වතු ජනතාවගේ ප්‍රශ්නයට එකම විසඳුම ඔවුන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමයි!

solution to the problem of the plantation community is to provide education

චාමර නානායක්කාර

ප්‍රාදේශීය සභා මන්ත්‍රී මොණරාගල

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ප්‍රදේශීය දේශපාලකයෙක් විදිහට විසි වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීම දිහා බලන්නේ කොහොමද?

විසිවෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මට තිබුණ ප්‍රධාන ප්‍රශ්න දෙකක් තමයි ද්විත්ව පුරවැසිභාවය හා අධිකරණ ස්වාධීනත්වය සම්බන්ධ කාරණය. මෙතනදි ආණ්ඩු පස්සේ මන්ත්‍රීවරයෙක් විදිහට ආණ්ඩුව විවේචනය කිරීමක් නෙමෙයි මං කරන්නේ. නමුත් ජනාධිපතිවරණයෙදි අපට ඡන්දය ලබා දීපු, අපි මේ තත්ත්වයට පත් කරපු, ඒ ඒ බුද්ධි මට්ටම් වල ඉන්න මිනිස්සුන්ගේ අදහස උකහා ගන්න ඕනෑ කියන එක තමයි මගේ අදහස.

විශේෂයෙන්ම ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් විශාල විවේචනයක් තියෙනවා. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ඒක අයින් කරා. නැවතත් 20 වෙනි ව්‍යස්ථා සංශෝධනය හරහා මේක ඇතුල් කිරීම තුළ විදේශීය සම්භවයක් තියෙන පුද්ගලයන්ට ලංකාවේ රාජ්‍ය පාලනයට ඇතුළු වෙන්න පුළුවන්. මේ තුළ අපට වර්තමානයේ ඇතිවෙලා තියෙන ඇමරිකන් චීන බලපෑමට වඩා එහා ගිය බලපෑමක් ඇති වෙන්න පුළුවන් කියන එක තමයි අපේ අදහස.

මේ තත්ත්වය තුළ ලංකාවේ සහ තවත් රටක පදිංචිය තියෙන (උදාහරණයක් ලෙස ඇමරිකාවේ වෙන්න පුළුවන්, ස්විට්සර්ලන්තයේ වෙන්න පුළුවන්, කැනඩාවේ වෙන්න පුළුවන්) කෙනෙකුට මේ රටේ රාජ්‍ය පාලනයට අවතීරණ වෙන්න මේ හරහා පුලුවන් වෙනවා. එතකොට මේ අය කටයුතු කරන්නේ ඒ ඒ රටවල න්‍යාය පත්‍ර වලට අනුකූලව. මම හිතන්නේ ඒකෙන් අපට විශාල හානියක් සිද්ධ වෙනවා. ඒත් එක්කම කොමිසන් සභා හරහා ඒ ඇති කරපු ගැටළු. විශේෂයෙන් මේකෙ ස්වාධීනත්වය තිබ්බනම් අපට ඉතා වැදගත් වෙනවා මේ වෙලාවේ.

මොකද පහුගිය 2015ට කලින් තිබ්බ අපේ ආණ්ඩුවට තිබ්බ ප්‍රධාන චෝදනාව තමයි, අපි අධිකරණයට බලපෑම් ඇති කරා කියන කාරනේ. එතකොට මේකේ තියෙන විදියට ජනාධිපතිවරයාට ඒ බලය යෑම තුළ මං හිතන්නේ එක ගැටලුකාරී තත්වයක්. ඒක බොහෝ දෙනෙකුගේ විවේචනයට භාජනය වෙලා තියෙනවා. එනිසා අපේ අදහස මේ සියල්ලම නිරවුල්වෙන පූර්ණ ව්‍යවස්ථාවක් නිර්මාණය විය යුතුයි කියන එක.

ඔබතුමා විශ්වාස කරනවද එහෙම ව්‍යවස්ථාවක් හැදෙයි කියලා. එහෙම ව්‍යවස්ථාවක් හැදෙනවා නං ඒකට ඇතුළත් විය යුත්තේ මොනවාද?

