විල්සන් කරූට මාස්ක් නැති වුනේ කොවිඩ් නිසා නොවේ.!

කරු අයියා ලෙසින් ක්ෂේත‍්‍රයේ කවුරුත් හඳුනන විල්සන් කරුණාරත්න ව 2020 නොවැම්බර් 20 දින මුඛ ආවරණයක් පැළද නොසිටියේ යැයි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිටින සිදුවීමක් වාර්තා විය. රංජන් රාමනායක ගේ මුහුණු පොතේ ඔහු පොලිසිය තුළ සිටිනු ඡායාරූපයක්ද පළ වී තිබුණි. චිත‍්‍රපට 240 පමණ රගපෑ සටන් නළුවෙකි. ක්ෂේත‍්‍රයේ සටන් නළුවෙක් ලෙස 1974 දී ජීවන ගංගා චිත‍්‍රපටයෙන් සිනමාව පිවිසි ඔහු විසින් අවසන් වරට රගපෑමෙන් එක් වී ඇත්තේ රවී චන්ද්‍රසිරි විසින් අධ්‍යක්ෂණය කරන ලද “රාක්ෂා” නම් චිත‍්‍රපටයකයි.

මුඛ ආවරණයේ දේශපාලනය

මෙහි උත්ප‍්‍රාස අවස්ථාව වන්නේ ඡන්ද කාලයේ දී දේශපාලන පක්ෂ නියෝජිතයන් හා ආධාරකරුවන් විසින් විශාල වශයෙන් තමන්ගේ අපේක්ෂකයාගේ නම, අංකය, පක්ෂ ලාංඡනය සහිත මුඛ ආවරණ දහස් ගණනක් බෙදා දීමයි. ඡන්ද අවසන් නිසා දැන් ජනතාවට මුඛ ආවරණ මිළදී ගැනීමට සිදුව ඇති අතර, මුඛ ආවරණයන් නොමිලේ බෙදීම ද අවසන්ව ඇත. දැන් මුඛ ආවරණ නැත්තම් අත්අඩංගුවට පත් වීමට ජනතාවට සිදුවේ.

සුබසාධනය යනු කුමක්ද?

අද දින සිදුවූ මේ සිදුවීම නිසා සිහිවූයේ කැනේඩියානු අගමැතිවරයායි. කොවිඩ් ඇරඹුණු අවදියේ ඔහු ජනතාව වෙතට පැමිණ පැවසුවේ ඔබ ආරක්ෂා ලෙස නිවෙසට වී සිටින්න. අපි ඔබ බලාගන්නම් යනුයි. ඉන් අනතුරුව ඔහු සතිපතා ජනතාව හමුවට පැමිණ තත්ත්වය ගැන වෘත්තීමය පැහැදිලි කිරීමට කර ජනතාවගේ සුබසාධනය ගැන දැනුම් දුන්නේය. තවත් අවස්ථාවක ලංකාවේ පොලිස් නිලධාරියෙක් මුඛ ආවරණයක් නැති වසයක පුද්ගලයෙකුට තමන්ගේ මුදලින් මුඛ ආවරණයක් ගෙනැවිත් දුන්නේය. සමහර සමාජයන්හී පොදු ස්ථානයන් හී සිට මුඛ ආවරණ නැත්තන්ට මුඛ ආවරණ බෙදා දෙනු ලබයි.

එයට කියන්නේ සමාජ ආරක්ෂණයයි. සමාජ සුබ සාධනයයි. පොදු ජන සේවයයි. සංවේදී නායකයන් සිටියේ නම් මේ අවස්ථාවේ දී සිදුවිය යුත්තේ අනෙක් පැත්තයි. ගෙදර හිටපන් නැත්තං මැරියං, මාස්ක් දාපන් නැත්නම් මැරියන්, එය හරියට අණ පිළිපැද්දේ නැත්නම් මරණය යනුවෙන් කීමට වඩා වෙනස් නැත.

සෞඛ්‍ය නීතිරීති

විල්සන් කරූ මුඛ ආවරණ පැළද නොසිටීම ඔහුගේ, ඔහු අවට සිටින්නන්ගේ ද සෞඛ්‍යයට සුදුසු නොවේ. මේ අවස්ථාවේ දී එහි සිටි නිලධාරීන්ට කිරීමට ඇත්තේ ඉතා සරළ කි‍්‍රයාවන් කිහිපයකි. ඒ ගැන සඳහන් කිරීම ලිපියේ අරමුණ නොවේ.

