ප්‍රියන්තව ඝාතනය කළේ ඇත්තටම දේව අපහාසයක් නිසා ද?

පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් ගේ ට්‍රිව්ට් සෙල්ලම් අතර ප්‍රියන්ත ශරීර කොටස් ලංකාවට ආවේය. ප්‍රියන්ත ආරක්ෂා කරන්නට උත්සාහ කළ පුද්ගලයාට පාකිස්තානය තමන් සතු ඉහළම සම්මානයක් තෑගි කළේය. මේ සියල්ල හමුවේ ප්‍රියන්ත ඇත්තටම ඝාතනය කළේ ඇයිද යන්න සැඟවී යා හැකිය. ප්‍රියන්ත සහාසිකයන් රංචුවක් විසින් අමු අමුවේ ඝාතනය කළේ ඇත්තටම දේව අපහාසයක් නිසා ද? නැතිනම් මේ ඝාතනය පුද්ගලික කෝන්ත්‍රරයක ප්‍රතිඵලයක් ද? එහෙමත් නැතිනම් ඇඟලුම් කම්හලේ සේවකයින් සහ පාලනාධිකාරිය අතර ගැටුමක ප්‍රතිඵලයක් ද? මේ පිළිබඳව විදෙස් මාධ්‍ය යම් යම් තොරතුරු සහ ඉඟි පළකරමින් සිටියි.

මෙම සිදුවීම පිළිබඳව සමාජ මාධ්‍යවල දකින්නට තිබූ වීඩියෝවන් නිරීක්ෂණය කරන විට කලහකාරී පිරිස අතුරින් බොහොමයක් දෙනා තමන්ගේ අනන්‍යතාව සඟවා ගැනීමට කිසිම උත්සාහයක් ‍නොගන්නා බව දක්නට තිබූ අතර ඔවුන් එම සිදුවීම පසුබිමේ පෙනෙන්නට ඉඩ හැර සෙල්ෆි ඡායාරූප ගැනීම ද සුලබ දසුනක් විය. මෙයට හේතුව කුමක්ද? දේව අපහාස නීතිය නිසා සහ මුස්ලිම් දැඩි මතධාරි කල්ලිවලට ඒ රටේ තියෙන බලය නිසා ඔවුන්ට නීතියෙන් ගැලවීමට හැකියැයි සිතන බැවින් මෙලෙස ප්‍රසිද්ධියේ තම අනන්‍යතාවයන් පවා පෙන්වමින් මෙම සහාසික ඝාතනයට මේ පිරිස පෙළඹී ඇත. පකිස්තාන ක්‍රිකට් නායකයා මොන බෝල සෙල්ලම් දැම්මද තමනට ගැළවීමක් තිබෙන බව ඔවුන් දනියි.

“ සමහර කම්කරුවන්  ආගමට මුවා වෙලා කළමනාකරුගෙන් පළිගැනීමට උත්සාහ කළාද යන කාරණයත් ඇතුළත්ව පොලිස් විමර්ශන නිලධාරීන් මෙම සිදුවීම පැති කිහිපයකින් විමර්ශනය කරනවා.” මෙසේ පවසා ඇත්තේ ආගමික විද්වතෙක් සහ ආගමික එකමුතුකම පිළිබඳ ඇමතිවරයාගේ නියෝජිතයකු වූ තහීර් අෂ්රා‍ෆිය. ඔහු පැවසූ පරිදි කම්හල් සේවකයන් කළමනාකාරවරයා හඳුන්වා දි ඇත්තෙ “ඉතාමත් දැඩි” පුද්ගලයෙකු ලෙසය. විදෙස් මාධ්‍ය වාර්තා කරන අන්දමට මෙම ඝාතනයට සමීප හේතුව මෙය විය හැකිය. මෙම ඝාතනය සිදුවීමට ප්‍රථම මෙම ඇඟලුම් කම්හල තුළ සේවක වැඩ වර්ජනයක් පවා තිබී ඇත.

කරච්චි නුවර පෝර්ටි සිටි හිඳී එරට සිවිල් ක්‍රියාකාරිහූ පිරිසක් පසුගිය සෙනසුරාදා මෙම මිලේච්ඡ ඝාතනය හෙළාදැකීම සඳහා විරෝධතාවක් සංවිධානය කළහ. ඔවුන් මුලික වශයෙන් සඳහන් කොට සිටියේ එම මිනීමැරුම තරයේ හෙලා දකින අතරම ආණ්ඩුව මේ ආකාරයෙන් දේවඅපහාස නීතිය අවභාවිතා කොට ජීවිත හානි කිරීම නැවැත්වීම සඳහා වහා පියවර ගත යුතු බවයි. “ ඔහුව මරා දැම්මේ දේවාපහාසය සම්බන්ධ බොරු චෝදනාවකට” මානව  හිමිකම් ක්‍රියාකාරීනි මේනාස් රෙහ්මන් පවසා සිටින්නීය. ඇත්තටම පකිස්තානය තුළ වෙසෙන සුලුතර වාර්ගියන් සහ ආගම් අදහන්නන්ගෙන් පළිගන්නට සහ ඔවුන් ඝාතනය කරන්නට පකිස්තාන රාජ්‍ය ජනතාවට දී තිබෙන තෑග්ග මේ දේව අපහාස නීතිය බව පෙනෙයි.

“ඔහුව මැරුවේ වැඩ කරන්න අකමැති මිනිස්සු. ඔහු ඔවුන්ට කියලා තියෙනවා අවංකව වැඩ කරන්න කියලා, ඉතින් දේව අපහාසය පිටින් දාලා ඔවුන්ව ඔහු මැරුවා. ඒවගේ මිනිස්සු මේ නීතිය අවභාවිතා කරනවා.” රෙහ්මන් පවසන්නීය. පකිස්ථානය තුළ නොසලකා හැරිය හැකි ඉතා සුලු සිදුවිම් පවා දේවාපහාසයක් ලෙස සලකා ඉතා ලේසියෙන් කලහකාරී තත්වයන් ඇති කිරීම සහ පුද්ලගයන් වද හිංසාවට පැමිණීවීම් බහුලව සිදුවෙයි. මානව හිමිකම් පිළබඳ ක්‍රියාකාරන කණ්ඩායම් පවසන්නේ දේව අපහාස නීතිවලට මුවා වී දැඩිමතධාරීන් තම පෞද්ගලික කෝන්තර පිරිමහ ගැනීමට උත්සාහ කරන අවස්ථා ඇති බවත්, ඒවාට බොහෝ විට මුහුණ දෙන්නේ සුළුතර ප්‍රජාව බවත්ය”

පුවත් මූලාශ්‍රය : https://www.aljazeera.com/news/2021/12/4/dozens-arrested-in-pakistan-after-mob-kill-sri-lankan-manager

Social Sharing
නවතම