මැන්ඩෙලා රිතීය අනුව PTA යටතේ සිටින දෙමළ සිරකරුවන් උතුරට මාරු කරන ලෙස ඉල්ලීමක්!

“ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රඳවා ගෙන සිටින මේ දෙමළ සිරකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට බන්ධනාගාර නිලධාරින් සමත් නොවීම නිසා ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් යාපනය හෝ වව්නියාව බන්ධනාගාරවලට මාරු කරන්න,“යැයි  දෙමළ ජාතික මහජන පෙරමුණේ (TNPF) නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් ඊයේ ( 22 ) පාර්ලිමේන්තුවේ දී ඉල්ලා සිටියේය.

ලොහාන් රත්වත්තේ රාජ්‍ය ඇමැති අනුරාධපුර බන්ධනාගාරයට ගොස් දෙමළ සිරකරුවන්ට මරණීය තර්ජනය කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය ගැන ප්‍රශ්න කරන දෙමළ ජාතික මහජන පෙරමුණේ නායකයා  විසින් එම ඉල්ලීම කරන ලදී.

පොන්නම්බලම් මන්ත්‍රීවරයා කියා සිටියේ  නෙල්සන් මැන්ඩෙලා රීතිය අනුව දෙමල දේශපාලන සිරකරුවන් මාරු කරන ලෙසය. නෙල්සන් මැන්ඩෙලා රීතිය යනු සිරකරුවන්ට  සැලකිය යුතු ආකාරය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2015 දී අනුමත කරගෙන තිබෙන අවම සම්මත රීති 122කි.

“සෝදිසි කිරීම්, කිසිවිටෙකත් අඩන්තේට්ටම් කිරීම, බිය ගැන්වීම හෝ අනවශ්‍ය ආකාරයෙන් සිරකරුවන්ගේ පුද්ගලිකත්වයට බාධා කිරීම සඳහා භාවිතා නොකළ යුතුය. වගවීම තහවුරු කිරීම පිණිස බන්ධනාගාර පරිපාලනය විසින් විශේෂයෙන්ම සිරකරුවන්ගේ ඇදුම් ඉවත් කර සිදු කරන සහ දේහ කුහර තුළ සෙවීම සහ සිරකුටි සෝදිසි කිරීම ඇතුළු සියලු සෝදිසි කිරීම්, සහ එසේ සෝදිසි කිරීම හේතු, එම සෝදිසි කිරීම් කළ අයගේ අවශ්‍යතා සහ ඒවායේ ප්‍රතිපල නිසි පරිදි වාර්තා ගත කළ යුතුයැ“ යි බන්ධනාගාර සෝදිසි කිරීම් ගැන නෙල්සන් මැන්ඩෙලා රීතියේ 51 වැනි රීතිය මගින් පැහැදිලි කර තිබේ.

ලොහාන් රත්වත්තේ බන්ධනාගාර හා සුභසාධන  රාජ්‍ය ඇමැති ධුරයෙන් ඉවත් වී ඇති මුත් මැණික් හා ස්වර්ණාභරණ රාජ්‍ය ඇමති ධුරය තවත් දරමින් සිටී.  සිරකරුවන් ආරක්ෂා කිරීමේ ජාත්‍යන්තර නීති හා සම්මුතිවලට එකඟ වී ඇති ශ්‍රීලංකා ආණ්ඩුව සිරකරුවන්ට මරණීය තර්ජන කළ රාජ්‍ය ඇමැතිව  කිසිදු ඇමැතිධුරයක් ලබා නොදී, පාර්ලිමේන්තුවෙන් ද ඉවත් කරන ලෙස පොන්නම්බලම් මන්ත්‍රීවරයා ඉල්ලා සිටී.

ලොහාන් රත්වත්තේ රාජ්‍ය ඇමැති බන්ධනාගාරයට පැන සිරකරුවන්ට මරණීය තර්ජනය කිරීම හෙලා දකිමින් අධිකරණ ඇමැති  අලි සබ්රි කියා සිටියේ විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරයෙක්  යටතේ ස්වාධින පරීක්ෂණයක්  පවත්වන්නට කැබිනට් මණ්ඩල අනුමැතිය දුන් බවය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා මානව හිමිකම් කොමිසම මෙම නොමනා සිදුවීම ගැන දැනටමත් පරීක්ෂණ අරඹා ඇති බවත්, පුද්ගලයන් 23 දෙනකුගෙන් සිද්ධිය ගැන කට උත්තර ලබාගත්  බවත් ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ලොහාන් රත්වත්තේ බන්ධනාගාර හා සුභසාධන රාජ්‍ය ඇමැති ලෙස කටයුතු කරමින් සිටිය දී  අනුරාධපුර බන්ධනාගාරයට ඇතුල්වී දෙමල දේශපාලන සිරකරුවන් එකළොස් දෙනෙක් ඔහු ඉදිරියට කැඳවා, දණ ගස්වා, පිස්තෝලයක් එල්ල කොට  බියවද්දා, තර්ජනය කළ බවට තොරතුරු මුල් වරට හෙළි කරනු ලැබුවේ TNPF නායකයා විසිනි.

මේ ආකාරයෙන්ම කොළඹ මැගසින් බන්ධනාගාරයට ද බලහත්කාරයෙන් ඇතුල්වූ රත්වත්තේ රාජ්‍ය ඇමැති  එහි සිරකරුවන්ට ද තර්ජනය කොට තිබිණි. පසුව එල්ලවූ විරෝධය හමුවේ ඔහු  සිය රාජ්‍ය අමාත්‍යධුර භාගයකින් පමණක් ඉල්ලා අස්විය.

Social Sharing
නවතම