මහජන ව්‍යවස්ථා සම්පාදනයක් දිනා ගැනීම – වික්ටර් අයිවන්

දැන් ලංකාව තිබෙන්නේ විධිමත් ව්‍යවස්ථාවක් නැති අවුල්සහගත තත්ත්වයකය. දෙවන ජනරජ ව්‍යවස්ථාව තිබෙන්නේ දිගින් දිගට කරන ලද කෙළෙසීම් නිසා ප‍්‍රයෝජනයට ගත නොහැකි වැරහැලි තත්ත්වයකය. ව්‍යවස්ථාව හදා ගැනීම අත්‍යවශ්‍ය වුවත් එය හදා ගත යුතුව තිබෙන්නේ පරණ යල් පැනගිය ක‍්‍රමයට නොවේ. පරණ යල්පැනගිය ක‍්‍රමය ලෙස සැලකිය හැක්කේ ව්‍යවස්ථා සම්පාදනය ව්‍යවස්ථාදායකයේ මන්ත‍්‍රීවරුන්ට සීමාකළ ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රමයටය. මහජන සහභාගි ව්‍යවස්ථා සම්පාදන ව්‍යවස්ථා සම්පාදනයේ නූතන මාදිලියයි. එම මාදිලිය තුළ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට අතිරේකව මහජනතාවටද ව්‍යවස්ථා සම්පාදනයට ක‍්‍රියාකාරී ලෙස සම්බන්ධ විය හැකිය.

ආණ්ඩුක‍්‍රමයේ ඇතිකර ගන්නා වෙනසකට සීමා නොවී සමස්ත ක‍්‍රමයේ පූර්ණ වෙනසක් ඇතිකර ගත හැක්කේ ද ඒ ක‍්‍රමටය.

  1. පාර්ලිමේන්තු මන්ත‍්‍රීන්ට සීමා කළ ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයකට ලංකාවේ පවත්නා කාලකණ්ණි තත්ත්වය දුරු කිරීමට හේතුවන හොඳ ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ හැකියාවක් නැත.

(අ) ලංකාවේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සැලකිය හැක්කේ මන්ත‍්‍රීවරුන් සඳහා තිබිය යුතු සුජාතභාවය අහිමි කරගත් අන්ත දූෂිත පිරිසක් ලෙසය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන ක‍්‍රමයක් තිබෙන කවර රටකවත් ව්‍යවස්ථාදායකයට හා විධායකයට මහජන ඡන්දයෙන් තේරී පත්වන නියෝජිතයන්ට ආණ්ඩුව සමග ව්‍යාපාර කිරීමට ඉඩ දෙන්නේ නැත. ආණ්ඩුවට අයත් දේපළ මිලදී ගැනීමට, කොන්ත‍්‍රාත්කරුවන් ලෙස ක‍්‍රියා කිරීමට, ආදායම් උපයන රජයේ බලපත‍්‍රලාභීන් ලෙස ක‍්‍රියා කිරීමට ඉඩ දෙන්නේ නැත. එවැනි ක‍්‍රියා බරපතළ වැරදි ලෙස සැලකෙන අතර එවැනි වැරදි කරන අයගේ මන්ත‍්‍රීකම් අහිමි කරනවාට අතිරේකව ප‍්‍රජා අයිතියද අහිමි කරන ක‍්‍රමයක් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුක‍්‍රම ක‍්‍රියාත්මක වන හැම රටකම පාහේ ක‍්‍රියාත්මක වේ.

(ආ) ලංකාවේද 1977 දක්වා එම ක‍්‍රමය ක‍්‍රියාත්මක විය. 1977 පාර්ලිමේන්තු මැතිවරණයෙන් එජාපයෙන් ගාලූ ආසනයට තරග කොට පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඇල්බට් සිල්වාගේ මන්ත‍්‍රීකම අධිකරණය විසින් අහිමි කළේ ඔහුගේ නමට රජයෙන් ලබාගත් භූමිතෙල් බලපත‍්‍රයක් තිබීම නිසාය. මීට අදාළ නීතිය වෙනස් කර නැතත්, නීතිය ක‍්‍රියාත්මකවීම අත්හිටුවා තිබේ. වර්තමානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගෙන් අතිවිශාල පිරිසක් ආණ්ඩුව සමග ව්‍යාපාර කරන ව්‍යාපාරිකයන් ලෙස සැලකිය හැකිය. සමහරෙක් ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසමෙන් ලබාගත් ඉඩම් නිසා ලොකු වැවිලිකරුවන් බවට පත්ව සිටිති. තවත් සමහරෙක් ආණ්ඩුවේ කොන්ත‍්‍රාත්කරුවන් ලෙස ක‍්‍රියා කරති. තවත් පිරිසක් වැලි, ගල්, පස් හා මත්පැන් සඳහා වන බලපත‍්‍ර ලබාගෙන එම විෂයෙහි ව්‍යාපාර කරන ව්‍යාපාරිකයන් බවට පත්ව සිටිති.