මං හිතන්නේ අපි රජයක් විදියට ජනතාවගේ හදගැස්ම තේරුම් ගන්න ඕනෑ. මම නියෝජනය කරන්නේ ලංකා සමසමාජ පක්ෂය. ඒකෙන් ආණ්ඩු පක්ෂයක නියෝජනය කරනවා වගේම පල්ලෙහා මට්ටමේ ඉන්න මහජන නියෝජිතයා වෙනවා. එතකොට අපිට දැනෙන දේ මං හිතන්නේ අනිත් අයටත් එක්ක දැනෙන්න ඕනෑ. මේ කොවිඩ් තත්වයන් එක්ක ලබන අවුරුද්දේ මුල ආරම්භ කරන සංවර්ධන වැඩසටහන් එකම එක අංගයක් විදියට මං හිතන්නේ ජනතාව බලාපොරොත්තු වෙන පූර්ණ ව්‍යවස්ථාවක් නිර්මාණය කරයි කියන කාරණය ඉටු වෙන්න අවශ්‍යයි. මං හිතන්නේ ඊළඟ මැතිවරණයකට යනකොට මේ පූර්ණ ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය රට තුළ ප්‍රධානම කාරණයක් විදියට මතුවෙනවා. මේක මේ රටේ ජනාධිපතිතුමා තේරුම් අරගෙන පූර්ණ ව්‍යවස්ථාවක් සෑදීම ඉතාමත් සෞඛ්‍ය සම්පන්න ය කියන එක තමා අපි විශ්වාස කරන්නේ.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් විදියට සහ විශේෂයෙන්ම මොනරාගල වැනි දුෂ්කර ප්‍රදේශයක් නියෝජනය කරන කෙනෙක් විදිහට මේ රටේ පවතින ආර්ථික අර්බූදය ගමට දැනෙනවද?

විශේෂයෙන් මොණරාගල දිස්ත්‍රික්කයේ වෙල්ලස්සේ ප්‍රධාන ආදායම් මාර්ගය කෘෂිකර්මය. කර්මාන්තශාලා විදිහට පැල්වත්ත සීනි සමාගම, සෙවනගල සීනි සමාගම තියෙනවා, ඒ වගේම පුද්ගලික අංශය මැදිහත් වෙලා සියඹලාණ්ඩුව සීනි කම්හලක් ආරම්භ කරලා තියෙනවා, ඒත් එක්කම ඩෝල් ලංකා සමාගමේ කෙසෙල් ව්‍යාපෘතියක් තියෙනවා. ඔවුන්ගේ වෑකඩ, කුඩාඔය, රන්දම, ෆාර්ම්ස් තියනවා. ඒ වගේ ප්‍රධාන ආදායම් මාර්ග වලට අමතරව ගොඩක් අය හේන් ගොවිතැන් වලින් තමයි ජීවිකාව සරි කර ගන්නේ. මේ අයට තියෙන ප්‍රධානම ගැටලුව තමයි නිෂ්පාදනයට නිසි මිලක් නැති ප්‍රශ්නය.

උදාහරණයක් විදියට මතක් කරන්න ඕනේ පහුගිය කන්නයේ දී වට්ටක්කා ගොවියන් විශාල අසරණතාවයකට පත්වුනා. මේක මේ රජයට විතරක් මූණ දෙන්න සිද්ධ වුණ ගැටලුවක් නෙමෙයි. විශාල කාලයක් තිස්සේ අපේ රටේ තියෙන ප්‍රධාන ගැටලුව තමයි ගොවියාගේ නිෂ්පාදන වලට නිසි මිලක් නැති එක. මං හිතන්නේ කොවිඩ් කාලය තුළත් අපේ ගොවිතැන් කටයුතු කරගෙන යනවා. මේ වෙනකොට වැස්ස පටන් ගෙන තියෙනවා. මේ සෑම කෙනෙක්ම තමන්ගේ ගොවිතැන් කටයුතු ආරම්භ කරල තියෙනවා. එතකොට අපට පුලුවන්නම් මේ අයට බලාපොරොත්තුවක් දෙන්න රජයක් විදියට අස්වැන්න මිලට ගන්න වැඩපිළිවෙළක් හදනවා කියලා ඒක ලොකු දෙයක්.

