අඳුරු වලාවන් මැද රීදී රේඛාවන් සොයා යාම!  – පිලිප් දිසානායක

civil rights movement sri lanka

ලෝක සිවිල් ව්‍යාපාරයට මෙන්ම, ලංකාවේ සිවිල් ව්‍යාපාරයට ඉතා විශාල ඉතිහාසයක් තිබේ. මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතාට අනුව 1912-1915 කාලයේ පැවති අමධ්‍යප ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ ඇරඹි පැරණිතම සිවිල් ව්‍යාපාරය ලෙස සදහන් කර තිබේ. ඉන් පසුව වෘත්තීය සමිති ව්‍යාපාරයත්, 1971 කැරැල්ලෙන් පසුව ඇති වූ සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයත්, ජාතීන් අතර යුක්තිය හා සාමය ඇති කිරීමේ ව්‍යාපාරය (MIRJE), ප්‍රජාතන්ත්‍රීය අයිතින් සුරකීමේ සංවිධානය (MDDR) ඉඩම් කෘෂි ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය (MOLNAR) අතුරුදහන්වුවන්ගේ මාපිය දූ දරු සංවිධානය (AFMAD) නිදහසේ වේදිකාව (PFF) සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරය (NMSJ) එසේ බිහි වූ වැදගත් සිවිල් ව්‍යාපාරයන් ලෙස සදහන් කළ හැක.

සිවිල් හා දේශාපාලන අයිතීවාසිකම් වෙනුවෙන් හා සාමාජ ආර්ථික හා සංස්කෘතික අයිතිවාසිකම් වෙනුවෙන් ද, ගොවි ධීවර ඇතුළු පාරිසරික අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියාත්මක සංවිධාන මෙන්ම, ග්‍රාමීය හා අර්ධ නාගරික ප්‍රදේශයන් මූලික කරගෙන පවතින විවිධ ජීවන අවශ්‍යතා මුලකරගෙන ගොඩනැගී ඇති මරනාධාර, ග්‍රාම සංවර්ධන, කාන්තා, තරුණ, ණය සමිති හා මිතුරු හවුල් ආදීය සමග ගත් විට සැලකිය යුතු මට්ටමක සිවිල් සංවිධාන ප්‍රමාණයක් ලංකාව පුරාම ක්‍රියාත්මක වේ.

මේ සියල්ල රාජ්‍ය ව්‍යුහයට පිටින් ක්‍රියාත්මක වන සංවිධාන බැවින් මේවා රාජ්‍ය නොවන සංවිධාන ගනයට වැටේ. රජයේ කිසිදු අධිකාරියකට යටත් නොවන, එහි කිසිදු අධීක්ෂණයකට භාජනය නොවන, රජයේ කිසිදු ව්‍යුහයකින් මුල්‍ය ඇතුළු අනෙකුත් කිසිදු ප්‍රථිලාභයක් නොලබන තමුන් විසින් සකස්කරගත් අරමුණක් වෙනුවෙන් කටයුතු කරන මෙවැනි සක්‍රීය පුරවැසි ක්‍රියාකාරීත්වයක් සහිත රාජ්‍ය නොවන සංවිධාන තිස්පන්දාහක වැඩි ප්‍රමාණයක් මේ වන විට රජයේ ලියාපදිංචි වී ඇති බව ද වාර්තා වේ. එසේ කුමණ හෝ රාජ්‍ය ව්‍යුහයක මෙතෙක් ලියාපදිංචි වී නොමැති සංවිධාන ප්‍රමාණය ඊටත් වඩා බොහෝ වැඩි විය හැක. මෙහි ක්‍රියාත්මක පිරිස දසලක්ෂය ඉක්මවිය හැක.

මෙම සංවිධාන ලංකාවේ ක්‍රියාත්මක නොවෙන්න, ජනතාවගේ මූලික අයිතිවාසිකම් ඇතුළු මානව හිමිකම් පිළිබදවත්, අපරාධ හා සිවිල් නීති සම්බන්ධවත්, කාන්තා හා ළමා අයිතිවාසිකම් හා සුළුතර ප්‍රජාවන්ගේ අයිතීන් පිළිබදවත්, ගොවි, ධීවර හා පරිසරික අයිතීන්, නිදහස් හා සාධාරණ මැතිවරණයන් පිළිබදව අවබෝධයත්, ඒ සම්බන්ධව ක්‍රියාකාරීත්වය මීටත් වඩා බොහෝ අඩුවීමට වීමට ඉඩ තිබුනි.

