හිසට සෙවනක් නැති වතු කම්කරුවන්ට වතු පාලනාධිකාරියෙන් පිහිටක් නැතිද?

වතු කම්කරු මාතාවක් ජීවත් වීම සදහා ඉදි කර ගත් කුඩා  කාමරයක්  කඩා විනාශ කර ඇයට පහර දුන් බවට චෝදනා ලබන කළමණාකරුට එරෙහිව නීතිය කියාත්මක කරන ලෙස බලකරමින් කොළඹ දිස්ත්‍රික්කයේ වතු කම්කරුවන්  විරෝධතාවක් දියත් කර තිබේ.

ඊයේ ( 18)  ඉල් පොහොය දින  එම  විරෝධතාවය දියත් කර ඇත්තේ  අවිස්සාවේල්ල පෙන්රිත් වතුයායේ කම්කරුවන් පිරිසකි.

එම වතුයායේ සේවයේ නිරත වතු කම්කරු මාතාවක් වතු පාලානාධිකාරියේ අවසරය පිට ඉදිකරගත්  කාමරයක්  වතු කළමනාකරු විසින් කඩා ඉවත් කර තිබේ. එම නිවස කඩා ඉවත් කිරීමට හේතු විමසීමට ගිය එම මාතාවට වතු කළමනාකරු විසින් පහර දී ඇති බවට විරෝධතා කරුවෝ චෝදනා කරති.

පහර කෑමට ලක්වු වතු කම්කරු මාතාව රෝහල්  ගත කර තිබේ. ඇයගේ පුතුන් දෙදෙනා පසුව වතු කළමනාකරුට පහර දී ඇති අතර ඔහුත් මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.

විරෝධතා දැක්වු වතු කම්කරුවන් බලධාරීන්ගෙන්  තව  දුරටත් ඉල්ලා සිටියේ  කාන්තාවකට පහර දුන් වතු කළමනාකරුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත්,  කඩා දැමු නිවාසය යළි ඉදි කර ලෙන ලෙසයි.

වතු කළමනාකරුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට මැලි කමක් දක්වන බවටත් පොලීසිය විරෝධතාකරුවන්ගේ චෝදනාවට ලක්විය.

ලක්ෂ අටකට හිසට හෙවනක් නෑ

ශ්‍රී ලංකාවේ තමන්ටම කියා  නිවසක් අහිමි ජනතාව අතර ඉදිරියෙන්ම සිටින්නේ වතු කරයේ කම්කරුවන්ය. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් ලක්‍ෂ අටකට පමණ පදිංචියට නිවසක් නොමැති බව පසුගියදා  අනාවරණය වී තිබුනි.

“මිලියන 6 ක  පවුල්  වෙසෙන ලංකාවේ යම් ආකාරයක නිවසක් හිමිව ඇත්තේ පවුල් මිලියන 5.2 කට පමණක් බවත්, අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන පවුල් ලක්‍ෂ අටකට ආසන්න සංඛ්‍යාවක් අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන අතර ඔවුන්ට නිවසක් කියා කියන්නට ආරක්ෂිත ස්ථානයක් පවා නැති තරම්” යැයි මනුෂ්‍යත්වයට නිවහනක්  (Habitat for Humanity) සංවිධානයේ ශ්‍රී ලංකාවේ අධ්‍යක්‍ෂක යූ හ්වා ලී පවසයි.

ඇය ඒ බව අනාවරණය කර තිබුනේ සෑම වසරකම ඔක්තෝම්බර් 04 වැනිදාට යෙදෙන ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් මිගමුව ජනාවබෝධ කේන්ද්‍රය සහ සීදුව ශ්‍රමාභිමානි කේන්ද්‍රය සුම් තාක්ෂනය ඔස්සේ  පැවැත්වූ වැඩසටහනකට එක් වෙමිනි.

මීගමු ජනතා ඒකාබද්ධ සංවිධානයේ ක්‍රියාකාරිනි සුභද්‍රා කුමාරි එහිදී පෙන්වා දී තිබුනේ   නිවාස ප්‍රශ්නය 1979 සිට වසර 40 ක් පුරා ශ්‍රී ලංකාවේ  පවතින්නක් බවයි.

“අපි හැම කෙනාම අඩු ආදායම් ලාභීන්. ඒ නිසා, ආර්ථික දුෂ්කරතා එමටයි. අපිට ගෙවල් කුලී ගෙවන්න බැරි නිසා දෙමාපියන්ගේ, ඥාතීන්ගේ නිවාසවල පවුල් කිහිපයක් එක්ක ජිවත් වෙද්දී එකිනෙකාගේ පෞද්ගලීකත්වයට හානි සිදුවෙනවා. එකම නිවස ඇතුලේ පවුල් 3,4ක් ,ඒ කියන්නේ 10 – 15 දෙනෙක් ජීවත්වෙනකොට මොනතරම් සිත් වේදනා , රණ්ඩු සරුවල් ඇතිවීම වගේම පුද්ගලික නිදහසත් නැති වෙලා නොයෙක් ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිදුවෙනවා,” යැයි ඇය පැවසුවාය.

මේ අතර, ග්‍රාමීය  කම්කරු සමාජය  පෙන්වා දෙන්නේ  යුද්ධයෙන් පසුව නිවාස අහිමි පුද්ගලයන් රාශියක් උතුරු පළාතේ ජීවත් වෙන බවයි.

“පවුල් 7000 කට වඩා නැවත පදිංචි වීමේ අපේක්ෂාවෙන්,තවමත් අනාථ කඳවුරුවල නැත්නම් තමන්ගේ නෑයන්ගේ ගෙවල්වල නැත්නම්  කුලී ගෙවල්වල  ජීවත්වනවා. ඔවුන්ගෙන් පවුල් 800ක් පමණ තවමත් ජීවත් වන්නේ අනාථ කඳවුරුවල. මයිලෙට්ටි සහ කන්කසන්තුරේ වරායවල් සහ පලාලි ගුවන්තොටුපොළ සංවර්ධන කටයුතු සඳහා කියා මේ  දෙමළ ජනතාවට අයත් ඉඩම් විශාල ප්‍රමාණයක් නිදහස් නොකර තවමත් හමුදාව භාරයේ තබාගෙන සිටිනවා” යැයි ග්‍රාමීය කම්කරු සමාජයේ සභාපති ඒ. ඉම්බනායගම් පෙන්වා දෙයි.

 

 

Social Sharing

Related posts