(ඇ) එය ලංකාවේ රාජ්‍යය වෙලාගෙන තිබෙන දූෂණයේ ප‍්‍රධාන ප‍්‍රභවය ලෙස සැලකිය හැකිය. රට පාලනය කරන ව්‍යවස්ථාදායකයින් නීතියට පටහැනිව අයථා ලෙස ධනය උපයන්නන් බවට පත් වූ විට ඒ රටේ දූෂණය පාලනය කරන්නේ කෙසේද?

(ඈ) නීතියට පටහැනිව තමන් භුක්ති විඳින වරප‍්‍රසාද අහිමි කිරීමට හේතුවන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට සීමා කළ ව්‍යවස්ථා සම්පාදනයකින් බලාපොරොත්තු විය නොහැකිය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට හෝ අගමැතිවරයා හදමින් තිබෙන ව්‍යවස්ථාවට හෝ ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර තිබෙන 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එම දූෂිත ක‍්‍රමයේ වෙනසක් ඇති කිරීමට හේතුවන යෝජනා හෝ විධිවිධාන ඇතුළත් නොවූයේ ඒ නිසාය. තුන්වැනි ජනරජ ව්‍යවස්ථා සම්පාදනය පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට සීමා නොකර මහජනයාට වැඩි බලයක් ලැබෙන ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයක් මගින් සිදුකළ යුතුව තිබෙන්නේ, දූෂණය දුරලීම සඳහා පාලක පක්ෂයට තමන් භාරයේ තිබෙන පොදු දේපළ කොල්ලකෑමට ලැබී තිබෙන අයථා බලය අහෝසි කිරීම අත්‍යවශ්‍ය වැදගත් කොන්දේසියක් වන නිසාය.