මෙම සිවිල් සංවිධාන මිනිසුන් අතර ජනප්‍රිය වුයේ අතීතයේ සිට එහි ක්‍රියාකාරීන් විවිධ අභියෝගයන් මැද්දේ විශාල කැප කිරීමකින් හා උද්යෝගයකින් ඒ සම්බන්ධව කටයුතු කළ නිසාය. ලෝකයේ අලුත් දැනුම හා සංකෘතීන් මිනිසුන් අතරට රැගෙන ගියේ මෙම සිවිල් ක්‍රියාකාරීත්වය විසිනි. සමහර අවස්ථාවලදී රටේ ඇති වූ දේශපාලනික තත්ත්වයන් නිසා මෙසේ ක්‍රියාත්මක වූ සමහර සිවිල් සමාජ ක්‍රියාකාරීන්ට ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදු විය.

1988-89 භීෂණ සමයෙන් අතුරුදහන්වු දරුවන්ගේ තොරතුරු ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය, ඇමිනෙස්ට්‍රි ජාත්‍යන්තරය වැනි සංවිධාන වෙත යොමු කිරීමට කටයුතු කළ අතුරුදහන්වුවන්ගේ මා පිය දූ දරු සංවිධානය නියෝජනය කළ සමහර ක්‍රියාකාරී එවකට පැවති රජයේ දැඩි මර්ධනයට හසුවිය. මාතර, චන්ද්‍රදාස රණසිංහ වැනි අය අතුරුදහන්වූයේ මාතර ප්‍රදේශයේ අතුරුදහන්වු පවුල් කිහිපයක තොරතුරු ලබාගෙන එන අතර තුර එම තොරතුරු පත්‍රිකා ද සමගිනි. එසේ ජීවිත පරිත්‍යාගයෙන් ඔවුන් විසින් ඒකතු කරන ලද තොරතුරු වාර්තා එදා ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත රැගෙන යනු ලැබුවේ වත්මන් අගමැති මහින්ද රජපක්ෂ හා ඇමති වාසුදේව නානයක්කාර යන අය විසිනි. එම තොරතුරු ජාත්‍යන්තර තලයේ විශාල වශයෙන් ව්‍යාප්ත වීම නිසා ඇති වූ පීඩනයෙන් මිදීමට එවක පැවති රජයට තම මර්ධනය ලිහිල් කිරීමට සිදු විය. ඒ නිසාම සැලකිය යුතු තරුණ තරැණියන් පිරිසක් මරණයෙන් නිදහස් වූ අතර, පසුව ඒ අයගෙන් සමහරෙක් මැති ඇමතිකම් පවා දැරුවාය.

මේ ආකාරයේ ඉතා වැදගත් හා ඉතා අවධානම් සහගත ක්‍රියා මාර්ගයන් පවා මෙම සිවිල් සංවිධාන නියෝජිතයින් විසින් සිදු කර තිබුනි. මුල් අවස්ථාවේ මැතිවරණ නිරීක්ෂණයන් හි යෙදුන සිවිල් කණ්ඩායම් වෙත ද දැඩි මර්ධනයන් දියත් විය. සමහර අවස්ථාවල දී සිදු වූ පහරදීම් නිසා ඔවුන් ශරීරික දුබලකම්වලට මුහුණ දෙන්නට සිදු විය. මෙසේ සිදු කළ ක්‍රියාකාරකම් හා කැපකිරීම් නිසා සැලකිය යුතු ජන ප්‍රසාදයක් මෙම සංවිධාන විසින් දිනාගෙන තිබුනි.

නමුත්, මෙම තත්ත්වය පසු කාලීනව දැනුවත්ව හා සැලසුම් සගතව වෙනස් කිරීමට ඒවකට දේශප්‍රේමීන් යැයි කියාගත් ආණ්ඩුවේ මෙන්ම විපක්ෂය නියෝජනය කළ පිරිසක් විසින් සිදු කරනු ලදී. සාමය, සංහිදියාව, මානව හිමිකම්, මාධ්‍ය නිදහස ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදී නිදහස වෙනුවෙන් කටයුතු කළ සංවිධානයන් හි කටවල් වසා ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය අඩපන කර, සමාජයෙන් කොන්කර ඔවුන් ජනතා අප්‍රසාදයට පත්කර තැබීමට ඔවුන්ට අවශ්‍ය විය.

එම අරමුණෙන් ඒවැනි සංවිධාන ඉල්ක්ක කරමින් විශාල අවාලාද ද්වේශසගත ප්‍රචාරයක් ඒවකට පැවති රජයනුත්, ඊට සහාය දැක්වූ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු විපක්ෂයේ සමහර දේශපාලණ පක්ෂ හා රජයේ මෙන්ම, සමහර පුද්ගලික මාධ්‍යයන්ගේ ද සහයෝගයෙන් වසර ගනනාවක් තිස්සේ දියත් විය. මෙම ක්‍රියාකාරීන් විශාල දූෂිතයින් බවද, ත්‍රස්තවාදී කණ්ඩායම් සමග සම්බන්ධතා ඇති බවද ප්‍රචාරය කරන ලදී. නමුත් මේ විවේචනයන්ට දශකයකට වැඩි කාලයක් ගතව ඇතත් මේ සම්බන්ධව කිසිවෙකුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමක් හෝ අවම වශයෙන් මේ සම්බන්ධව කිසිදු පරීක්ෂණයක් හෝ ආරම්භකර ඇති බවක් මෙතෙක් වාර්තා නොවේ.

