පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේන් දරුවන්ට සාධාරණයක් ඉටු වී නැහැ!

හිටපු අමාත්‍ය රිෂාඩ් බදීයුර්දීන් මහතාගේ නිවසේ සිටි 16 හැවිරිදි දැරිය පිලිස්සී මිය යාමත් සමඟ මෙරට දරුවන් පිලිබඳ බොහෝ දෙනා හඬ අවදි කරන්නට විය. මේ පිලිබද පාර්ලිමේන්තුවේ පවා වාද විවාද ඇති විය. මෙය කල්යත්ම දේශපාලනික මුහුණුවරකට හැරුනා මිස ඉෂාලිනිට සිදු වු සාධාරණයක් නැත.

මෙරට ජාතික ළමාරක්ෂක  ආධිකාරියක් ඇත. ළමා කටයුතු පිලිබඳ අමාත්‍යාංශයක්ද ඇත. නමුත් ඒ්වාට ලැබෙන පැමිණිලි පිලිබඳ කොතෙක් දුරට සාධාරණයක් ඉටු වුවාද යන්න කිසිවෙකුත් දන්නේ නැත. ඒ් පිලිබඳ කිසිවෙකුගේ අවධානයක් යොමු වුයේද නැත.  ඊට හොඳම නිදසුනක් පහුගියදා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී හෙළි විය.

පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව පිළිබඳ 2016 ,2017 සහ 2018 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධන පරීක්ෂාව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට  පහුගියදා ඉදිරිපත් කෙරුණි. ඒ් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ සභාපතීත්වයෙන් යුක්තවය.

මෙහිදි හෙළි වී ඇත්තේ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව වෙත වාර්තා වූ පැමිණිලි අතරින් 485 ක් සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබුණු බවද දරුවන්ගේ පැමිණිලි සඳහා ලබාදුන් විසඳුම් වල ප්‍රගතිය විමසීමක් හෝ පසුවිපරම් කිරීමක් හෝ එම දෙපාර්තමේන්තුව විසින් සිදු කර නොමැති බවය.

එසේම පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව විසින් 2016 වර්ෂයේ ආයතනගත ළමුන් සමාජගත කිරීමට නොහැකි වන හේතු විමසා බැලීමේ පර්යේෂණය, දෙමවුපියන් විදේශගත වීමෙන් දරුවන්ගේ අධ්‍යාපනයට හා ආරක්ෂාවට වන බලපෑම, ශ්‍රී ලංකාවේ ළමා හා ව්‍යුහය තුළ ළමා සහභාගිත්වය පිළිබඳ සමාලෝචනය යන පර්යේෂණ තුනක් වෙනුවෙන් රුපියල් මිලියන 4.98 ක් වැය කර තිබූ නමුත් එම පර්යේෂණ වාර්තාවලින් ලබාගත් නිර්දේශ හා නිගමන ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් පරිදි වැඩසටහන් ව්‍යාපෘති සැලසුම් කර ක්‍රියාත්මක කර තිබුනේ නැත.

ශ්‍රී ලංකාවේ සමාජ පසුබිම තුළ අනාථ, අත්හළ හා අසරණ ළමුන්ගේ ද නීතිමය ගැටලුවලට බඳුන් වූ ළමුන්ගේ අයිතිවාසිකම්, පූර්ණ සංවර්ධනය හා ආරක්ෂාව සුරකින ලෙස ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ප්‍රතිපත්ති සම්පාදනය, ක්‍රියාත්මක කිරීම, පසු විපරම, ඇගයීම යන කටයුතු සම්බන්ධ කර ජාතික යාන්ත්‍රණයක් ලෙස කටයුතු කිරීම පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ මෙහෙවර වුවද ළමා අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම හා ඊට අදාළ නීති සම්පාදනය කිරීම 2021 වර්ෂය වන විටද ඉටු කර නැති බව මෙහිදි අනාවරණය වු සුවිශේෂි කරුණු විය.

