දේශබන්දුලාගේ රැකියා බේරා ගැනීමේ කන්නලව්ව !

රස්සාවයි ජීවිතය බේරා දෙන ලෙස දළදා වහන්සේගෙන් සහ මහ නායක හිමිවරුන්ගෙන් ඉල්ලීමට ඊයේ (19) උසස් පොලිස් නිලධාරීන් පිරිසක් මහනුවර ගිය පුවත සියලුම මාධ්‍ය පාහේ දක්නට ලැබුණි.

එලෙස ගොස් තිබුණේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, නියෝජ්‍ය පොලිස්පති චන්දන අතුකෝරළ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිල කුමාර හේරත් ඇතුලු නිලධාරීන් පිරිසකි.

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් වන ජනාධිපති කොමිසන් සභා වාර්තාවෙන් පොලිස් නිලධාරීන්ට ගැටලුවක් සිදුව ඇති බවත්, මෙම ප‍්‍රදේශවල රාජකාරී කළ පොලිස් නිලධාරීන්ගේ විශ‍්‍රාම වැටුපට පවා බලපෑමක් එල්ලවී විය හැකි බවද අස්ගිරි අස්ගිරි මහ විහාරයට පැමිණ  එම පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමියන් බැහැදැකිමින් කියා තිබුණි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යහපාලන රජයේ සමයේ පත්කළ ජනාධිපති කොමිෂම මගින් ලබාදී තිබෙන අසාධාරණ තීන්දුව මගින් දිවිහිමියෙන් රාජකාරි කළ තම පිරිසකට බරපතල අගතියක් සිදුව තිබෙන බවත් මෙය නිවරැදි කිරීම සඳහා මැදිහත්වන ලෙසත් ඔවුන් නාහිමියන්ගෙන් කාරුණික ඉල්ලීමක් කළේය.

නාහිමියන් මුණගැසීමෙන් පසු එම නිලධාරීන් පිරිස දළදා හිමි වැඳ පුදාගෙන තිබුණි.

පාස්කු ප්‍රහාරය සිදුවන වකවානුවේ මීගමුව ප්‍රදේශය බාර නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් ප්‍රහාරය වලක්වා ගැනීමට නිසි මැදිහත්වීමක් සිදු කර නොමැති බවට ජනාධිපති කොමිසමෙන් චෝදනා එල්ලවී තිබෙන අතර එකල බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ නන්දන මුණසිංහට නඩු පවරන ලෙස කොමිසම විසින් නිර්දේශ කර ඇත.

මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මෙසේ පැවසිය.

“පාස්කු ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ බස්නාහිර පළාතත් නැගෙනහිර පළාතත් රාජ්‍ය බුද්ධ අංශයත් බාරව සිටි පොලිස් නිලධාරීන් විශාල පිරිසක් මෙතන සිටිනවා. ප්‍රහාරය සම්බන්ධ තොරතුරු සියල්ලම ප්‍රමාදයකින් තොරව කඩිනමින් පොලිස් නිලධාරීන්ට යවන්න පියවර ගෙන තිබුණා. ඒ බව ජනාධිපති කොමිෂන් සභාවේදී නිලධාරීන් ලබාදුන් ප්‍රකාශ මගින් සාක්ෂි සහිතව ඔප්පු වී තිබෙනවා.

එසේ තිබියදී ඒ බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් ගතයුතු නිශ්චිත ක්‍රියාමාර්ග පිළිබඳව එවකට පැවති රජය හෝ ආරක්ෂක අමාත්‍යාංශය හෝ පැහැදිලි උපදෙසක් පොලිස් නිලධාරීන්ට ලබාදී තිබුණේ නැහැ. ඒ අවස්ථාවේ යුද්ධය නිමවී රටේ සාමාකාමී වාතාවරණයක් ගොඩනැගී තිබුණා.

