නීතිඥ හිජාස් හිස්බුල්ලා ගැන ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන වල අවධානය !

අත්අඩංගුවේ පසු වන නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතාගෙන් වැරැද්දක් සිදු වූ බවට සාක්ෂි කිසිවක් පෙන්වීමට මෙරට බලධාරීන්ට මේ දක්වා නොහැකි වී ඇති බවත්  ඔහුගේ අදහස් ප්‍රකාශ  කිරීමේ අයිතිය මර්දනය කිරිම සඳහා පමණක් ඔහු ඉලක්ක කර ඇති බව පෙනෙන්නට ඇති බවත් ඒ් නිසා ඔහුව වහාම නිදහස් කරන ලෙස හියුමන් රයිට්ස් වොච් සංවිධානය සමඟින් ජාත්‍යන්තර සංවිධාන කිහිපයක් ඉල්ලා සිටියි.

නිව් යෝර්ක්හි  – හියුමන් රයිට්ස් වොච් සංවිධානය, ජාත්‍යන්තර ක්ෂමා ආයතනය, Article 19, මානව හිමිකම් හා සංවර්ධනය සඳහා වූ ආසියානු සංසදය (FORUM-ASIA), පුරවැසි සහභාගීත්වය සඳහා ලෝක සන්ධානය, පෙරටුගාමී ආරක්ෂකයින් ( Front Line Defenders) ,  International Bar Association’s Human Rights Initiative,  ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම,  International Movement Against All Forms of Discrimination and Racism (IMADR), International Working Group on Sri Lanka, Sri Lanka Campaign for Truth and Justice යන සංවිධාන 10 ක් එකතු වී නීතිඥයෙකු සහ සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකු  වන හිජාස් හිස්බුල්ලා සහ ශ්‍රි ලංකාවේ ත්‍රස්තවාදය  වැළැක්වීමේ පනත යටතේ සිටි අනෙකුත් අයව නිදහස් කරන ලෙස ඉල්ලා ප්‍රකාශයක් නිකුත් කර ඇත.

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාස 15 ක් රඳවාගෙන සිටින නීතීඥයෙකු  සහ සුළුතර හා ප්‍රජා අයිතිවාසිකම් ක්‍රියාකාරිකයෙකු වන හිජාස් හිස්බුල්ලා මහතා තවදුරටත් රඳවා තබා ගැනීම පිළිබඳව එම සංවිධාන වල දැඩි කණස්සල්ල පල කර ඇති අතර අධිකරණයට ඉදිරිපත් කරන ලද විශ්වාසදායක සාක්ෂි නොමැති නම්, හිජාස් හිස්බුල්ලා වහාම සහ කොන්දේසි විරහිතව නිදහස් කළ යුතු බව මෙම ප්‍රකාශණයෙන් අවධාරණය කර ඇත.

හිජාස් හිස්බුල්ලා 2020 අප්‍රේල් 14 දින ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත  යටතේ අත්අඩංගුවට ගනු ලැබුයේ  ඉන්ෂාෆ් අහමඩ්ට (2019 අප්‍රේල් 21 බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ) ආධාර අනුබල දුන් බවට පොලිසියෙන් ඔහුට චෝදනා එල්ල කරමින් වුවත් එම චෝදනාව මේ වන විට ඉල්ලා අස් කර ගෙන ඇති බව පෙන්වා දෙන එම  සංවිධාන පවසන්නේ හිජාස්  හිස්බුල්ලාට එරෙහි චෝදනා කිහිප විටකම වෙනස් වී ඇති අතර ඔහුගේ රැඳවුම් කාලය මාස 15 කටත් වඩා දීර්ඝ කර තිබෙන බවය.