විල්සන් කරූට උපදෙස් දීම

සමහරු මේ ගැන වේදනාවෙන්, කෝපයෙන් අදහස් දක්වයි. සමහරු විල්සන් කරුට ආර්ථික පාලනය කිරීම ගැන උපදෙස් ලබාදෙයි. සමහරු සෞඛ්‍ය උපදෙස් ලබාදෙයි. නමුත් විල්සන්ගේ කරූගේ තත්ත්වය බරපතල වන්නේ ඊට වඩා කලින් ය. විල්සන් කරූලා ගේ සිනමා ජීවිතය ගැන නොදත් අය විසින් එවැනි දේ පැවසීම රටේ කලාකරුවන්ගේ ජීවිත වල ඛේදවාචකය තත්ත්වය තවත් පැහැදිලි කරයි.

විල්සන් කරූලා චිත‍්‍රපට කළේ කෙසේද?

විල්සන් කරූලා කළේ වීරයා පෝෂණය කිරීයි. වීරයාගෙන් ගුටි කෑමයි. ඇලෙක්සැන්ඩර් ප‍්‍රනාන්දු හා පියදාස ගුණසේකර වැනි දුෂ්ඨයන් ඒ තත්ත්වය අතික‍්‍රමණය කළ ද විල්සන්ලාට එයින් ගොඩ ඒමක් නොවීය. ඔවුන්ට කාම චිත‍්‍රපට වලත්, සිල්ලර චිත‍්‍රපට වලත් රූප රාමු පිරවීමට සිදුවිය. ඔවුන්ගේ නිසි ආදායමක් නොලැබෙයි.

ඔවුන්ට කතා කළ විට ඔවුන් චිත‍්‍රපට සඳහා රගපෑමට යයි. ඔවුන් ජීවිත අවදානම් සහගත රංගනයන් හී යෙදෙයි. නමුත් නිසි ගෙවීමක් සිදු නොකරයි. ඒ ද සොච්චමකි. සමහර විට එය ලැබෙන්නේ කඩින් කඩය. මුදල පූර්ණව ලබාගැනීමට ඔවුන්ට තවත් සටහන් දීමට සිදුවේ.

විජය කුමාරණතුංග මුදල් නොගෙන රගපෑමේ යෙදී සිටි කතාවට අනුව නම් ඔහු නළුවෙකු පමණක්ව සිට ජීවත් වූවේ නම් මේ කාලය වන විට චන්ද්‍රිකාට හොරගොල්ල වලව්ව ද අහිමිවනු ඇත. සටන් නළුවෙකු වුවද නළුවෙකු ලෙස ජීවිත රක්ෂණයක්, නිසි කොන්ත‍්‍රාත්තුවකට යටත්ව මුදල් ලබාදීමක් හෝ අවම වැටුපක් නැත.

මා දන්නා තරමින් ඔවුන් රගපාන්නේ ඒ සඳහා දීර්ඝ කාලයක් තිස්සේ රගපෑමෙන් පසුව එයින් මිදී ජීවත්වීමට අසීරු නිසා මිස මූල්‍ය බලාපොරොත්තු නිසා නොවේ. කට්ටියක් සෙට් වී චිත‍්‍රපටයක් කරන විට කරූලා එතැනට යන්නේ අවසානයේ තමන්ගේ වෘත්තීය ගැලපෙන දීමනා ගන්නට නොවේ. කීයක් හරි අරගෙන ගෙදර එන්නය. එසේත් නොමැති නම් කට්ටිය සමග සෙට් වී ජීවිතයේ සතුටක් දැකීම සඳහායි. මේ නිසා කරූගේ මාස්ක් එක නැතිවීමට වඩා කරූලාගේ ජීවිත නැතිවී ඇත්තේ කෙසේ ද කියා පුළුල් ලෙස බලා විසදුම් සෙවීම වැදගත්ය.

රංජන්ගේ සහ විදුර ගේ මැදිහත්වීම 

පළමුවෙනි කෝවිඩ් රැල්ල අවස්ථාවේ දී රංජන් රාමනායක විසින් ලොරියක පටවන ලද වියළි ආහාර බෙදද්දී කිරුපන ප‍්‍රදේශයේ දී රාති‍්‍රයක ඒවා ලබාගැනීමට පැමිණි අවස්ථාවේ දීයි. එහිදී විල්සන් කරු සරමක් ඇඳ, උඩුකය නිරුවත්ව, මුඛ ආවරණ පැළද නොසිටි, රංජන් හා සංවාදයක ද යෙදී සිටියේය. ඒ අවස්ථාවේ දී බොහෝ දෙනෙක් එලෙස ආහාර බෙදීම ගැන රංජන්ට දොස් පැවරීමක් සිදු කර තිබිණි. කාලෙකින් හමුවූ ඒ හමුව සිනහවෙන් පිරි එකක් විය. නමුත් ඛේදවාචකය එසේමය.

