“ක්ෂුද්‍ර මූල්‍ය ණය” නිසා කාන්තාවන් ලිංගික හිංසනයට ලක්වෙලා!

Women are being sexually abused because of “micro finance loans”

විමුක්ති ද සිල්වා ලා වියා කැම්පසිනා සුළු ගොවි ව්‍යාපාරයේ ජාත්ත්‍යන්තර කමිටු සාමාජිකා

ක්ෂුද්‍ර මූල්‍ය ණය නිසා මේ වෙනකොට 204ක් පුද්ගලයෝ සියදිවි හානිකරගෙන තිබෙනවා කියලා අපිට වාර්තා වෙනවා. විශාල වාර්තාවීම් ප්‍රමානයක් තිබෙන්නේ උතුරු සහ උතුරු මැද පළාත් වලින්. මුලතිව් වගේ කලාපවල යුද්ධයෙන් අනාථභාවයට පත් වැන්දඹු කාන්තාවන් මේවා ගෙවාගන්නට බැරි වුණාම එන ලිංගික අඩත්තේටම්වලට, ලිංගික හිංසනයට ලක්වෙලා තිබෙනවා. මේ තත්ත්වයන් නිසා එන පීඩනය දරාගන්නට බැරුව සමහර කාන්තාවන් සියදිවි හානිකරගෙන තිබෙනවා. පොළොන්නරුව දිස්ත්‍රිකය අස්සේ මේ ණය ක්‍රමය දැන් හඳුන්වන්නේ ඇඳ ණය කියලා. ඒකෙන් හැඟවෙනවා මේ ව්‍යසනය දැන් සමාජය මත තිබෙන්නේ කුමනාකාර මට්ටමකද කියලා. ඉතිං අපි ණය ව්‍යසනයේ කතාවේ අභ්‍යන්ත්‍රරයට යමු.

කවුද මේ ණ‍ය අරගෙන තිබෙන්නේ? ඇයි මේ ණය අරගෙන තියෙන්නේ? මේක වැදගත් ප්‍රශ්නයක්. ග්‍රාමීය කාන්තාව කියන්නේ බොහෝම අමාරුවෙන් ජීවත්වෙන චරිතයක්. ඇය හිටගෙන ඉන්නේ අමාරු උහුලන්නට බැරි ආර්ථික කොන්දේසි රැසක් උඩ. නමුත් ලංකාවේ සමස්ත ආර්ථිකය ගත්තොත් ඔවුන් තමයි ඇත්තටම ගාර්මන්ට්වලට ගිහිං, රැකියා සඳහා විදෙස් ගතවෙලා මේ ආර්ථිකය දුවවන්නේ. එහෙම කාන්තාවට අද වෙනකොට ක්ෂුද්‍ර මූල්‍ය ණය බරත් දැනෙන්න පටන් අරගෙන. අද ඇය මේ ණය ව්‍යසනයේ කොටස්කාරියක් වෙලා. මේ වෙනකොට කාන්තාවෝ ලක්ෂ 24ක් මෙම ණය ක්‍රමයට හසුව ඉන්නවා. මේ අතරින් මම මුලින් කිව්වා වගේ 204ක් කාන්තාවෝ සියදිවි හානිකරගෙන තිබෙනවා, මේ ණය ගෙවාගන්නට බැරුව.

මේ ණය සංකල්පය එන්නේ මොහොමඩ් යූනුස් කියන බංගලිදේශ ආර්ථික විද්‍යාඥයාගෙන්. ඔහුගේ මේ සංකල්පය තමයි ග්‍රාමීන් බෑන්ක් කියලා කියන්නේ. මෙහිදී ප්‍රධාන වශයෙන් කාන්තාවන්ට තමයි ණය දෙන්නේ. එතකොට කණ්ඩායමකට තමයි ඒ ණය දෙන්නේ. ඔවුන් ණය ලබාගැනීමේදී වගේම ගෙවීමේදී ද එකිනෙකාට වගකිව යුතුයි. එල් ඕ එල් සී, බැලැක් ලංකා, බිම්පුත්, වගේ සමාගම් එකළොස්දාහත් පහළොස්දාහත් අතර ප්‍රමානයක් මේ වනවිට ලංකාව තුළ මේ ණය ක්‍රමය ක්‍රියාත්මක කරමින් ඉන්නවා. මෙයින් පේනවා ලංකාව තුළ මේක විශාල ආයෝජන කළාපයක්. මේ ඔස්සේ මේ සමාගම් විශාල ලාභයක් අතපත් කරගනිමින් ඉන්නවා. මේ ණය දෙන්නේ ස්‌වයං රැකියා අරමුණක් ඇතුව. දුප්පත්කම දුරලීම ප්‍රධාන අරමුණ කියලා තමයි මේ ක්‍රමය හඳුන්වා දුන් මහාචාර්‍යවරයාගේ අදහස. ඒත් කියන්න කනගාටුයි අද වෙනකොට දුප්පත්කම දරිද්‍රතාවය තවතවත් වැඩි කරන තත්තවයක් තමයි මේ ඔස්සේ සමාජය තුළ නිර්මානය වෙලා තිබෙන්නේ. මෙහිදී ලංකාවේ මේ ණය දෙන ආයතන කිසිම සොයා බැලීමක් නොකර තමයි ණය ලබා දෙන්නේ. ඒ නිසාම සමහර කාන්තාවන් ආයතන තුන හතරකින් මේ වෙනකොට ණය අරගෙන තිබෙනවා.