හිජාස් හිස්බුල්ලා යනු රජය දැඩි විවේචනයට ලක් කළ අයෙක් වන අතර  ඔහු ශ්‍රී ලංකාවේ ආගමික හා ජනවාර්ගික සුළු ජාතීන් කෙරෙහි වැඩි වැඩියෙන් සතුරුකම් ඇති වාතාවරණයක සුළුතර අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින අයෙකු බවත් ඔහු 2018 දී ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක් කළ නීතිඥයෙකු බවද සඳහන් කරන හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසන්නේ  වැරැද්දක් සිදු වූ බවට සාක්ෂි කිසිවක් පෙන්වීමට මෙරට බලධාරීන්ට මේ දක්වා නොහැකි වී ඇති බවය.

අත්අඩංගුවේ පසු වන හිජාස් හිස්බුල්ලා මහතාගේ අයිතිවාසිකම් දිගින් දිගටම උල්ලංඝනය වු බවත් ඔහුට නිවැසියන් හා කථා කිරිමට හැකි වුයේද මාස 10 කට පසුව බවත් ජාත්යන්තර මානව හිමිකම් නීතිය යටතේ, විශේෂයෙන් ලංකාව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ (ICCPR) 9 වැනි වගන්තිය යටතේ රාජ්‍ය පක්ෂයක් වන අතර, සියළුම රැඳවියන්ට තම පවුලට සහ නීතිඥයින්ට සාධාරණව ප්‍රවේශ වීමේ අයිතියක් ඇති නමුත් මොහුට එය අහිමිව ගොස් ඇති බව අවධාරණය කර ඇත.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාව 2020 දෙසැම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයක දී, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් බොහෝ  සිරකරුවන් වසර 15 ත් 20 ත් අතර කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින බව හෙළි වු බවද  මෙය රැඳවියන් අපයෝජනයට ලක්කිරීමක් වන අතර එය අයිසීසීපීආර් හි 9 සහ 14 වගන්ති යටතේ ආරක්‍ෂා කර ඇති පරිදි නිදහසට ඇති අයිතිය සහ සාධාරණ නඩු විභාගය සඳහා ඇති අයිතිය අමු අමුවේ උල්ලංඝනය කිරීමක් බව මෙම ජාත්‍යන්තර සංවිධාන රජයට පෙන්වා දී සිටියි.

නියමිත ක්‍රියාවලියක් සහ සාධාරණ නඩු විභාගයක් ඇතුළුව සියළුම එම රැඳවියන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ හිතුවක්කාර ලෙස අත්අඩංගුවට ගැනීම, රඳවා තබා ගැනීම, වධහිංසා පැමිණවීම සහ වෙනත් අයුතු ලෙස සැලකීම ඇතුළුව ආරක්ෂාව සහතික කිරීම,  ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින අය රඳවා තබා ගැනීම වහාම සමාලෝචනය කර සාධාරණ ඇප නඩු විභාග සඳහා ප්‍රමාණවත් ප්‍රවේශය සහතික කිරීම සහ ජාත්‍යන්තරව පිළිගත හැකි චෝදනාවලට ලක් නොවන සියලු දෙනා වහාම නිදහස් කිරීම, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ සිටින සියලුම රැඳවියන්ට රහසිගත පදනමින් සහ පවුලේ සාමාජිකයින්ට සහ මිතුරන්ට නිතිපතා නීති උපදේශන ලබා ගැනීමට සැලසීම,  ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලැබූවන්ගේ පූර්ව නඩු විභාගය ඇතුළුව සාධාරණ නඩු විභාගය සඳහා ඇති අයිතිය තහවුරු කිරීම, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කර එය භාවිතා කිරීම සඳහා වහාම තහනමක් නිකුත් කිරීම හා ඒ භාවිතය හේතුවෙන් මානව හිමිකම් උල්ලංඝනය වූවන්ට ඵලදායී පිළියම් සහ වන්දි ලබා ගැනීමට පහසුකම් සැලසීම යන යෝජනා පිලිබඳ රජයේ අවධානය යොමු විය යුතු බව ඔවුන් වැඩිදුරටත් මෙම නිවේදයෙන් කියා ඇත.

ශානි

 

Social Sharing
නවතම