පොල් ප‍්‍රනාන්දු ද, එවැනිම අසීරු තත්ත්වයක සිටින බව ඔහුට ආධාර කිරීමට ඔහු සොයා ගිය වීඩියෝවක සඳහන් විය. විශේෂයෙන්ම වෛෘද්ධ කලාකරුවන් කෝවිඩ් නිසා නොව කොහෙමත් අසරණ තත්ත්වයක සිටියි. පසුගිය දින රෝගී තත්ත්වයක් නිසා පාදයක් අහිමිව සිටි නළුවෙකු වූ ගාමිණී අම්බලන්ගොඩ හමුවීමට ගිය සංස්කෘතික රාජ්‍ය ඇමති විදුර වික‍්‍රමනායක විසින් කෘතී‍්‍රම පාදයක් ලබාදී, මූල්‍ය ආධාරයක් ද සිදු කර තිබුණි. මේ අයුරින් කි‍්‍රයා කිරිමෙන් හා තාවකාලිකව පෞද්ගලිකව පිළිතුරු සැපයීමෙන් කිසිවක් වෙනස් නොවේ.

කලාකරුවන්ගේ ඇද වැටීම හා ඔවුන් රැක ගැනීම

ඔවුන් මෙවැනි තත්ත්වයකට පත්වන්නේ ඇයි? ඊට වගකිව යුත්තේ කව්ද? විල්සන් කරූ පමණක් නොව ඊටත් වඩා ඉහළින් වැජබුණු කලාකරුවන් ද ඊටත් වඩා අසරණ තත්ත්වයන්ට පත්ව සිටි අවස්ථාවන් අප දැක ඇත්තෙමු. ලංකාවේ සම්මානලාභී නළු නිළියන්, අධ්‍යක්ෂකවරුන්, කාර්මික ශිල්පීන් සහ අනෙකුත් බොහෝ ක්ෂේත‍්‍රවල ශිල්පීන් බොහෝ දෙනෙක් මේ තත්ත්වයට පත් වූ කතාවන් අප අසා ඇත. ආනන්ද සමරකෝන් සහ සුනිල් ශාන්ත සම්බන්ධයෙන් වූ ඛේදජනක කතාවන් අප අසා ඇත.

ජේෂ්ඨ කලාකරුවන් හා රාජ්‍යපාක්ෂික කලාකරුවන්

කිසිවෙකුත් නොදන්නා කරුණ වන්නේ ජේෂ්ඨ කලාකරුවන්ගේ සුබසාධනයට මෑත කාලයේ රජය මැදහත්වූයේ ඔවුන් විසින් සහ ඔවුන්ගේ සමීපතමයන් විසින් රජයට වරින් වර සිදුකරන ලද බලපෑම් හේතුවෙන් බවයි. නම් සඳහන් කිරීමට අකමැති ඒ ජේෂ්ඨ කලාකරුවන්ගේ ජීවිත රැක ගැනීමට රාජ්‍ය මැදහත්වීම් සිදුවුවත්, ඔවුන් රැක බලාගන්නා ලද්දේ දරුවන්, පවුලේ ඥාතීන් සහ සමහර අවස්ථාවන්හිදී ඒ ගැන දැන සිටි තවත් කලාකරුවන් පිරිසගේ මැදිහත්වීම් නිසයි.

බොහෝවිට දේශපාලන සම්බන්ධතා ඇති කලාකරුවන් විසින් තමන්ගේ කටයුතු කාටත් හොරෙන් හීන්සීරුවේ කරගනු ලබයි. තමන්ගේ දේශපාලනය සම්බන්ධ නොවූ කලාකරුවන්ට රජයන් උදව් කළ අවස්ථා ඇතත් ඒවා අතිශයින් දුර්වලය. රාජ්‍ය පක්ෂපාතිත්වය හරහා තම ජීවිතයට අවශ්‍ය මුදල් සොයා ගත් කලාකරුවන් ද සිටිති.

කලාකරුවන් කඩේ යැවීම  

කලාකරුවන් තමන්ගේ දක්ෂතාවයන් වලින් ජනතාව ගේ ආනන්දය උදෙසා විවිධ අයුරින් කි‍්‍රයාත්මක වේ. බොහෝ රටවල රජයන් විසින් ඔහුගේ දුබලතාවයන් මතු වන අවස්ථාවන්හිදී ඔවුන් වෙනුවෙන් යම් සුබසාධන කි‍්‍රයාවලියක් සකස් කර තිබේ. නමුත් ලංකාවේ දැනට එවැනි කිසිඳු ක‍්‍රමවේදයක් කලාකරුවන් වෙනුවෙන් සකස් කර නැත.

