ප්‍රියන්තගේ ‘අළු’ වෙනුවට සාධරණය ඉල්ලා සිටිමු – කේ. සංජීව

පසුගිය සිකුරාදා දිනයේදී පකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ සියල්කෝට් හිඳී මරා ගිනි තබන ලද ලාංකික ඉන්ජිනේරු ප්‍රියන්ත දියවඩනගේ සිරුර මම මඟ අළු දූවිලි ගොඩක් බවට පත්වුණා. එහෙත් මේ බිහිසුනු ඝාතනය ඇවිලුණු ගින්න තවමත් ඇවිලෙමින් තිබෙනවා. අන්තවාදීන්ගේ ඡන්දයෙන් බලයට   ආපු පකිස්තාන අගමැති  ඉම්රාන් ඛාන් මේ සිදුවීම හෙළාදැක නොපමාව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා එරට පොලීසියට උපදෙස් දීලා තියෙනවා. ඒ උපදෙස්වලට අනුව මේ ලිපිය ලියන 5 වෙනිදා හවස් වෙනකොට 120 දෙනෙකුට වැඩි පිරිසක් අත්අඩංගුවට අරගෙන. ඒත් එරට නීතිය ගැන දන්න බොහෝ දෙනෙක් කියන්නේ මේක නිකං ඇස්බැන්ඳුමක් විතරයි කියලා. ඒ මොකද ආගමික අපහාසය කියන්නේ පකිස්තානය තුළ ව්‍යවස්ථාපිත නීතියක්. මේ තත්ත්වය නිසාම ආගමික අපහාසයට අදාළ නඩු ගොනුවෙන්නටත් ප්‍රථම අදාළ පුද්ගලයන් අමානුෂික විදිහට ඝාතනයට ලක්වෙනවා, සමහර පුද්ගලයන් නඩු කටයුතු සඳහා අධිකරණයට ගෙන යන අතරදී ඝාතනය වී තිබෙනවා. ආගමික අපහාසය කියන චෝදනාව ලබා අධිකරණයෙන් යම් පුද්ගලයෙක් නිදහස් වූ විට ඒ හේතුවෙන් පොලිස් ස්ථානවලට ප්‍රහාර එල්ලකරන්න තරම් පකිස්තානය අස්සේ ආගමික උමතුව උඩුදුවලා ඉවරයි.

එක රටක් එක නීතියක්

මේ සිද්ධිය ගැන තොරතුරු සොය සොයා අන්තර් ජාලයේ රස්තියාදු වෙනකොට රජයේ ප්‍රවුර්ති දෙපාර්තමේන්තුවේ ෆේස්බුක් පිටුව උත්ප්‍රාසයෙන් සපිරි පුවතක් පළකරලා තිබුණා. නැගෙනහිර මුස්ලිම්වරුන් පිරිසක් සමග සිනාසීගෙන සිටින ගලගොඩාත්තේ ඥානසාර හාමුදුරුවන්ගේ පින්තූරයක් එක්ක එහි කතාවේ තිබුණේ, එක රටක් එක නීතියක් ජනාධිපති කාර්‍ය සාධක බලකාය නැගෙනහිර මිනිස්සුන්ගේ අදහස් දින තුනක් තිස්සේ ලබා ගත්තා, ඒක අති සාර්ථකයි කියලා. මට මේ පොටෝ එක සහ මේ පුවත පකිස්තානය දෙසින් එන මේ ආගමික උමතුව ගැන පුවත් සමග එකට කියවන්න හිතුනා.

200කට වැඩි පිරිසක් මරු තුරුලට අරගෙන ගිය පාස්කු ප්‍රහාරය එල්ල කරපු සහරාන් හසීම්ලා හැදුනේ වැඩුනේ නැගෙනහිර. ඔවුන්ගේ ආගමික උමතුව සහිත මතවාදය හොඳින්ම වැඩුණේ නැගෙනහිර. තවමත් මුස්ලිම් ආගමික අන්තවාදය සරුවට පැලවෙලා තියෙන්නේ නැගෙනහිර. අනෙක් පැත්තෙන් නැගෙනහිර සහරාන් හසීම්ලා හිස ඔසවනකොට දකුණේ ජාතිවාදය ආගමික උමතුව කරපින්නාගෙන ඉපදුනේ බොදුබල සේනා සංවිධානය. එහි නායකයා තමයි ගලගොඩාත්තේ ඥානසාර හාමුදුරුවෝ. ඉතිං බලන්න මේ සිදුවීම් දෙක එකට තියලා කියවනකොට කොතරම් උත්ප්‍රාසයක්ද මතුවෙන්නේ. අනෙක් පැත්තෙන් කාන් මහතාගේ පකිස්තානු නායකයා වීමේ කතාව සහ ගෝඨාභය රාජපක්ෂ ලංකාවෙ නායකයා වීමේ කතාව..