මෙහිදී ඔවුන් අත්සන් කරන ලියුම් ඉංග්‍රීසි භාෂාවෙන් තමයි මේ ආයතන ඔවුන්ට ලබා දෙන්නේ. ණය කොන්දේසි වගේ දේවල් ගැන පොලිය ගැන කිසි දෙයක් මේ කාන්තාවන් දන්නේ නැහැ. මේ වෙනකොට ලංකාවේ අයකරගන්න පුලුවන් පොලිය විදිහට රජය කියන්නේ 35%යි. නමුත් මෙම සමාගම් 220%ක වගේ ඉතාමත් ඉහළ පොලියක් මේ ණය සඳහා අයකරමින් ඉන්නවා. මේවා සති ණය විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ, එතකොට ඇත්තටම මේ කාන්තාවන්ට පොලිය ගැන අදහසක් නැහැ. ඇත්තටම තමන් ගත්ත ණයට පොලිය හැදෙන්නේ කොහොමද කියලා මේ කාන්තාවන් දන්නේ නැහැ ඒ නිසාම ඔවුන් එක ණයක් ගෙවාගන්න තවත් ආයතනයකින් ණය ගන්න මට්ටමට වැටිලා තියෙනවා. එනිසා මේක චක්‍රීය ක්‍රියාවලියක් බවට පත්වෙලා තියෙනවා මේ වෙනකොට.

මේක 2017 වෙනකොට තමයි විශාල අර්බූදයක් බවට සමාජයට පේන්න ගන්නේ. ඒක එහෙම වෙන්නේ උතුර සහ උතුරු මැද කාන්තාවන් විශාල වශයෙන් සියදිවි නසාගන්න තත්ත්වයට යෑමත් සමග. මෙහිදී මේ පළාත්වල කාන්තාවන් එකතුවෙලා රජයට කියා සිටිනවා තමන්ට තවදුරටත් මේ ණය ගෙවාගෙන යන්න ශක්තියක් නැහැ කියලා. මේ තත්ත්වය එක්ක තමයි එවක අගමැති රනිල් වික්‍රමසිංහ මේ දිස්ත්‍රික්ක පහක කාන්තාවන් විස්ස බැගින් හමුවෙලා, ඔවුන් සමග මේ ගැන සාකච්ඡා කරන්නේ. මේ කාලෙදීම, ඒ කියන්නේ 2018 දී ලංකාවට එනවා වොආන් පැබ්ලෝ කියලා ආර්ථික සහ සමාජීය විශේෂඥයෙක්. ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයෙක්. ඔහු මේ ගැටලුව ලංකාවේ තිබෙන විශේෂම ආර්ථික ප්‍රශ්නයක් විදිහට දකිනවා. ඒ සමග ඔහු අවධාරණය කරනවා මේ ප්‍රශ්නයට ඉක්මන් විසඳුම් අවශ්‍යයි, මේ කාන්තාවන් සවිබල ගන්වන්න නම් වහාම ලක්ෂයක් දක්වා වන ණය කපාදැමිය යුතුයි කියලා. ඒ වගේම ඊට ඉහළ ණය ගෙවීම සඳහා සහන කාලයක් ලබා දිය යුතුයි කියලා. ඒ සමග තමයි මහා බැංකුව දිස්ත්‍රික්ක 12ක 45139ක් දෙනාගේ ලක්ෂයට අඩු ණය කපාදමන්නට පියවර ගන්නේ. නමුත් ප්‍රශ්නය තවමත් එතනමයි. මේ තත්ත්වය අස්සේ අපි යෝජනා කරන්නේ කුමක් ද?

අපගේ යෝජනාව තමයි රාජ්‍ය බැංකු පරිදියේ ජීවත්වෙන මිනිස්සු වෙත ලං කරන්න කියන එක, ඔවුන්ට ස්ව ශක්තියෙන් නැඟිටින්න දිරියක් දෙන්න සංක්‍රීර්ණ නොවෙන ණය වැඩසටහන් සහ ව්‍යාපෘතීන් වලට යන්න රජය මැදිහත් විය යුතුයි කියලා. ඒ වගේම කාන්තාවන්ටම වෙන්වුණ බැංකුවක් නිර්මානය කරන්න කටයුතු කළ යුතුයි. අපිට පේනවා ගොවිතැනෙන් ජීවත් වෙන පුද්ගලයන් සහ පවුල් තමයි වැඩි වශයෙන් මේ ණය ව්‍යසනයේ ගොදුරු වෙලා තියෙන්නේ, ඒ නිසා අපිට තිරසර ගොවිතැනක් සඳහා යන ගමනක් අවශ්‍යයි. ඒ සඳහා අපගේ යෝජනාවනම් කාන්තා ගොවි සමූපාකාර ක්‍රමයක් ගොඩනැගිය යුතුයි. අවසානයේ අපි ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කළේ නැත්තං හැමදාම මේ මිනිස්සුන්ගේ ප්‍රශ්නය එකම තැන තිබේවි. එහෙම වුණොත් තමයි මේ ගිනි පොලී ණයකාරයන්ගේ ගොදුරු බවට මේ කාන්තාවන් පත්වෙන්නේ.

සටහන කේ. සංජීව

Social Sharing

Related posts