බලයට ගැනීමට දේශපාලන වේදිකාවන්ට නළු නිළියන් රැස් කරන අවස්ථාවන්හිදී දේශපාලකයන් විවිධ පොරොන්දු දී ඔවුන්ගේ ජනපි‍්‍රයත්වයෙන් ප‍්‍රයෝජනය ලබා ගනියි. කොළඹ විශාල හෝටලයක විශාල සාදයක් පවත්වා කන්න බොන්න දීමෙන් එය අවසන් වේ. නමුත් බලය පත් වූ පසු ඒ සියල්ල අමතක කරනු ලබයි. එමෙන්ම රාජ්‍ය උණුසුම ලබන කලාකරුවන් විසින් තමන්ගේ පැවැත්ම ක‍්‍රමානුකූලවත්, උපක‍්‍රමශිලීවත් සකස් කරගනු ලබයි.

බොහෝ දෙනෙක් මේ සම්බන්ධයෙන් විවෘත ආර්ථීකයට දොස් පවරයි. නමුත් 1994 සිට පැමිණි, විශේෂයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පාක්ෂික රජයන් හා ඒ හා සම්බන්ධ රජයන් පැවසුවේ එය වෙනස් කරන බවයි. එය පවසාත් දැන් වසර 26 කි.

කලාකරුවන් රැක ගැනීම යුතුකමක් නොව අයිතියක්

කලාකරුවන් රජය විසින් රැකගත යුතුයයි පැවසීම අනුකම්පාව නිසා හෝ උපකාරයක් නිසා හෝ සිදුකරන්නක් නොවේ. එය ඔවුන්ගේ අයිතියකි. අයිතියක් වන්නේ කෙසේද? කලාකරුවන් විසින් නිර්මාණය කරනු ලබන කුමක් හෝ දෙයක් තුළින් රජය හා ව්‍යාපාරිකයන් විසින් විශාල වශයෙන් ආදායම් ලබයි. ව්‍යාපාරිකයන් හා පාලකයන් විශාල කීර්ති නාමයක් ලබයි.

නාට්‍ය කලාව අත්හැරියත්, සිනමාව, ටෙලිනාට්‍ය, ගුවන් විදුලිය වැඩසටහන් සඳහා බදු අය කරනු ලබයි. ලාබ ලභයි. එම ආදායම රජයට ලැබෙයි. ඒ අදායම අයිති කලාකරුවන්ටය. ඒ නිසා කලාකරුවන් වෙනුවෙන් යම් සුබසාධන කාර්යයක් කිරීමට රජයට විශාල වගකීමක් තිබේ. එවැනි සහනයක් ලබාගැනීමට සියළු කලාකරුවන්ට අයිතියක් තිබේ.

සිංහල රජකාලේ කලාකරුවන්

ජනාධිපතිවරයා පත්වූ අවස්ථාවේ දීත්, දිවුරුම් දුන් අවස්ථාවේ දීත්, ඉන් පසුව විවිධ අවස්ථාවන් වලදීත් පැවසුවේ මේ රජය පූර්ණ සිංහල රජයක් බවයි. එය එසේ නම් සිංහල ආණ්ඩුවට රජ දවස අන්දරේට කළා මෙන්, වෙනත් කලාකරුවන්ට සැලකූවායැයි සඳහන් වන පරිදි ගම්වර හා ඇතෙක් බරට වස්තුව ලබාදිය යුතුව තිබේ.  ඔවුන් රැක ගැනීම වෙනුවෙන් බොහෝ දේ කළ යුතු තිබේ. මේ වචන හා ප‍්‍රකාශ කෙතරම් හරසුන් දැයි පැහැදිලි කිරීම අවශ්‍ය නැත.

කලාකරුවන්ගේ මීළග ඛේදවාචකය

පසුගිය කාලයේ අසන්නට ලැබුණු සමහර ප‍්‍රවෘත්ති වලින් කියවුනේ් තරුණ ටෙලි නාට්‍ය නිළියන් ගණිකා නිවාස වල සිට අසුවූ බවයි. මේ අයට කලාකරුවන් යැයි පැවසීමට සමහරු අකමැතිවුවත් පොදු ව්‍යාපාරය එය නිසා එය භාවිතා කරමි. මේ මතු පිට තත්ත්වයක් පමණි. තත්ත්වය ඉතා බැ?රුම් බව තව ඉදිරියේ දී මතු වනු ඇත. තරුණ නිළියන් දැඩි ආශාවකින් රූපවාහිනියට, සිනමාවට පිවිසීමේ දැඩි ආශාවකින් පැමිණෙන අතර ඔවුන්ගෙන් එසේ පැමිණෙන බොහෝ අයගේ අවසානය වන්නේ කාගේ හෝ සුරතලිකටක්වීමයි. ඒ ඛේදවාචකය කරූගේ මුඛ ආවරණ ඛේදවාචකයට වඩා භයානයකය.

සුදේශ් ද සිල්වා

Social Sharing
නවතම විශේෂාංග