ගාමිණී වියන්ගොඩ මුහුදු වෙරළේ… – කේ. සංජීව

Gamini Viyangoda Translation Literature

ගාමිණී අයියාට සුබ උපන්දිනයක් කිව යුතු බවට උදැහැනැක්කේම මතක් කළේ සකර්බර් අයියා. ඉතිං කාලයක් ලියන්න ඕනෑ කියා සිතමින් හිටි ටිකක් ලියන්න කියලා හෙළකුරු අස්සට නැමෙනවා මෙන්න මෙහෙම. මතක ගඟුල ගලනවා. ගිය අවුරුද්ද, ඊට එපිට අවුරුද්ද වගේ මෑත අවුරුදු වල අද දවස උදාවෙන 12හේ කනිසම කියන්නේ හැපි බර්ත් ඩේ ටූ යූ කියලා සිංගල්මෝල්ට්මය හඬකින් ගැයෙන ගාමිණී_පත්මාමය රාත්‍රියක්. ඒත් මේ අවුරුද්ද ඊට වෙනස්. ගාමිණී අයියා මේ දවස්වල ඉන්නේ යුරෝපේ හින්දා මෙදා මල් පාර එහෙම නෑ. ඊයේ මල් පාර ළඟින් ‍යනකොට අපි මේ මල් පාර ගැන කතා කළා.

ගාමිණී වියන්ගොඩ ‘හදට ළඟ අයියා කෙනෙක්’ වෙන්න කලින් ඉඳලා මම ගාමිණී වියන්ගොඩ අඳුරනවා. ඇත්තටම කීවොත් අපි ගාමිණී වියන්ගොඩගේ පරිවර්තන සාහිත්‍යයෙන් ජීවිතේ කියවා ගත්ත මිනිස්සු. ‘ අද අමුතු විදිහට ප්‍රබන්ධ කතා ලියන බොහෝ දෙනෙක් වියන්ගොඩගේ දරුවන් වෙති ‘ කියලා මහාචාර්‍ය අමරකීර්ති එක තැනක කියනවා. ඒක සාතීශ්‍ය ඇත්තක්. ජීවිතේ වෙලා ගත්ත අඳුර අස්සේ කිමිදෙන්න, සුව වාසයක් ඒ අඳුර අස්සේ හදාගන්න, පොත් පිස්සුවෙන් වගේ කියවන කාලේ මුලින්ම කියෙව්වේ සෝවියට් රුසියන් කෙටිකතා. ඊළඟට බිම් ගෙයි සිරකරුවාගෙන් පටන් අරං කේජී කරුණාතිලක. ඊළඟට සිරිල් සී පෙරේරා. මුලින්ම කියෙව්වේ ‘ෂේන්’ මට මතක විදිහට. ඊට පස්සේ ඉතිං මූදට පැන්නා වගේ ඔහේ පාවෙන්න ගත්තා. එහෙම පාවෙන අතරේ තමයි ‘ගාමිණී වියන්ගොඩ වෙරළට’ ගොඩගහන්නේ. ඒ ‘රාග රිද්ම’ කියන පාරුවේ එල්ලිලා පාවෙලා. ඊටපස්සේ ඉතිං පොතක් එනකම් බලන් ඉන්න ගතියක් තමයි තිබුණේ හැමදාම.

මම වැඩියෙන්ම කැමති  ‘කොළරා කාලේ ආලේ’ පොතට. ඒකට හේතුව ඒක අස්සේ සියවස් ප්‍රේමයක ප්‍රේම සුවඳ තැවරිලා තියෙන නිසා වෙන්න ඇති. දොස්තර Juvenal Urbino සහ Fermina Daza අස්සේ සුළඟක් වගේ පාවෙන, වෙළෙන මුසුවෙන ප්‍රේමය, අපිටත් මෙහෙම ප්‍රේම වේදනා සන්තානයක පැටලෙන්න ඇත්නම් කියලා හිතෙන මට්ටමට මේ පරිවර්තනය සුඟමයි. ලලිතයි. පිස්සුයි. මට හිතාගන්න බෑ, එක බසකින් තවත් බසකට එහෙම හැඟීම් පෙරළා අපේ සංවේදනා කලාපය අබරවන්න ඇහැක් ද කියලා . ‘ඔව් පුලුවන්’.  ගාමිණීමය පරිවර්තන ලෝකය ඒක එක වාරයක් නෙවෙයි තිස් වාරයක් විතර ඔප්පුකරලා ඉවරයි. ඉස්සරහටත් අපේ සංවේදනා කලාපයට ගාමිණීමය සාහිත්‍ය සුළි කුණාටු හමන්නට නියමිත වෙන්නේ ඒ නිස යි.

