වසර දෙකක් නඩු නැතිව හිරේ සිටින 63 ක් නැවත රිමාන්ඩ්.

දෙවසරකට ඉහතදී පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාව  සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් හැට තුන් දෙනකු  තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට  මඩකලපුව  අධිකරණය  නියෝග කර තිබේ.

මාරාන්තික වසංගත ව්‍යාප්තිය හමුවේ රට අගුලා ලා තිබීම හේතුවෙන් සැකකරුවන් හැට තුන්  දෙනා   ශාරිරික ලෙස  අධිකරණය හමුවට ඉදිරිපත් නොකළ අතර විනිසුරුවරයා වීඩියෝ  තාක්ෂණය ඔස්සේ නඩු කටයුතු මෙහෙයවා ඇත.

එහිදි මඩකලපුව මහේස්ත්‍රාත් ඒ.සී.එම්. රිස්වාන්  නියෝග කර ඇත්තේ සැකකරුවන්  ඔක්තෝබර් 28   වැනි දා  දක්වා තව දුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටය.

පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාර මාලාවේ  මහ මොළකරු ලෙස මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත්වී ඇති   සහරාන් හෂීම් සමඟ සබඳතා පැවැත්වීමේ චෝදනා මත වසර දෙකකට ඉහතදී  අත්අඩංගුවට ගත් සැකකරුවන් 69 දෙනා අතුරින් හය  දෙනෙක් මේ වන විටත් අධිකරණය මගින් නිදහස් කර ඇත.

අත්අඩංගුවේ සිටින සැකකරුවන් අතර සහරාන් හෂීම්ගේ නැගනියද වේ. වීඩියෝ  තාක්ෂණය ඔස්සේ  අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබු සැකකරුවන් දිවයිනේ විවිධ පළාත් තුළ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පිරිසකි.

සැකකරුවන්  අතුරින් වැඩි පිරිසක් කාත්තන්කුඩි, කල්මුනේ, සයින්දමරදු, සම්මන්තුරේ ආදී ප්‍රදේශ වල පදිංචි කරුවන් වේ.

පාස්කු ප‍්‍රහාරය වලක්වා ගැනීමට පියවර නොගත් බවට චෝදනා නැගී ඇති හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දුට අධි චෝදනා බාරදුන් කොළඹ විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය එය විභාග කිරීම නොවැම්බර් 22 වැනිදාට නියම කර තිබේ.

තවත් 24 ට අධිචෝදනා

පාස්කු  ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිපති තිබූ නඩුවේ නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව ඔක්තෝබර් 4 වැනිදා  අධිචෝදනා භාර දී තිබුණි.

අධිචෝදනා 23,270 ක් යටතේ නීතිපතිවරයා විසින් පවරා තිබූ එම නඩුව දමිත් තොටවත්ත, අමල් රණරාජා, නවරත්න මාරසිංහ යන විනිසුරු මඩුල්ල හමුවේ එදින කැදවා තිබුනි.

නීතිපතිවරයා විසින් විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව එම නඩුව පවරා තිබූ නමුත් 15 වන විත්තිකරු කොරෝනා රෝගයට ගොදුරු වී සිටීම නිසා ඔහු හැර සෙසු විත්තිකරුවන් 24 දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර නිලධාරීන් පියවර ගෙන තිබිණ.

අධිකරණයට ඉදිරිපත් කළ විත්තිකරුවන් 24 දෙනා අතරින් 12 දෙනකු වෙනුවෙන් නීතිඥවරුන් පෙනී සිටි අතර තමන් වෙනුවෙන් නඩුවට පෙනී සිටීම සඳහා දෙමළ භාෂාව පිළිබඳ මනා අවබෝධයක් ඇති නීතිඥවරුන් පත් කරන ලෙස සෙසු විත්තිකරුවෝ අධිකරණයෙන් ඉල්ලා තිබුනි.

තමුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති අධිචෝදනා පත්‍රය ඇතුළු ලේඛන ද්‍රවිඩ පාර්ශවයට ලබා දීමට නීතිපතිවරයාට නියෝගයක් කරන ලෙස විත්තිකරුවන් 18 දෙනෙක් එහිදී අධිකරණයෙන් ඉල්ලා සිටි බව ජනමාධ්‍ය වාර්තා කර තිබේ.

එම නඩුවේ 25 වැනි විත්තිකරු එහිදී අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ  එම අධිචෝදනා පත්‍රය ඉංග්‍රිසි භාෂාවෙන් ලබා දීමට නියෝගයක් කරන ලෙසයි.

රජයේ වියදමින් නීතිඥවරුන් පත් කරන ලෙස ඉල්ලා සිටි විත්තිකරුවන් අතරින් 10 දෙනෙකු වෙනුවෙන් පෙනී සිටීම සඳහා ද්‍රවිඩ භාෂාව හා සිංහල භාෂාව පිළිබඳ අවබෝධයක් ඇති නීතිඥවරුන් නම් කරන ලෙස දන්වා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා වෙත අධිකරණය එහිදී නියෝගයක් නිකුත් කර තිබුනි.

එම අධිකරණ පත්‍රය සහ ඇමුණුම් කළ පිටපතක් තමන්ට ලබා දෙන ලෙසට නියෝගයක් කරන්නැයි, අගතියට පත් පාර්ශවය නියෝජනය කරන අගදරගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නෙවිල් අබේරත්න  එහිදී අධිකරණයෙන් ඉල්ලා තිබුනි.

නඩුව ලබන නොවැම්බර් 23 වනදා යළි කැඳවීමට නියමිතව තිබේ.