ගොඩනැගුණු මේ අශුද්ධ සංධානය විසින් සාමය හා සංහිදියාව, මානව හිමිකම් හා මාධ්‍ය නිදහස වැනි ප්‍රජාතන්ත්‍රවාදී අයිතින් වෙනුවෙන් කතා කරන පුද්ගලයින්ට ඇදගෙන වැටෙන්නට පහර දුන්නේය. ඔවුන්ගේ කටයුතු වලට නිල හා නිල නොවන ආකාරයෙන් බදා කලාය. සමහර සිවිල් සමාජ නායකයින්ගේ ඡායාරෑප ප්‍රසිද්ධ කරමින් ද්වේශසගත මෙන්ම අසත්‍ය ප්‍රචාරයන් සිදු කලාය.

ඊට නොමද සහායක් රටේ සැලකිය යුතු ප්‍රජාවකගෙන් ලැබුන අතර, සෘජුව මෙම ප්‍රහාරයට ලක් නොවු අනෙකුත්  සිවිල් සංවිධාන නිහඩතාවයෙන් එම ප්‍රහාරකයන් වෙත අනුමැතියක් හෝ අනුබලයක් ලබා දුන්නාය.

මේ සියළු දෙනා එකට එක් වී ඇති කළ මේ ක්‍රියාවේ ප්‍රථිපලයන් දැන් අප සියළු දෙනා බුක්ති විදිමින් සිටී. මානව හිමිකම් ඇතුලු ප්‍රජාතන්‍ත්‍රීය අයිතින් පමණක් නොව යළි ගොඩ ඒමට නොහැකි මට්ටමේ ආර්ථික, සාමජීය හා දේශපාලණික වශයෙන් විශාල ප්‍රපාතයකට අප සියළු දෙනා මේ වන විට ඇද වැටී තිබේ.

20 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට වැඩි බලයකින් සම්මත කිරීමට ජනවරම ලබා දීම තුළින් දශක ගනනාවක සිට සටන්කර දිනාගත් අපගේ අයිතිවාසිකම් සුළු මට්ටමකින් හෝ සුරක්ෂිත කිරීමට ස්ථාපිත කරගත් යන්ත්‍රනයන් එක රැයකින් විනාශකර දැමීමට මේ සියළු දෙනා දායක වී තිබේ.

රටක් සංවර්ධනය වීමට මූලික වශයෙන් බලපාන අපරාධ හා දූෂණ පිළිබදව පරීක්ෂණ හා ඒවා වැලැක්වීමේ යාන්ත්‍රණයන් කඩා බිද දැමීමට දූෂිතයින් හා අපරාධකාරයින් එක්ව කටයුතු කිරීමට ඔවුන් සහයෝගය ලබා දී තිබේ.

මේ හේතුවෙන්, මානව අයිතිවාසිකම් පමණක් නොව, එදිනෙදා ජීවිතය ගැටගසා ගැනීමට අවශ්‍ය මූලික අවශ්‍යතා සපුරාගත නොහැකි මට්ටමේ රාජ්‍යයක තත්ත්වයට අප අද පත්වෙමින් තිබේ.

මෙම තත්ත්වයෙන් ගොඩ ඒමට නම් ඊනියා දේශප්‍රේමී ගොංකං අතහැර රටේ ජීවත්වන සියලුම ජාතීන්ට යුක්තිය හා සමානාත්මතාවය ලබා ගත හැකි වැඩ පිළිවෙලකට මේ සියලුම දෙනා ඒකරාශී කර ගත යුතුව ඇත. අප වැටී ඇති ප්‍රපාතයේ තරම පිළිබදව නිවැරදි අවබෝධයකට පැමිණීමත්, ඊට විසදුම් අප විසින්ම සොයා ගැනීමත් සිදු කළ යුතුය. ඒය පැරණි මතවාදයන් තුළ තව දුරටත් පල්වෙමින්, සම්ප්‍රධායික ක්‍රියාකාරීත්වයන් තුළින් තව දුරටත් කිරීමට නොහැකි වනු ඇත.

ඒ සදහා ප්‍රථිපත්ති මත කටයුතු කරන ශක්තිමත් පුරවැසි ක්‍රියාකාරීත්වයක් රට තුළ නැවත නිර්මාණය කිරීමට සිදුව තිබේ. මේ අදුරු වලාවන් මැද අපට රිදී රේඛාවන් සොයා යෑමට සිදුව තිබෙන්නේ ඒ වෙනුවෙනි.

Social Sharing

Related posts