක ඉහළ අරමුණක් හැටියට තිබුණා. මොකද ඒ කාලේ වන විටත් අපිට අවශ්‍ය හාල්, පරිප්පු වගේ ගොඩක් දේවල් පිටරටින් තමයි ගෙනාවේ. අපිට මතකයි ඒ කාලේ බුරුමෙන් හාල් ගේනවා. ඒවා ඉතාම ගඳ සහ ගල් සහිත හාල්.

ඒ වගේම ආනයන සීමා තිබුණ කාලයේ වෛද්‍ය බ්‍රයිටී ද මෙල් මහත්මිය වාර්තාවක් ඉදිරිපත් කළා. ඒ වාර්තාවේ දත්තවලට අනුව ලංකාවේ ජනගහනයෙන් භාගයකට අවශ්‍ය පෝෂණය තිබුණේ නෑ කියලා කියවුණා.

වඩා ඵලදායී කෘෂිකර්මය කියන එක ලංකාවේ විශාල ප්‍රමුඛතාවක් දීලා තිබුණ සංකල්පයක්. ඩීඑස් සේනානයකලා, සීපී ද සිල්වා වගේ අය ඒ ගැන තදින් නියුතුව හිටියා. ඒ වගේම ඩඩ්ලි සේනානායක මහත්තයාට කෘෂිකර්මය ගැන තිබුණ උනන්දුව අගමැතිකමට තිබුණ උනන්දුවටත් වැඩියි කියන්න පුළුවන්.

කොහොම වුණත් මේ අය කළේ කෘෂිකර්මය ස්වයංපෝෂිත කිරීමේ අරමුණෙන් පුළුවන් තරම් අලුත් ඉඩම් ඒකට ගත්තු එක. ගල්ඔය ව්‍යාපාරය, සීපී ද සිල්වලා විවෘත කළ රාජාංගණ ව්‍යාපාරය වගේ දේවල් ඊට උදාහරණ හැටියට ගන්න පුළුවන්. නමුත් මේ විදිහට වගාව සඳහා භූමිය වැඩි කිරීමේ සීමාවක් තිබුණා. ඒ අනුව තමයි පැහැදිලි වුණේ ඵලදායිතාව වැඩි කරන්නේ නැතිව ස්වයංපෝෂිත ආර්ථිකයක් ගොඩනගන්න බැරි බව. මේක අපිට විතරක් නෙමෙයි ලෝකයේ බොහෝ රටවලට පැහැදිලි වුණු එකක්. ඒ අනුව තමයි ලෝකයේ ගොඩක් රටවල හරිත විප්ලවය ගොඩනැගෙන්නේ.

ඉන්දියාවේ සිටි ආචාර්ය ස්වාමිනාදන්, පිලිපීනයේ ජාත්‍යන්තර පර්යේෂණ ආයතනය වගේ අය මූලික වෙලා වඩා සඵල, ඵලදායී කෘෂිකර්මයක් ගොඩනැගීමට හරිත විප්ලවය දියත් කළේ මේ කාරණා නිසා. ඒ හරිත විප්ලවය අනික් රටවලට වගේම අපිටත් යුගයේ අවශ්‍යතාව නිසා අපි ගත්තා මිස කවුරුත් බලෙන් අපිට පැටෙව්වේ නෑ.

 

නමුත් මේ අයගේ තර්කය අපිට සම්පූර්ණයෙන්ම කාබනික ගොවිතැනින්ම මේ අරමුණ ගොඩනගාගන්න තිබුණා කියන එක?

ඔය විදිහට කියන ගොඩාක් අය කියන්නේ, කැලේ ගස් වැවෙන්නේ කැලේට පොහොර දාලා නෙමෙයිනේ කියන එකනේ. කෘෂිකර්මයේ හෝඩිය හරි දන්න, කෘෂිකර්මය පිළිබඳව කියවලා තියෙන අය පවා දන්න දෙයක්නේ එන්පීකේ කියන මූලද්‍රව්‍ය ගැන. ඒ කියන්නේ නයිට්‍රජන්, පොටෑසියම් සහ පොස්පරස් කියන දේවල් මූලික වශයෙන් ශාකවලට අවශ්‍යයි කියන එක. කැලෑවේ ගස්වලට ඒවා වෙනම සපයන්න අවශ්‍ය නැති වුණත් ගොවිතැන් කිරීමේදී ඒවා සපයන්න ඕනෑ. කැලේ ගස් ක්ෂය වෙලා ඒවා නැවත පොළවටම ගිහින් චක්‍රයක් විදිහට වැඩ කරනවා. නමුත් කෘෂිකර්මයේදී අපි වගාකරන දේවල් එහෙම්පිටින්ම පොළවටම දිරන්න දෙන්නේ නෑනේ. බොහෝ වෙලාවට අපි වගාකරන දේවල් අරගෙන, ආහාරයට ගන්නවා.