පොලිස්පතිගෙන් විශේෂ ප්‍රකාශයක්

පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් ලෙස ශ්‍රී ලංකාවේ අත් අඩංගුවේ ඉන්නා තිදෙනකුට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය චෝදනා ගොනු කොට ඇති අතර , ත්‍රස්ත නීති යොදාගෙන දිවයින තුල සිරකොටගෙන ඉන්නා සිය ගණනකගෙන් නඩු පවරා ඇත්තේ පනහකටත් අඩු පිරිසකට පමණි.

පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන  විමර්ශන,  විවේචනය කරන පුද්ගලයන්ට එරෙහිව  නීතිමය පියවර ගන්නා බවට විශේෂ ප්‍රකාශයක් කරමින් පසුගියදා අනතුරු ඇඟවු පොලිස්පති සී.ඩි වික්‍රමරත්න එහිදී පවසා තිබුනේ ප්‍රහාරය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් පුද්ගලයන් 723 කගෙන් 311 දෙනෙක් තවමත් රිමාන්ඩ් බාරයේ සිටින  බවයි.

“පොලිස් පරීක්ෂණ වලින් සැකපිට අත් අඩංගුවට ගත් පුද්ගලයන් 723 කගෙන් 311 දෙනෙක් තවමත් රිමාන්ඩ් බාරයේ සිටිනවා, රුපියල් මිලියන 360 මුදල් රාජසන්තක කර තවත් රුපියල් මිලියන 168 ක දේපොළ තහනම් කර තිබෙනවා,” යි පැවසූ පොලිස්පති ” සැකකරුවන් 46 දෙනකුට එරෙහිව  මහාධිකරණයේ අධිචෝදනා 11 ක් ගොනු කර තිබෙනවා,”  යැයි වැඩි දුරටත් සදහන් කළේය.

“ පොලිසියේ විමර්ශනයෙන්  පසු පවරා ඇති නඩු වලට අගතියක් වන නිසා ඒවා විවේචනය හා හෑල්ලු කිරීම ගැන නීතිමය පියවර ගැනීම කෙරෙහි සැලකිල්ල දක්වනවා” යනුවෙන් පොලිස්පති වික්‍රමරත්න වැඩි දුරටත්  අනතුරු ඇඟවීය.

පොලිස් ප්‍රධානියා තම විශේෂ ප්‍රකාශය කළේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කිරීමට පත් කරන ලද ජනාධිපති කොමිසම විසින් චෝදනා නගා ඇති ජ්‍යෙෂ්ඨ පොලිස්  නිලධාරීන් දෙදෙනෙක් ඊට විරුද්ධව ජනමාධ්‍ය හමුවේ අදහස් දැක්වීමෙන් අනතුරුවය.

පාස්කු ප්‍රහාරය සිදුවන වකවානුවේ මීගමුව ප්‍රදේශය බාර නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් ප්‍රහාරය වලක්වා ගැනීමට නිසි මැදිහත්වීමක් සිදු කර නොමැති බවට ජනාධිපති කොමිසමෙන් චෝදනා එල්ලවී තිබෙන අතර එකල බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ නන්දන මුණසිංහට නඩු පවරන ලෙස කොමිසම විසින් නිර්දේශ කර ඇත.

තමන් සිංහල බෞද්ධයන් වීම නිසා එම චෝදනා නැගී ඇතැයි පැවසූ නිලධාරීන් දෙදෙනා එයින් ගලවා දෙන ලෙස නාහිමිවරුන් නැමද ඉල්ලා තිබුණි.

මිනිස් ජීවිත 268 ක්

දේවස්ථාන සහ සංචාරක හෝටල් කිහිපයක් ඉලක්ක කර ගනිමින්  2019 අප්‍රේල් මස 21 වන දින එල්ල කළ  මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව නිසා 250 කට අධික සාමාන්‍ය වැසියන් සංඛ්‍යාවක් මියගියහ.

කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය, කොටහේන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය, මඩකලපුව සියොන් දේවස්ථානය, දෙහිවල හෝටලයක සහ කොළඹ කිංග්ස්බරි, ෂැන්ග්‍රිලා, සිනමන් ග්‍රෑන්ඩ් හෝටල්වල දෙවසරකට ඉහතදී  බෝම්බ පිපිරීම් සිදු වුයේ  පුද්ගලයන් 268ක් ජීවිතක්ෂයට පත්කරමින්, තවත් 500කට අධික ප්‍රමාණයක් තුවාල සිදුකරමිනි.

පාස්කු ඉරුදින ප්‍රහාරයට වගකිවයුත්තන්ට එරෙහිව දැනට ගෙන ඇති නෛතික ක්‍රියාමාර්ග පිළිබඳ සෑහීමකට පත්නොවන බව කොළඹ අගරදගුරු කාදිනල්  මැල්කම් රංජිත් හිමියෝ දිගින් දිගටම අවධාරණය කරමින් සිටිති.

පාස්කු ප්‍රහාරය ගැන සාධාරණ පරීක්ෂණයක් කර අපරාධ කරුවන්ට දඩුවම් ලබා දීමට රාජපක්‍ෂ ආණ්ඩුව කටයුතු නොකළහොත් ඊට එරෙහිව ජාත්‍යන්තර ආධාර පතන බව  අගමැති මහින්ද රාජපක්ෂ විදේශ ඇමැති ජී.ඇල් පිරිස් ඇතුළු 15 දෙනකුගෙන් යුත් කණ්ඩායමක්  ඉතාලියේ සංචාරයක නිරත වන මොහොතේ  ඉතාලියේ බොලොඤ්ඤා නගරයට රැස්වූ කතෝලිකයන් ප්‍රමුඛ ලාංකිකයන්  විරෝධතා දක්වා අවධාරණය කර තිබුනි.

Social Sharing
නවතම