‘කරුමක්කාර කතාවක්’ මාව සලිත කරපු මම ආස ඊළඟ පොත. මම කැමතියි ඒක ‘ගාමිණී වියන්ගොඩ පොත් රාක්කයේ’ ‘කොලරා කාලේ ආලේ’ පොත සමීපයෙන් ම තියන්න. මේ පොත් දෙකේම කතුවරයා එකම කෙනා නිසා නෙවෙයි ඒ. ඒ භාෂා මැජික් එකට මම කැමතියි. නවකතාවක් හරි කෙටිකතාවක් හරි ලියනවා කියලා කියන්නේ භාෂාවෙන් පාපන්දු ගහනවා වගේ වැඩක්. ඒ ක්‍රීඩාව හොඳටම කරන ක්‍රීඩකයෙක් තමයි මාකේස් කියන්නේ. වැඩේ කියන්නේ ඒ ක්‍රීඩාවේ ආශ්චර්‍ය තවත් පිට්ටනියක් උඩ ඒ විදිහටම හිටවන එක. ඒකටත් ඉතිං මාකේස් වගේම දක්ෂයෙක් වෙන්න ඕනී. සමහර වෙලාවට ඊටත් වැඩිය..! මම මුරකමි ලෝලියෙක් කලේ ගාමිණී අයියා පරිවර්තනය කරපු ‘කෆ්කා මුහුදු වෙරළේ’ කියන පොත. ලේඛකයෙක් කියන්නේ එක ක්‍රමයක්. එක මැජික් එකක්. එක ස්ටයිල් එකක්. එවැනි ස්ටයිල්ස් 30ක් පරිවර්තනය කරනවා කියන්නෙ තවත් භාෂාවකට, ඒක මාරම හැකියාවක්. ඒකයි මම මුලින් කීවේ පරිවර්තකයා සමහර වෙලාවට මුල් ලියන්නට වඩා ඉස්සරැහින් ඉන්නවා කියලා.  ‘ව්‍යවච්ඡේදකයා’ , ‘වෙරෝනිකා මැරෙන්න තීරණය කරයි’ , ‘ඊවා ලූනා’ , ‘මායාවාස’ තමයි මගේ කැමැත්ත වසා පැතිරෙන ඊළඟ පොත් ගොන්න. මේ සමහර පොත් නැවත නැවතත් කියවලා ‘මත්’ වෙන්න මම ආසයි. පළමු වර කියවීමේදී අහුවෙන ලෝකයට වඩා වෙනස් ලෝකයක් තමයි දෙවෙනි වර හසුවෙන්නේ. ආදරේ රාගය උනත් නැවත නැවතත් අපේ හිත අස්සේ වෙනස් වෙනස් විදිහට වෙනස් වෙනස් රිද්මවලට දැනෙන්න ගන්නවා. වරනැඟෙනවා. රැළි සුළි පෙරළෙනවා.. ඒකෙන් හැඟෙන්නේ මොකද්ද?..

මොකක් හරි රටක නවකතාවක් කෙටිකතාවක් කියලා කියන්නේ ඒ රටේ මිනිස්සු ජීවත් වෙන විදිහ. හිතන විදිහ. ආදරේ කරන සෙක්ස් කරන විදිහ. ඒ හුස්ම තමයි පොත අස්සේ සුළඟක් වගේ පාවෙන්නේ. ඒ ජීවන සුසුම් තවත් රටක මිනිස් ප්‍රානියෙක්ට එන්නත් කරනකොට ඒ ජීවිතේ අස්සෙන් ප්‍රතිරෝදයක් ආවොත්, ආසාද්මිකතාවයක් ආවොත් ඒ පරිවර්තනය අසමත් කියලයි මට හිතෙන්නේ. ඒ නිසා සිම්ටන්ස් අඩුවෙන තරමට, අපිට වැඩි සුවයක් සාදන තරමට, පරිවර්තනය උසස් කියලා කියන්න පුලුවන්. ඒකට පොත් දෙකම කියවන්න අවශ්‍ය වෙන්නේ නෑ. එහෙම බැලුවාම ගාමිණී වියන්ගොඩ ‘පොත් ගොඩ’ කියලා කියන්නේ, සුසුම් කන්දක්. අපිට සුවය ගෙනෙන. සමහර වෙලාවට වේදනාව හිත අස්සේ ගුලිකරන. ආදරයෙන් පිස්සු වට්ටන. රාගයෙන් මන්මත් කරවන. මම මේ දවස්වල ‘අලහෙන්ද්‍රෝ මයිත ගේ සැබෑ ජීවිතය’ කියවනවා. ඒක කියවනකොට මට ඒක ලංකාවෙන් පිටස්තර විප්‍රවාසයක අත්දැකීමක් කියලා තේරෙන්නේ නෑ. ඊට වෙනස් විදිහට මේ කොදෙව්වේ මහපාරේ මුණගැහුන මිනිස් ජීවිත තමයි මතක් වෙන්නේ. ඒක තමයි පරිවර්තන සවුන්දර්‍ය. සොමිය..

ඉතිං තව තවත් පරිවර්තන කරමින්, අපිව තව තවත් ජීවත් කරවන්න කියලා මේ උපන්දිනය දවසේ සුබ පතන ගමන්, ගාමිණී අයියගෙන් ඉල්ලා සිටින්න මම මනාපයි..!

Social Sharing

Related posts