  1. වර්තමාන පාර්ලිමේන්තුව සංකීර්ණ ව්‍යවස්ථා සම්පාදනයක තබා සරල නීති සම්පාදනයක යෙදෙන්නටවත් අවශ්‍ය කරන පරිචය නැති බංකොළොත් පාර්ලිමේන්තුවක් බව හොඳින් සනාථ වී තිබේ. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඒ සඳහා දැක්විය හැකි එක නිදර්ශනයක් වන අතර පළාත් පාලන මැතිවරණ සංශෝධන නීතිය ඒ සඳහා දැක්විය හැකි තවත් නිදර්ශනයකි. එවැනි බංකොළොත් පාර්ලිමේන්තුවකින් හොඳ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් අපේක්ෂා කළ හැක්කේ කෙසේද?
  2. ව්‍යවස්ථාවක් යන්නෙන් අදහස් කෙරෙන්නේ පාලිත පක්ෂය (මහජනයා) තමන් පාලනය විය යුතු ආකාරය පිළිබඳ පාලක පක්ෂය සමග ඇතිකර ගන්නා ගිවිසුමකටය. ලංකාවේ පවත්නා දේශපාලන සන්දර්භය අනුව ජනාධිපති ඇතුළු පාර්ලිමේන්තුව ලංකාවේ පාලක පක්ෂය ලෙස සැලකිය හැකි අතර, පාලක පක්ෂය ඒකපාර්ශ්විකව සකස් කරන ව්‍යවස්ථාවක් පාලක පක්ෂය හා පාලිත පක්ෂය අතර ඇතිකර ගත් ගිවිසුමක් ලෙස සැලකිය නොහැකිය.
  3. ව්‍යවස්ථා සම්පාදනය ව්‍යවස්ථාදායකයට සීමා කළ ව්‍යවස්ථා සම්පාදන මාදිලිය නූතනයේ සැලකෙන්නේ හොඳටම යල්පැනගිය ව්‍යවස්ථා සම්පාදන මාදිලියක් වශයෙනි. ජාත්‍යන්තර නීතියෙන් පවා පිළිගෙන තිබෙන ව්‍යවස්ථා සම්පාදන මාදිලිය වනුයේ ‘මහජන සහභාගි’ ව්‍යවස්ථා සම්පාදන මාදිලියයි. එය වර්තමාන ලෝකයේ ව්‍යවස්ථා සම්පාදනයේ යෙදෙන රටවල් යොදා ගනිමින් තිබෙන ප‍්‍රධාන ව්‍යවස්ථා සම්පාදන මාදිලිය ලෙස සැලකිය හැකිය. එම මාදිලිය යටතේ ව්‍යවස්ථා සම්පාදනයක ආරම්භයේ සිට එහි අවසානය තෙක් එයට ක‍්‍රියාකාරී ලෙස සම්බන්ධවීමේ අයිතිය මහජනයාට හිමිවිය.
  4. ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුවත් ව්‍යවස්ථා විෂයෙහි පිළිගත් මූලධර්ම අනුවත් පරමාධිපත්‍යය බලය තිබෙන්නේ මහජනයාටය. ඒ නිසා ව්‍යවස්ථා සම්පාදනයක ප‍්‍රධාන අයිතිය තිබිය හැක්කේද මහජනයාටය.
  5. තිබෙන ආණ්ඩුක‍්‍රම යටතේ වුවද පරමාධිපත්‍යය බලය තිබෙන්නේ මහජනයාට වුවද මහජනයාට පරමාධිපත්‍යය බලය අභ්‍යාස කිරීමට ලබාදී තිබෙන අයිතිය මැතිවරණවලදී ඡුන්දය පාවිච්චි කිරීමට පමණක් සීමා කර තිබේ. නූතන ආණ්ඩුක‍්‍රම මාදිලිය මැතිවරණවලදී මහජනයාට ඡුන්ද පාවිච්චි කරීමේ අයිතියට අතිරේකව පාර්ලිමේන්තුවට යවන නියෝජිතයන් ආපසු කැඳවීමේ අයිතිය, ව්‍යවස්ථාදායකයට යෝජනා ඉදිරිපත් කිරීමේ අයිතිය, නීති අවලංගු කරවා ගැනීමේ හා අලූත් නීති ඇති කරවා ගැනීමේ අයිතිය සේ ම උසස් තනතුරු දරන්නන්ට දෝෂාභියෝග හෝ විශ්වාසභංග යෝජනා ඉදිරිපත් කිරීමේ අයිතිය වැනි අයිතීන්ද මහජනයාට ලබාදී තිබේ. ලංකාව තෝරාගත යුත්තේ එවැනි ආණ්ඩු ක‍්‍රමයක් නොවේද?

(අ) ස්විට්සර්ලන්තය ආණ්ඩුක‍්‍රම විෂයේදී මහජනයාට ක‍්‍රියාකාරී ලෙස සම්බන්ධවීමට අයිතිවාසිකම් ලබාදෙන ආණ්ඩුක‍්‍රමයක් ලෝකයට හඳුන්වා දුන් ප‍්‍රථම රට ලෙස සැලකිය හැකිය. එම ආණ්ඩුක‍්‍රමයේ එන ‘ජනප‍්‍රිය ප‍්‍රාරම්භනය’ නමින් හැඳින්වෙන ක‍්‍රමය යටතේ මහජනයාට නීති සම්පාදනයට හෝ ප‍්‍රතිපත්ති සම්පාදනයට බලපෑ හැකිය. අවශ්‍ය නම් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පවා වෙනස් කරවා ගත හැකිය. ජනප‍්‍රිය ප‍්‍රාරම්භන ක‍්‍රමය  2013දී ඉතාලියද, 2014දී ජර්මනියද සිය ආණ්ඩුක‍්‍රමයන්ට ඇතුළත් කර ගත්තේය. තෝරාපත් කරගන්නා මන්ත‍්‍රීවරුන් ආපසු කැඳවීමේ බලය මහජනයාට ලබාදෙන පනතක් එක්සත් රාජධානිය විසින්ද 2016දී නීතිගත කරන ලදි.

