ඊළඟ අමිත් කරුනාරත්න ඔබද? – සුනන්ද දේශප්‍රිය

ඊළඟ අමිත් කරුනාරත්න ඔබද? – සුනන්ද දේශප්‍රිය

අමිත් කරුනාරත්න, සම්පූර්ණ නම කස්තුරි ආරච්චිගේ අමිත් කරුනාරත්න. හුඟක් වේලාවට ඔබ මේ නම දන්නෙ නැතුව ඇති. ඔහු නිරපරාදේ මරා දැමුණු ලාංකිකයෙක්. පොලිස් වෙඩි පහරකින්. බීමත්ව සිටි පොලිස් නිලධාරී කණ්ඩායමක් විසින්.

අමිත් කරුනාරත්නට ලංකිකයෙක් කියන අනන්‍යතාවයට වඩා කැපී පෙනුණු, තවත් අනන්‍යතාවයන් ගණනාවක් තිබුණා. පිරිමියෙක්. ධීවරයෙක්. දූගී සමාජ ප්‍රජාවක සාමාජිකයෙක්. කොන්දක් තිබුණ මිනිහෙක්. සිව් දරු පියෙක්. විවාහකයෙක්.

කතාව දැන් ඔබ දන්නවා ඇති. අමු අමුවේ වෙඩි තබා අමිත් කරුනාරත්න මරා දැමුණේ පසුගිය 12වන සෙනසුරාදා අළුයම ලුනාව කලපුවේ මසුන් මැරීම සඳහා යමින් සිටියදී ලුනාව–අඟුලාන මෝයකට අසලද‍ෙ. ඔහුගේ සහෝදරයා සහ පුතා බලා සිටියදී.

ඒ රැයෙහි එතැන පසුකර ගිය බලයෙන් දිදුළන පැජරෝවට මෙම පොලිස් රාළහාමිලාම සැලුයුට් ගසන්නට නැත්ද? රැය පුරා රාජකාරි කිරිම පිනිස ඔවුන් කාගෙන් හෝ දඩයක් කපා ගෙන අඩියක් නොගසන්නට ඇත්ද?  පොලිස් රාළහාමිලාද ක්‍රමයේම ගොදුරකි. බලයේ වහලුන්සේ යොදවා ගැනෙති. එනිසාම ඔවුන්ගේ නීතිය සහ වෙඩ් උන්ඩ ගමන් කරන්නේත් බලය නැති නිර්ප්‍රභු ජනයා වෙතමය.

පොලිස් නිලධාරීන් තිදෙනෙකු අමිත් කරුණාරත්න ඇතුළු පිරිස ගමන් ගත් ත්‍රී රෝද රථ දෙක පරීක්ෂා කිරීමට නවැත්වූයේ මත්ද්‍රව්‍ය විරෝධී යුද්දයේ පියවරක් ලෙසය. ආණ්ඩුව ප්‍රකාශ කර ඇති යුද්ධ දෙකක් තිබේ. එකක් නම් කොවිඩ් වසංගතයට විරුද්ධ යුද්ධයයි. දෙවැන්න අන්තරායකාරී මත්ද්‍රව්‍ය විරෝධී යුද්ධයයි.

මේ කාරණා දෙකම සෞඛ්‍යමය කාරණාය. මත්ද්‍රව්‍ය ප්‍රශ්ණය යුද්ධයක් ලෙස ප්‍රකාශ කර ඇති රටවල එය අවසන්ව නැත. යම් පාලනයකට ගෙන ඇත්තේ එය සෞඛ්‍යමය ප්‍රවේශයකින් විසදීමට උත්සාහ කළ රටවල පමණි. මෙරට කොවිඩ් වසංගතය දරුණු ලෙස පැතිර ගියේ යුද හමුදා විසින් පාලනය කළ ස්ථාන දෙකකදීය. තවමත් වසංගතය සැළකෙන්නේ ජාතික ආරක්ෂාව පිළබඳ ප්‍රශ්ණයක් ලෙසය. එබැවින්ම එම රහසිගත යුද ක්‍රියාන්විතයකි.

අප නැවත 12වන සෙනසුරාදා අළුයම ලුනාව–අඟුලාන මෝයකට අසළට යමු.

එම ත්‍රී රෝද රථයේ සිිටියේ ඔබ යැයි සිතින් මවා ගන්න. බීමත් පොලිස් නිලධාරීන් ඔබ සහ ඔබේ දරුවන් හෝ මිතුරු මිතුරියක් ඉන් බස්සවා “කුඩු තියෙනවා නම් දීපල්ලා” යැයි වනචර ලෙස කෑගසා නියෝග කළ බව සිතා ගන්න.

‍‍මරු විකල් ගිනියම් උන්ඩ ගොදුරු සොයමිනිි.