ඒ නිසා ඵලදායී කෘෂිකර්මයක් සිදු කරද්දී අපිට පොහොර ඇතුළු රසායනික ද්‍රව්‍ය පිටතින් සපයන්නම වෙනවා.

මේ අවුරුද්දේ මැයි මාසේ 10 වෙනිදා මං මේ ගැන අනිද්දා පත්තරේට ලිපියක් ලිව්වා. ඒ වනකොට ගැසට් එක පිටවෙලා දවස් හතරයි. මං ඒ ලිපිය ලිව්වේ ගැසට් එක එන්නත් කලින් කැබිනට් පත්‍රිකාව කියවලා. වැඩි සංවාදයකට ඉඩ දෙන්නේ නැතිව ආණ්ඩුව මේ කැබිනට් පත්‍රිකාව දැම්මේ අප්‍රේල් 28. කොහොම වුණත් ඒ ලිපියේ මං විවේචන දෙකක් ඉදිරිපත් කළා. මගේ එක් ප්‍රශ්නයක් වුණේ මේ තරම් බැරෑරුම් කාර්යයක් කරන්න කලින් මොනවාද සලකලා තියෙන පර්යේෂණ වාර්තා සහ කමිටු වාර්තා කියලා. එහෙම කිසිම දෙයක් නෑ.

 

අමාත්‍යවරයා කියන්නේ මේක ජනාධිපතිවරයා ආවාට ගියාට ගත්ත තීන්දුවක් නෙමෙයි, විශේෂඥයින්ගේ අදහස් අරගෙන ගත් තීන්දුවක් කියලා?

විශේෂඥයෝ කියන්නේ වෛද්‍ය විශේෂඥයෝ නෙමෙයිනේ. ඒ අය මේකට අදාළ නෑ.

මට මතකයි මහාචාර්ය මොහාන් මුණසිංහ කියන කීර්තිමත් විද්‍යාඥයා යටතේ 2016-17-18 වර්ෂවල තිරසාර සංවර්ධනය කියලා අපි විශාල ලියැවිල්ලක් හැදුවා. ඒකේ තිබුණ එක එක පරිච්ඡේද ලිවීමට විවිධ කමිටු පත් කරලා තිබුණා. ඒ කෘතියේ තිබුණා කෘෂිකර්මය සම්බන්ධ පරිච්ඡේදයකුත්. ඒ පරිච්ඡේදයේදී ඊට සහභාගි වූ විද්‍යාඥයෝ රටේ කෘෂිකර්මය ගොඩනගන්න අවශ්‍ය බොහෝ නිර්දේශ දීලා තිබුණා. ආණ්ඩුව මේ වගේ තීන්දුවක් ගනිද්දී ඒ ලියවිල්ල දිහාවත් බැලුවේ නෑ අඩු තරමේ.

දෙවැනි කාරණය තමයි මේ අය මෙතෙක් අපි ලබලා තියෙන අත්දැකීම් දිහා බැලුවෙත් නෑ. මේ සම්බන්ධයෙන් අපේ රටේම පූර්වාදර්ශයක් තිබුණා. ඒ තමයි ග්ලයිෆොසේට් තහනම නිසා සිදු වූ හානිය. ඒ තහනමට හේතු වූයේ අතුරලියේ රතන හිමිගේ යෝජනාවක්. කොහොම වුණත් ඒ තීන්දුව මගින් කෘෂිකර්මයට සහ රටේ ආර්ථිකයට සිදුවුණ හානිය පිළිබඳ අත්දැකීමක් අපිටම තිබුණා.

