අපිත් යන්නේ පකිස්තානය ගිය පාරේ..

පකිස්තානයේදී අමානුෂික විදිහට ඝාතනය කළ ශ්‍රී ලාංකිකයා ගැන බොහෝ ලියවිලි දකිනවා. මට මේ ඝාතනය එක්ක හිතුන දේ තමයි මේ.

පාස්කු ප්‍රහාරයට පෙර කාලේ විශේෂයෙන් සහරාන්ලට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් උදව්ව සහ හයිය ලැබෙන කාලේ ඔවුනුත් නැගෙනහිර කාත්තන්කූඩි වගේ තැන්වල මෙහෙමම තමයි හැසිරුණේ. අදට උනත් නැගෙනහිර නගරෙක අල්ලා ට අපහාසයක් වෙන ප්‍රකාශයක් තනි මිනිහෙක් ගිහිං කළොත් ඔහුට හෝ ඇයට නිරුපද්‍රිතව එන්න පුලුවන් වෙයිද කියන දේ සැකයි. මේක තමයි කටුක යථාර්තය. ආගමික උමතුව ඒතරම් බලවත් ඒ කලාපයේ.

පාස්කු ප්‍රහාර වගේ දැවැන්ත ප්‍රහාරයක් සිද්ධවෙලත් අපිට අන්තවාදීන් හුරතල් කරන නීති වෙනස් කරන්න තවම නොහැකිවෙලා තියෙනවා… අඩුම ළමා විවාහ ශක්තිමත් කරන මුස්ලිම් විවාහ නීතිය හෝ අපිට වෙනස් කරගන්න තවම බැරිවෙලා තියෙනවා. මේ දේවල් පිටිපස්සේ තියෙන්නේ ආගමික අන්තවාදය මිසක් වෙන දෙයක් නෙවෙයි…

අපි දැන් සිංහල අපි පැත්තට ටිකකට හැරෙමු. දෙවනගලදි අපි මුස්ලිම් බඩවල් උඩින් කටුකම්බි ගහන්න කතාකරපු උද්ඝෝෂණය කරපු ජාතියක්. ඒ ඇයි? ඒ දෙවනගල පුදබිම මුසල්මානුවන් නිසා කෙළෙසනවා කියන නිසා.

ඊට පස්සේ එක රටක් එක නීතියක් ලොක්කා වගාදිගා කරපු සහරාන්මය බුදුදහම ගැන මොකද හිතන්නේ?.. දැන් එහෙම ප්‍රචණ්ඩත්වයක් ප්‍රවර්ධනය කරපු සිවුරක් ජනාධිපති මන්දිරයට පවා ගිහිං තියෙනවා. හේතුව හරි සරළයි අන්තවාදයට අපි දෙන තැන තමයි ඒක…

ඊළඟට පකිස්තාන ප්‍රචණ්ඩත්වය ගැන බන දේශනා කරන ඔබෙන් මම මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්..

යකඩ කටින් පිරිත් විදලා කන්පලන පන්සල් ගැන කවුරු හරි විරුද්ධව කතා කළොත් ඔහුට හෝ ඇයට විඳින්නට වෙන දේවල් මොනාද? ගමෙන් කොන් කරන්නේ නැද්ද? උදේ හවස අපහාස උපහාස විඳින්නට සිදුවෙන්නේ නැද්ද? අපි හිතමු පන්සලේ යකඩ කටට විරුද්ධව පොලීසියට පැමිණිලි කළා කියලා පොලීසිට නීතිය හරියට කරනවාද? ගොඩක් පොලිස් ලොක්කෝ පන්සලේ පැත්ත අරගෙන අර මනුස්සයාට ගමෙත් ඉන්න නැති කරනවා. මේක අස්සෙත් ක්‍රියාත්මක වෙන්නේ ආගමික අන්තාවදය තමයි. වෙන දෙයක් නෙවෙයි.

පල්ලිය කෝවිල ගත්තත් ලංකාවේ මේ විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතිං මේ විදිහට ලංකාවත් තව අවුරුදු 20ක් ගියොත් පකිස්තානය වගේ වෙන එක වළක්වන්න කාටවත් බැරිවෙයි.

ඒ නිසා තමන්ගේ ආගම උඩට ගන්න නීති හදාගන්න ට්‍රයි කරන්නේ නැතුව ආගම මිනිස් සමාජයෙන් හුදකලා කරලා ඔහේ තියෙන්න අරින්න අවශ්‍ය පසුබිම නිර්මානය කරන්න අපි නීති හදන්න ඕනී. ආගමික අන්තවාදයන් පෝෂණය කරන නීති අහෝසිකරලා අන්තවාදයන් පිටුදකින නීති තමයි ගේන්න ඕනී. එහෙම නීති ගෙනාව කියලා වැඩක් නෑ. ඒවා සමාජය අස්සේ ප්‍රායෝගිය කළයුතුයි.

මම හිතෙන්නේ වර්තමානයේ අපිට තියෙන ප්‍රධාන අභියෝගය තමයි මුස්ලිම් අන්තවාදය සහ බෞද්ධ අන්තවාදය. අපි ඒක හරියට මේ සිද්ධිය ආශ්‍රයෙන් හෝ තේරුන් ගන්න අවශ්‍යයි.

කේ. සංජීව

Social Sharing
නවතම විශේෂාංග