කුඩු සොයා ඔබේ ගමන්මලු බීමත් පොලිස් නිලධාරීන් විසින් උඩි යටි කරන්නට පටන් ගනු ඔබට පෙනෙයි. “ රාළහාමි, ඕවයේ තියෙන්නේ අපේ ඇදුම්. ඇයි අදින්නේ” යැයි කීමට ඔබට අයිතියක් ඇත. “ ඇදුම්, මේ එළිවෙන ජාමේ ඇදුම් අරං එන්නේ හොර මගුළක ගිහින්ද?” යැයි සෙවල පෙරන හඩින් එක් බීමත් රාලහාමි කෙනෙක් ගොරවනු ඔබේ දෙසවනට දැන් ඇසේ. ඔබට යකා නගී. ඊළගට එන්නේ නීත්‍යනුකූල මැෂින් තුවක්කුවකින් පිටවන ගිිනියම් උණ්ඩයකි.

නිර්දෝශි ඔබ මඟ මරා දැමෙන්නේ එළිවෙන ජාමයේ හොර මගුළක ගිය පාඩයකු ලෙසය. ජඩ මාධ්‍යකරුවෝ මරා දැමුණු ඔබේ රෙද්ද උස්සා කොන්ඩම් සොයා ගන්නවා ඇත. ඔබ කොතරම් නිශාචර දැයි අසල්වැසියන්ගෙන් වොයිස් කට් ගන්නවා ඇත.

“ මහ රෑ වනචරකමේ ගිය ගොබිලා පොලිස් වෙඩ් පහරින් මරුට!” කියා ෂඩ්වර්ණ හෙඩිමකින් “උපන්රට” “ද්වීපය” ඈ පුවත්පත් සැරසෙනු ඇත. ඔබේ මරණය උනට සැප හෙඩිමකි.

නවතින්න. හුස්මක් ගන්න. දැස් පියා ගන්න. මෙය මට හෙට සිදුවිය නෙැහැකිදැයි අසාගන්න.

අමිත් කරුනාරත්න යනු මරා දැමීමට නියමිත ඔබ කවරකුගේ වුව එක් රෑපකායක් පමණි. ඔවුහු කලින් කළ වරින් වර විවිධ වේශයෙන් මරා දැමෙති.

සිව් වසරකට පෙර විසි හතර වියැති විජයකුමාර් සුලක්ෂන් සහ විසි තෙහැවිරිදි  නඩරාජා ගජන්, සුලක්ෂන්ගේ නිවසෙහි පැවැති මිතුරු සාදයකින් පසු යතුරු පැදියකින් යමින් සිටියේ ශිෂ්‍ය නේවාසිකාගාරයකටය.  දෙදෙනාම යාපනය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ යේ තෙවන වසරේ ශිෂ්‍යයන් වූ අතර දේශපාලන විද්‍යාව හා පුවත්පත් කලාව හදාරමින් සිටියහ.

ඒ ඉරණම් සහගත රාත්‍රිය2016 ඔක්තෝබර් 20 දාය. රාත්‍රී 11.30 ට පමණ එම මෙම ශිෂ්‍යයින් දෙදෙනා කොක්කුවිල් හි යාපනය–කේකේඑස් පාරේ කුලපිඩි හන්දිය පසුකරමින් සිටියේය. එනමුත් දෙදෙනාටම එම හන්දිය පසුකර යෑමට ඉඩ නොලැබුණි. හිසට සහ පපුවට වෙඩි තබා පොලීසිය මේ නිරදෝශී තරුණයින් දෙදෙනා මරා දැමුවෝය.

කුඩුුු වෙනුවට එදින කරළියට ආවේ මත්පැන්ය. මේ තරුණයින් දෙදෙනා මත්පැන් පානය කර යතුරු පැදියෙන් යත්දී තාප්පයක හැපී මිය ගියේයැයි පොලීසිය කී කතාව විය. අමිත් කරුනාරත්නට වෙඩි තැබුවේත් මැරෙන්ටමය. සුලක්ෂන් සහ ගජන්ට වෙඩි තැබුවේත් මැරෙන්ටමය. “බීමත් සිසුන් දෙදෙනා මරුට!” ජඩ මාධ්‍ය ලියනු ඇත.

එදා ද ඒ ඉරණමට අප ඹ්නෑම අයෙක් ගොදුරුවන්නට නොතිබුණිද? උන්ඩවලට සිංහල, දෙමළ මුස්ලිම් කියා වෙනසක් නැති බව අමතක කරන්න එපා!

ඛේදවාචකය වෙඩිලල්ම නොවේ. අමිත් කරුනාරත්නගේ නමවත් අප බොහෝ  නොදැන සිටීමයි. ජොර්ජ් ෆ්ලොඩ් වෙනුවෙන් නැගුණු විරෝධතාවයන්හි එක් සටන් පාඨයක් වූයේ  Say His Name! “ඔහුගේ නම කියන්න” යනුය. මන්ද යත් එවැනි නම් අභ්‍යන්තරයෙහි ඉතිහාසයක්ම අසාධාරණය කැටිව ඇති නිසාය.

අපේ යුගයේ ඛේදවාචකය නම් දුෂ්ඨ මිනිසුන්ගේ සැහැසිකම් නොව යහපත් මිනිසුන්ගේ භයානක නිහැඩියාවය.