ඊට අමතරව භූතානය පිළිබඳ අත්දැකීමුත් මං අර ලිපියේ ඉදිරිපත් කළා. ඒ අය කාබනික වගාවන්ට යන්න ගිහින් සිදුකරගත් හානිය අතිවිශාලයි. අපි ජනමාධ්‍යයට මොනවා ලිව්වත් කිව්වත් ආණ්ඩුව ඒ එකක්වත් ගණන්ගත්තේ නෑ. ඒ සියල්ල නොසලකා හැරලා ප්‍රතිපත්ති ප්‍රකාශනවල තම හිතමිතුරන් ලියලා දීපු අර්ථ විරහිත දේවල් එක රැයකින් කරන්න රජය උත්සාහ කළා. ඒක සම්පූර්ණයෙන් වැරදි ක්‍රියාවක්. ඉතිං ඒ විදිහට රජය ඇතුළත හා රජයෙන් පිට ඉන්න සැබෑ විශේෂඥයන්ගේ දැනුම යොදාගන්නේ නැතිව, හුදෙක් කරුවල කාමරවල අඳුරේ සකස් කරන මැතිවරණ ප්‍රකාශන පාදක කරගෙන රටක ප්‍රතිපත්ති කරන්න යෑමේ ආදීනව තමයි අපි දැන් මේ විඳින්නේ.

 

කාබනික වැඩපිළිවෙළ අසාර්ථක වුණේ ජනමාධ්‍ය මගින් හා විශේෂඥයන් කීප දෙනෙක් ඊට විරුද්ධව ගෙන ගිය ව්‍යාපාරය නිසා හා ගොවියන් ඒ නිසා අධෛර්යමත් වීම නිසා කියන එකයි රජය පැත්තේ ප්‍රතිචාරය?

විශේෂඥයෝ කියන්නේ ප්‍රාමාණික දැනුම තියෙන උදවියනේ. කලින් කිව්වා වගේ, වෛද්‍ය විද්‍යාව පිළිබඳ දැනුම තියෙන අය මේ සඳහා අදාළ නෑ. මම වුණත් කෘෂිකර්මය පිළිබඳ හදාරපු කෙනෙක් නෙමෙයි. නමුත් ඒ පිළිබඳ ප්‍රාමාණික පොතපත හදාරලා හා වෙනත් ප්‍රාමාණික බුද්ධිමතුන්ගෙන් අවශ්‍ය දැනුම ලබාගෙන තමයි යම් යම් දේවල් කියන්නේ. ඒ කිසියම් සීමාවක් ඇතුළත. භූතානයේ කාබනික වැඩසටහන අසාර්ථකයි කියලා මං රටට කිව්වේ මගේ අදහසක් විදිහට නෙමෙයි. වෙනත් විද්වතුන්ගේ අදහස් ඇති, පිළිගත් ශාස්ත්‍රීය ග්‍රන්ථ කියවලා.

මං කලින් කියූ අනිද්දා පුවත්පත් ලිපියේ මගේ අදහස් කියලා ටික දවසකට පස්සේ සුවිශේෂ ලියුමක් දැක්කා. ඒක අත්සන් කරලා තිබුණේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ එවකට හිටි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වූ, ආචාර්ය වීරකෝන් මහතා. ඒ වගේම ජාතික විද්‍යා පදනමේ සභාපතිව හිටි රංජිත් ආරියරත්න මහතාත් අත්සන් කරලා තිබුණා. ඒ වගේම ඊට තවත් විශාල විද්වතුන් සංඛ්‍යාවක් අත්සන් කරලා තිබුණා. ඒ ලියුමේ මං දැක්ක සුවිශේෂත්වය තමයි ඒ අත්සන් කළ අය අතර ඒ වනවිටත් තනතුරු දරන අය බහුතරයක් සිටීම. ලංකාවේ තියෙන පැරණිම, කීර්තිමත්ම හා ආචාර්ය උපාධිධාරීන් වැඩිම සංඛ්‍යාවක් සේවය කරන ආයතනය තමයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. එහි අධ්‍යක්ෂවරයා සහ තවත් විශේෂඥයින් රාශියක් අත්සන් කළ ලියැවිල්ලක් නොසලකා හැරියේ කොහොමද? අනික් අතට, රජයේ තීන්දුවක් එසේ නොකරන ලෙසත්, එය කළොත් මේ මේ ආකාරයට මේ මේ වගාවන්වල ඵලදායිතාව මේ මේ ප්‍රතිශතයන්ගෙන් අඩුවේවි කියලා ඒ වන විටත් රජයේ නිලධාරීන්ව සිටින අය අත්සන් කිරීම සුවිශේෂ කටයුත්තක්.