කුරානයේ වදන් මිනිසුන් කීයක් මරන්න ඇත්ද?

දැන් අපි ආයෙත් අපේ පැරණි කතාවට යමු. වසර හතක් සියල්කෝට් ඇඟළුම් කර්මාන්ත ශාලාවේ කළමණාකාරවරයා විදිහට කටයුතු කරපු දියවඩන, කුරානයේ වදන් සහිත පෝස්ටරයක් ගලවා ඇති බවට කටකතාවක් පැතිරීමත් සමඟ තමයි මේ සිද්ධිය ආරම්භ වෙලා තියෙන්නේ. 3වෙනි සිකුරාදා උදෑසන කම්හලේ ගේට්ටු අසලට සෙනඟ එක්රැස් වීමට පටන් අරගෙන තිබෙනවා, සවස් වෙනකොට තමයි ඔවුන් කර්මාන්ත ශාලාවට ඇතුල්වෙලා දියවඩන අල්ලා ගන්නේ. මේ අතර කාලයේ පකිස්තානයේ පොලීසිය කරපු කිසි දෙයක් ගැන වර්තාවක් නැහැ. ආගමට පකිස්තානය අස්සේ තියෙන තැන තමයි ඒක.

මේ සිදුවීම ගැන මාධ්‍යට කරුණු කියන  පොලිස් සහකාර කොමසාරිස් මොහොමඩ් මුර්ටාසා කියන්නේ මෙහෙම කතාවක්.. ‘ කම්හල් ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීම නිසා සමහර පෝස්ටර් බිත්තියෙන් ගලවා දාන්න ඇති. ඒ නිසා ඔවුන් මුහම්මද් නබිතුමාගේ නම සඳහන් පෝස්ටර් කෙලෙසන්න ඇති. සමහර විට ඒ නිසා කළමණාකරුව ඝාතනය කරන්න ඇති. නමුත් මිනීමැරීමට හේතුව පුද්ගලික දෙයක් වෙන්නත් පුලුවන්. මේ හැමදෙයක්ම විමර්ශනය කරමින් පවතිනවා’ මේ මිනී මැරුම මහම්මද් නබීතුමාට කරපු අපහාසයක් කියල කිව්වත්, මේක එම කතාව මුලට දාගෙන කරපු පුද්ගලික පළිගැනීමක් වෙන්නත් පුලුවන්. මොකද පකිස්තානයේ මෙහෙම දේවල් සුළභයි.

දේව අපහාසය සහ පාකිස්තානය

පකිස්තානයේ වඩාත්ම කුප්‍රකට දේව අපහාස නඩුව තමයි ක්‍රිස්තියානි කාන්තාවක් වන ආසියා බීබීට විරුද්ධව 2010දී අහපු නඩුව. මේ සිද්ධියේදී ඇයට මරණ දඩුවම ලැබුනේ ඇයගේ සහායක සේවිකාවන් දෙදෙනෙකු ඇය දේවාපහාස කළා යැයි චෝදනා කරපු නිසා. දශකයකට පස්සේ දැඩි ජාත්‍යන්තර පීඩනය නිසාම ඇය නිදොස් කොට නිදහස් කරන්න වෙනවා. මේ නිදහස් කිරීම සමග පකිස්තාන අන්තවාදීන් හැසිරුණේ කොහොමද කියන එක ලෝකයට අමතක වෙන්න විදිහක් නෑ.