ඒ මරා දැමුණූ පිඩිත අහිංසකයා වෙනුවෙන් ඒ කාශ්ඨක ගැහැණුන් හැර “ගලක් ගැසීමට” සිටියේ කව්ද?  ඒ මරා දැමුණු මිනිසා හෙට ඔබ විය හැකි බවට ලතෝනි දී බියවද්දන ආත්මයන් කොහි ගියේද?අපි වේලුපිල්ලේ කී දෙසතියේ කතාව සනාථ කරමින් නොසිටිමුද?

අපි යුතු පරිදිම රම්සි රසීක් වෙනුවෙන් ද ශස්තික සත්කුමාර වෙනුවෙන්ද පෙනී සිටිමු. සුලක්ෂන් සහ ගජන් වෙනුවෙන්ද පෙනී සිටියෙමු. එපමණක් නොව ජොර්ජ් ෆ්ලොයිඩ් වෙනුවෙන්ද.

කියන්න, අමිත් කරුනාරත්න අනෙනෙක් වූයේ කෙසේද කියා? ඒ කාෂ්ඨක ගැහැනුන් වෙනුවෙන් සුස්මක් හෙලුවේද අපතුරින් කී දෙනෙක් ද කියා. මහම අපරාධය ජීවිතයක් බිලි ගැනීම නොවේද? සිය ජීවිකාව සඳහා ඇති අයිතිය ප්‍රකාශණ නිදහසේ අයිතිය මෙන්ම මානව හිමිකමක් නොවේද? කෝ අමිත් කරුනාරත්න වෙනුවෙන් සාමූහික ප්‍රකාශනයක්? අපේ සාමූහික හෘද සාක්ෂිය තෝරා බේරා බෙදා දෙන එකක්ද?

පොලීසියේ ඡන්ද අඟුලානේ ඡන්දවලට වඩා ගණනින් වැඩිය. දේශපාලනෙඥයින් මෙකල දන්නේ අංක ගණිතය පමණක් බැවින් දේශබන්දුට තනි අතේ සෙල්ලම් කරන්නට ඉඩ දී ඔව්හු ඡන්ද හිඟාකෑමේ යෑම තේරුම් ගැනීම දුෂ්කර නැත.

“ඊළඟ අමිත් කරුනාරත්න ඔබද?” යන ඇත්ත ප්‍රශ්ණය අප සමාජයේ රාව ප්‍රතිරාව නංවමින්  උස්ව හඩ නොනැගුණේ අපෙන්ම අසා ගමු. එසේ නොවන සමාජයක ජීවත්වීමේ අයිතිය රැකෙනු ඇත්ද? පපුවට සෙමෙන් මුදුව තට්ටු කරන්න. පිළිතුර හමන සුළගේ ඇති.

යුක්තිය සහ සාධාරණත්වය උදෙසා සාමූහික හෘද සාක්ෂියක් ගොඩ නැගීම අමිත් කරුනාරත්නගේ සිටි සුනිල් ජයවර්ධන දක්වාත් සුලක්ෂන් සහ ගජන්ගේ සිට රම්සි රසීක් සහ හිිජාස් හිස්බුල්ලා දක්වාත්, නමක් නැති දිනපතා ලිංගික කෙළෙසීම්වලට සහ ප්‍රචන්ඩත්වයන්ට ලක්වන්නා වූ දැරිවියන් සහ ගැහැණුන් යනාදීන් විසින් අප හමුවේ තබන අභියෝගයයි.

අමිත් රත්නායක පළමුවැන්නාද අන්තිමයාද නොවන බව ඔබේ සිහින වල නොමැකෙන්ම කටු ගා ගන්න.

ඔවුන්ගේ වේදනාවද කෝපයද අකුරු කර විසුරුවමු! දාදු පෙතේ කොටුවෙන් කොටුව සහල් ඇට දෙගුණ කළාක් මෙන් සියයක්, දහසක්, ලක්ෂයක්, දශ ලක්ෂයක් කරා දොංකාර දෙන පරිදි ගයමු, ඒ අසම්මතයා වූ බොබ් මාලි මෙන් “ stand up! don’t give up the fight, get up, stand up!”

සටන් කරන අසම්මතයකුවීම මේ කාලයේ ආශ්වාදයකි.

ඒ හඩ උස්ව නැගීම පිනිස පළමු පියවර තැබූ ගැහැණුද පිරිමිද සමාජ මාධ්‍ය අවකාශයේ සරනු දුටුවෙමි. අගුලානේ ගිනි පුපුරු අකුරු කළ මෙවන් ඔබ සැමට බැති පුදමි.

ඉරට දැවිණි වෙරළත හිස සඳපාන

හිසට එගිනි ඇවිළිණි හළුකර හීන   

අතට වෙරළු නොව ගල්කැට ඇහිඳාන    

මවට වඳිමි අරගල කළ අඟුලාන !

– විමල් කැටිපෙආරච්චි

Sri Lanka Brief

 

Print Friendly, PDF & Email

Related posts

Leave a Comment