(ආ) ජනප‍්‍රිය ප‍්‍රාරම්භන ක‍්‍රමය ලංකාව ඇතිකර ගන්නා අලූත් ආණ්ඩුක‍්‍රමයටද ඇතුළත් කරගත හැකිය. ඒ මගින් ලංකාවේ සියලූ ආකාරවල ජන කණ්ඩායම්වලටද, පීඩිතයින් හා වින්දිතයින්ටද, වෘත්තීය සමිති හා වෘත්තීයවේදී සංවිධානවලටද, ගොවීන්ට, ධීවරයන්ට හා වතු කම්කරුවන්ට හා හස්ත කර්මාන්තකරුවන්ටද, ව්‍යාපාරිකයන්ටද, ශිෂ්‍ය සංවිධානවලටද, කාන්තාවන්ට හා සමරිසි ප‍්‍රජාවන්ටද, ආබාධිතයන්ට හා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ටද තමන්ට බලපාන ප‍්‍රශ්නවලදී බලවත් සාමූහික උත්සාහයක යෙදීම මගින් ව්‍යවස්ථාදායකය වෙත යෝජනා ඉදිරිපත් කිිරීමේ අයිතිය ලැබෙන්නේය. එවැනි ක‍්‍රමයක් ඇති කළ විට කැරලි ඇතිවීම වැළකේ. කම්කරු හා ශිෂ්‍ය වර්ජන ඇතිවීමද අඩුවනු ඇත. කලකිරීම් නිසා රට අතහැර යන්නන්ගේ ප‍්‍රවණතාවද දුර්වල කිරීමට හේතුවනු ඇත. ව්‍යවස්ථාදායකයේ නිද්‍රාශීලීභාවයද නැති කරයි. දේශපාලකයන්ට තියෙන බලය හීන කොට, පුරවැසියන්ට තියෙන බලය වර්ධනය කරයි. ආණ්ඩුකරණය කිසියම් විශාල ප‍්‍රමාණයකට මහජනයාගේ දෙයක් බවට පත් කරයි. තමන්ගේ සාධාරණ අයිතිවාසිකම් වෙනුවෙන් සේ ම පොදු යහපත වෙනුවෙන් ක‍්‍රියාකරන ක‍්‍රියාශීලී පුරවැසි සමාජයක් ඇති කරයි.

ව්‍යවස්ථා සම්පාදනය, ව්‍යවස්ථාදායකයේ මන්ත‍්‍රීවරුන්ට පමණක් සීමා නොකළ, ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය තුළ වැඩි නියෝජනයක් මහජනයාට ලැබෙන, මහජන සහභාගි ව්‍යවස්ථා සම්පාදනයක් මේ මොහොතේදී දිනාගත යුතුව තිබෙන්නේ ලංකාවේ රජ කරන කාලකණ්ණිභාවය දුරලීමට හේතුවන ගැඹුරු විපර්යාසයක් ඇති කිරීමට තෝරාගත හැකි හොඳම මාර්ගය එය වන නිසාය. එවැනි මහජන ව්‍යවස්ථා සම්පාදනයක් දිනා ගැනීම සඳහා හඬ නැගීම හා ක‍්‍රියාකිරීම දැනුවත් මහජනයාගේ සේ ම මහජන සංවිධානවලද වගකීමකි.

එවැනි ව්‍යවස්ථා සම්පාදන වැඩසටහනක් දිනා ගැනීමට හැකි වේ නම් වර්ග කුළ ආගම් භේදවලට තිබෙන පිළිගැනීම නැති කරමින් සියලූ මිනිසුන්ට සමාන මනුෂ්‍ය ගෞරවයද සමාන අයිතිවාසිකම්ද ලබාදෙන ප‍්‍රවේශයක් තුළ නූතන ජාතිය ගොඩනගා ගන්නා අතර රාජ්‍යයේ මුල් බැස පවත්නා දූෂණය, පිළිවෙළක් නැතිකම හා අකාර්යක්‍ෂමතාවය නැති කොට නිතීයේ පාලනය රජයන නූතන රාජ්‍යද ප‍්‍රතිනිර්මාණය කර ගැනීමට හැකිවනු ඇත.

වික්ටර් අයිවන්

Social Sharing
විශේෂාංග