මෙය ඉතාම කණගාටුදායක තත්ත්වයකි. දරුවන් ගැන කථා කරන, ඔවුන් වෙනුවෙන් පෙනී සිටින ආයතනයක් මෙලෙස දරුවන්ව නොසලකා හැරීම පිලිබඳ සුලුවෙන් තැකිය නොහැකිය.

මේ පිලිබඳ අවධානය යොමු කළ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව ළමයින් සම්බන්ධයෙන් ප්‍රවෘත්ති ජනමාධ්‍ය මඟින් වාර්තාකරණයේදී ඒ සඳහා වූ ක්‍රමවත් නීති පද්ධතියක් සකස් කිරීමේ අවශ්‍යතාවය ද කාරක සභාව විසින් නිලධාරීන්ගේ අවධානයටයොමු කෙරුණු අතර මානසික පීඩනයට පත් දරුවන් සඳහා උපදේශන සේවය ලබා දී ඔවුන් සමාජගත කිරීමට අවශ්‍ය කටයුතු කිරීම අරමුණු කරගනිමින් ළමා උපදේශනය සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙළක් ද සකස් කළ යුතු බවත් උක්ත සියලු කරුණු සලකා බලා නිසි ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බවත් අවධාරණය කළේය.

මෙහිදී, පවතින තත්ත්වයන් පිළිබඳ අවබෝධ කරගනිමින් ළමුන් විෂයෙහි වන ජාතික ප්‍රතිපත්ති හා සැලසුම් වහා සම්පාදනය කළ යුතු බව මෙහිදී ගරු සභාපති තිස්ස විතාරණ මහතා දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත අවධාරණය කළේය.

එමෙන්ම, පරිවාස කාර්යාලයක් සෑම අධිකරණ බල ප්‍රදේශයකටම තිබීමේ වැදගත්කමද සභාව හමුවේ ඉදිරිපත් වූ අතර ළමා සමාජ තව දුරටත් නිර්මාණය විය යුතු බවටද යෝජනා කෙරිණි. ප්‍රතිපත්ති සකස් කිරීමේ දී ව්‍යුහාත්මක ගැටලු විසඳා ගැනීමේ වැදගත්කම පිළිබඳවද පරිවාස ගත වූ ළමුන් සම්බන්ධයෙන් යම් නීතිමය බාධාවන් පවතී නම් ඒ සඳහා සෘජුව, මැදිහත් ව ප්‍රතිපත්ති සකස් කළ යුතු බවත් අවධාරණය විය.

ළමයින් සම්බන්ධයෙන් සිදුවන සයිබර් අපරාධ සඳහා නියාමනයක් නොමැති හෙයින් නියාමනයන් කිරීමට වහා ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම පිළිබඳවත් මේ දිනවල දරුවන් නිවසේ සිට මාර්ගගත ක්‍රමය මඟින් අධ්‍යාපනය ලබන හෙයින් අන්තර්ජාලය භාවිතයේදී සිදුවන වැරදි සම්බන්ධයෙන් ද අවධ‍ානය යොමු කොට ඒ සඳහා ද පිළියම් යෙදීමට‍ද කමිටුවේ අවධානය යොමු වී ඇත.

සභාපති තිස්ස විතාරණ මහතාගේ සභාපතිත්වයෙන් පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සහ , පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන තිස්ස අත්තනායක මහතා ,අශෝක් අබේසිංහ මහතා, නිරෝෂන් පෙරේරා මහතා, ෆයිසාල් කාසිම් මහතා, මොහොමඩ් මුසම්මිල් මහතා, බී.වයි.ජී. රත්නසේකර මහතා , වීරසුමන වීරසිංහ මහතා, හරිනි අමරසූරිය මහත්මිය, උපුල් ගලප්පත්ති මහතා මෙන්ම රජයේ උසස් නිලධාරීහු පිරිසක්ද එක් වී තිබුණි.

ශානි

Social Sharing
නවතම