සියා උල් හක් තමයි මේ දේවාපහාස නීතිය හඳුන්වලා දෙන්නේ. මේක හඳුන්වලා දුන්නට පස්සේ මේක පෞද්ගලික කෝන්තර පිරිමහා ගන්න සෑහෙන්න භාවිතා කරලා තිබෙනවා. පසුගිය දා ඇෆ්ගනිස්තානය නැවතත් තලේයිබාන්වරුන් අත්පත්කරගත්තට පස්සේ බටහිර මාධ්‍ය කියපු දෙයක් තමයි තලෙයිබාන්වරුන්ගේ නැඟීමට පකිස්තානය කොතරම් උදව් උපකාර කරනවාද කියන කාරණය. තලෙයිබන් ව්‍යාපාරය, මුජහිඳීන් ව්‍යාපාරය, අල්කයිඩා වගේ බොහෝ ස්ලාමීය අන්තවාදී සංවිධානවලට හොඳ ආරක්ෂිත භූමයක් තමයි පකිස්තානය. මේ පිළිබඳව නිශ්පාදනය වෙලා තියෙන වාර්තා චිත්‍රපට ප්‍රමානය විශාලයි.

sialkot incident justice for priyantha

අපි දන්නවා පහුගිය කාලේ පාකිස්ථානයේ ඉස්ලාම් අන්තවාදී සංවිධානයක් වන ටීඑල්පී ( Tehreek-e-Labbaik Pakistan ) සංවිධානය ඉම්රාන් ඛාන් ආණ්ඩුව තහනම් කරනවා. හැබැයි මේ තහනම සමග එන විරෝධයට ඛාන් ආණ්ඩුවට මුහුන දෙන්න බැහැ. මේ අන්තවාදීන් ගම් නගර ගිනි තියනකොට පොලිස් නිළධාරීන් ඝාතනය කරනකොට ඉම්රාන් ඛාන් ට මේ තහනම ආපස්සට හරෝ ගන්න වෙනවා. ප්‍රියන්ත දියවඩනගේ ඝාතනයටත් මේ සංවිධානය සම්බන්ධයි කියලා තමයි තොරතුරු එන්නේ. ඒ අස්සේ තමයි පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මේ ඝාතනය පකිස්තානයට ලැජ්ජාවක් කියලා ට්විට් කරන්නේ.  ඒ විතරක් නෙවෙයි ප්‍රියන්තව ආරක්ෂා කරගැනීම සඳහා තනිව සටන් කළා කියන පුද්ගලයාට සම්මානයක් දෙන බව කියන්නේ. දේවල් සිද්ධවෙන්නේ මෙහෙමයි. හැමතැනම තියෙන්නේ සාන්ද්‍රනය අඩුකිරීම්. බලය නිසා මේ කරන තනුක කිරීම් කෙළවර වෙන්නේ විශාල ඛේදවාචකයන් වලින්. ලංකාවේ සිදුවුණ පාස්කු ප්‍රහාරය තමයි හොඳම නීදර්ශනය.

මේක පකිස්තානයේ ස්භාවය

එක්සත් ජනපදයේ හිටපු තානාපතිවරයෙක් වන Hussain Haqqani පකිස්තානයේ මෙම තත්ත්වය ගැන බ්‍රිතාන්‍යයේ ගාඩියන් වෙබ් අඩවියට කියන්නේ මෙහෙම කතාවක් – පාකිස්තානය වසර ගණනාවක් අන්තවාදී ඉස්ලාම්වාදීන්ට අනුබල දී තිබෙනවා. ඔවුන් අන්තවාදීන් නිසා විපතට පත්වූවන් ආරක්ෂා කරනවා වෙනුවට ආගමේ නාමයෙන් ප්‍රචණ්ඩත්වය සිදු කරන අයට රාජ්‍ය යාන්ත්‍රණය හරහා සහාය දෙනවා. ප්‍රචණ්ඩ විරෝධතාවලදී පොලිස් නිලධාරීන් ඝාතනය කිරීමට වගකිව යුතු TLP ට ඔවුන් නැවත ඉඩදී තිබෙනවා. මේ සංවිධානයේ නැඟීම නිසා අපහාස චෝදනා උඩ කෙරෙන මිනිමැරුම් සාමාන්‍යකරණය වී තිබෙනවා. කලින් අහඹු ලෙස සිදුවුණ සිදුවීම් දැන් වසංගතයක් වගේ වෙලා.

මේක තමයි කතාව. ෆේස්බුක් පෝස්ටෙකක් තුළ ලියවුණ වචන පේලියකින් මම මේක අවසන් කරන්නම්. එහි මෙහෙම තිබුණා

පකිස්තානය, ‘ප්‍රියන්තගේ අළු’ උබලා තියාගනිල්ලා, අපිට සාධාරණය දීපල්ලා..

Social Sharing
නවතම විශේෂාංග