සංහිඳියාව කියන තේමාව යටතේ තමයි ඒ දවස් වල රජය ක්‍රියාත්මක වුණේ. විශේෂයෙන් මුස්ලිම් ප්‍රජාව සමඟ ඉතා සමීප සම්බන්ධතාවක් තිබීම නිසා අයි.එස්.එස් වගේ සංවිධාන ගැන ගැඹුරින් සොයා බැලීමක් සිදුවුණේ නැහැ.“

“සම්පූර්ණ සාමාකාමී වාතාවරණක් රටේ පැවතුණා. ඒ වාතරණය තුළ සිදුවූ මේ අවාසනාවන්ත සිද්ධිය නිසා අහිංසක මිනිස් ජීවිත 300 ක් පමණ රටට අහිමි වුණා. මේ ආකාරයේ ත්‍රස්තවාදී ප්‍රහාර ශ්‍රී මහා බෝධිය, මහ බැංකුව වගේ ස්ථාන වලත් සිදුවුණා. ඇමරිකාවට පවා  ත්‍රස්ත ප්‍රහාර එල්ල වුණා. ලෝකයේ කොහේවත් සිදු නොවන ආකාරයට ඒ අවස්ථාවේ රාජකාරී කිරීම පදනම් කරගනිමින් තමයි පොලිස් නිලධාරීන්ට එරෙහිව පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කොමිෂන් සභාව ක්‍රියාක්මක වුණේ. “

”තිස් අවුරුදු යුද්ධය නිමා කරන්න කැපකිරීම් කළ  විශාල පිරිසකට මේ කොමිෂම මගින් අසාධාණයක් සිදුව තිබෙනවා. මේ අයගේ විශ්‍රාම දිවියට පවා ගැටලුවක් වෙලා. ත්‍රස්තවාදී ප්‍රහාරයට ඍජුව හෝ වක්‍රව සහය දුන් නිලධාරියෙකු විනා ඒ ප්‍රදේශයේ රාජකාරී කළ නිලධාරීන් පීඩනයකට ලක්කරනවා නම් එය සමස්ත පොලිස් නිලධාරීන්ගේ මානසිකත්වය පහත වැටීමට බලපාන කාරණයක් වෙනවා.”

මෙහිදී අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාර හේරත් මෙසේ පවසා සිටියේය.

අපිට එල්ලුම්ගහ හරි මහ උලු ගෙදර හරි, රැකියාව  නැතිවෙලා ගෙදර යන්න වෙන එක නැතිවෙන එක හරි වලක්වා ගැනීමට මල්වතු අස්ගිරි නායක හාමුදුරුවෝ හමුවෙලා, දළදා වහන්සේ ළග කන්නලව් කිරීමට තමයි ඇවිත් තියෙන්නේ. රස්සාවයි, ජීවිතයි, අපි වෙනුවෙන් යැපෙන අයයි බේරගන්න  කන්නලව් කරන්න තමයි අපි මේ ඇවිත් ඉන්නේ යැයි කියා සිටියේය.

නමුත් මීට පෙර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මහතාට මුහුණු පොතෙන් අනියම් ලෙස තර්ජනය කරමින් කියා තිබුණේ ඔහුට පාස්කු ප්‍රාහාරය සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක් නොමැති බවය.

දේශබන්දු තෙන්නකෝන් මහතාට දේශපාලන පළිගැනීම් කොමිසමෙන් වැටුප් වර්ධක නිර්දේශ කිරිම පිලිබඳ මාධ්‍යවේදි තරිඳු ජයවර්ධන මහතා කැබිනට් තිරණ දැනුම් දීමේ රැස්වීමේදි විමසා සිටිම සම්බන්ධයෙන් ඔහු තරිඳු ජයවර්ධන හා උරණ වී තිබුණි.

එදා තමන්ට කිසිදු චෝදනාවක් නැතැයි කී ඔහු ඊයේ මහනුවර ගොස් කන්නලව් කිරිම බලලා මල්ලෙන් එළියට පැනීමක් නොවන්නේද?

ශානි

Social Sharing
නවතම