මේ අය පොදුවේ අත්සන් කරලා යවපු ඒ ලිපිය ගණනට ගැනෙන්නෙත් නෑ. ඒ ලිපිය ගණන් ගත්තේ නැත්තේ ඒ අය විශේෂඥයෝ නොවන නිසාද? ඒ අය විශේෂඥයෝ තමයි. තමන්ගේ තනතුරේ ඉඳිමින් ගමන්ම මේ විදිහේ අදහස් දැක්වූ නිර්භීත විශේෂඥයෝ. එහෙම තියෙද්දි වෙන මොන විද්වත්තු ගැනද මේ ඇමතිවරයා කියන්නේ කියන එක පැහැදිලි නෑ.

ප්‍රජාතන්ත්‍රවාදී රටක උගතුන්ගේ හා බුද්ධිමතුන්ගේ වගකීම වෙන්නේ යම් කෙනෙක් තමන් හොඳින්ම දන්නා විෂය අවභාවිත කරමින් රටට හානිදායක කටයුත්තක් කරන්නේ නම්, කට වහන් ඉන්න එක නෙමෙයි ඊට විරුද්ධව කතා කරන එක. ජනමාධ්‍යයේ හා සමාජ මාධ්‍යයේ වගකීමත් ඒක.

අනික ගොවීන් වුණත් මේ වැඩපිළිවෙළට විරුද්ධ වුණේ ආවාට ගියාට නෙමෙයි. උදාහරණයක් කියනවා නම්, තේ වගාකරන ගොවියෝ මේ කාබනික වැඩපිළිවෙළට විරුද්ධ වුණේ තේ වගාකිරීමේ දී දලු නෙලීම සම්බන්ධ ඇතිවන ප්‍රශ්න කෙලින්ම අත්දුටුව නිසා.

 

මේ රසායනික පොහොර ප්‍රශ්නය හුදෙක් ප්‍රතිපත්තිමය තීන්දුවක් නිසා ඇති වූවක්ද, නොඑසේනම් ඩොලර් නැතිකම ඊට බලපෑවේ නැද්ද?

ආණ්ඩුව කියනවා තමයි රටේ ඩොලර් හිඟයක් නෑ කියලා. නමුත් මේක කොයි තරම් අභූත තීන්දුවක්ද කියලා මම ප්‍රසිද්ධියේ කියලා තියෙනවා කීප වරක්ම. මේ කාරණය ගැන මගේ උපකල්පන කීපයක් තියෙනවා. එකක් තමයි ගොවීන්ට නොමිලේ පොහොර ලබා දෙන වැඩපිළිවෙළ. මහින්ද රාජපක්ෂ මහතාම ගෙනා ඒ වැඩපිළිවෙළ මේ වන විට රජයට විශාල බරක් වෙලා තියෙන්නේ. මේ අයගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙනවා කාබනික හා අකාබනික පොහොර දෙකම ගොවියාට නොමිලේ දෙන බව.

අනික් පැත්තට ගත්තාම පොහොර නොමිලේ දීම නිසාම තමයි ගොවියෝ ඒවා අධිමාත්‍රාවට භාවිත කරන්න ගත්තේ. නොමිලේ දෙන එක ඒ විදිහට නාස්තිවෙයි කියන එක සාමාන්‍ය ආර්ථික විද්‍යාවෙත් පිළිගන්න දෙයක්.

මේවා ආනයනය කරන එකත් ඔබ ඇහුවා වගේ, රටේ විදේශ විනිමය පැත්තෙන් ගත්තාම විශේෂ බරක්. අර්බුදයක් නාස්තිවෙන්න ඉඩ දෙන්න එපා කියලා ජනප්‍රිය කියමනක් තියෙනවානේ. අර්බුදයකින් විප්ලවීය වෙනස්කම් කරන්න පුළුවන් කියන එක තමයි ඒකෙන් අදහස් වුණේ. ආණ්ඩුවත් කල්පනා කළා, විදේශ විනිමය හිඟය කියන අර්බුදය පාවිච්චි කරලා තමන්ගේම විප්ලවයක් කරන්න පුළුවන් කියලා. ඊට අමතරව සෙක්කුවෙන් තෙල් හිඳලා තමන්ගේ පොල්තෙල් තමන්ම නිෂ්පාදනය කළ යුතුයි හිතන, මීහරක් යොදා ගනිමින් ගොවිතැන කළ යුතුයි කියන ලෝකයක් තමන්ගේ ඔළුවල තියෙන වෛද්‍ය පාදෙණිය වගේ අයටත් මේ අර්බුදය ඇතුළේ තමන්ගේ දර්ශනය රිංගවන්න පුළුවන් වුණා.■

උපුටා ගත්තේ – https://anidda.lk

Social Sharing

Related posts