අද හාල් මිලදී ගැනීමේදී ගොවියාට සාධාරණයක් වෙලා නෑ. අපි කොළඹට ගිහිල්ලා වට්ටක්කා කිලෝ එකක මිල බලද්දි මෙහෙ ගොවියන්ගෙන් මිලදීගන්න මිලත් එක්ක ලොකු වෙනසක් තියෙනවා. මඤ්ඤොක්කා ගත්තත්, ඉරිඟු ගත්තත් මේ සෑම දේකම ලාභ හූරගෙන කන්නේ අතරමැදියා. එතකොට අපට පුළුවන් නම් මේ ප්‍රශ්නයට විසඳුමක් දෙන්න ඒක වටිනවා. මේක මේ වර්තමානයේ ඇතිවෙච්ච ගැටළුවක් නෙමෙයි. මේක කාලයක් තිස්සේ තිබෙන ප්‍රශ්නයක්.

දැන් තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ජීවන වියදම ඉහළ යාම. අපි දැක්කා පහුගිය කාලේ එක දිගටම හාල් වගේ දේවල් වලට පාලන මිලක් හඳුන්වාදෙනවා. ගැසට් ගහනවා. නමුත් වෙළඳපොළට ගියාම පාලන මිලක් දක්නට ලැබෙන්නේ නෑ..

හාල් ප්‍රශ්නයට ආණ්ඩුව මීට වඩා මැදිහත්වීමක් කළ යුතුයි කියන එක තමයි අපේ අදහස. මොකද අපේ තියෙන ප්‍රධානම ආයතන ටික මේ වන විට කඩා වැටිලා. අපට තියෙනවා වී අලෙවි මණ්ඩලය. මේ සම්බන්ධයෙන් තියෙන දායකත්වය මදි. ඒත් එක්කම සමුපකාර ව්‍යාපාරය. මේ රටේ සමුපකාර ව්‍යාපාරය හරහා පහුගිය කාල විශාල වශයෙන් වී මිලදී ගැනීම් කළා. හැබැයි මේ වන විට සමුපකාර ව්‍යාපාරය මේකට දායකත්වයක් නෑ. වී අලෙවි මණ්ඩලයේ දායකත්වය නෑ. ඒත් එක්කම කුඩා පරිමාණ වී මෝල් හිමියන් මේකට ලබා දෙන දායකත්වය මදි වෙලා තියෙනවා. මේ සියලු කාරණාත් එක්ක සමුපකාර ව්‍යාපාරය හා වී අලවි මණ්ඩලයේ දායකත්වය නැති වීම තුළ කුඩා පරිමාණ වී මෝල් හිමියන්ගේ දායකත්වය නැති වීම තුළ මහා පරිමාණ වී මෝල් හිමියන් මේ සියලුම වී තොග අරගෙන විශාල මිලක් දෙනවා රටට.

ඉතින් මේක විශාල ඒකාධිකාරයක්. මේකට අපට දෙන්න පුළුවන් එකම විසඳුම තමයි වී අලෙවි මන්ඩලයේ තියෙන ගබඩා ටික පිළිවෙලක් කරල රජයෙන් වැඩපිළිවෙළක් හදන්න එක. හැම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයක වගේ සමුපකාර සමිති තියනවා. මේ සමිති ටික අපට බල ගන්න පුලුවන්නම් මං හිතන්නේ මේකට අපිට හොඳ විසඳුමක් ලබාගන්න පුළුවන්. ඔය කාරණා ටික නොකරන තාක්කල්, හාල් අපට මේ වගේ කාලවල් වලදී අධික මිලකට කන්න වෙනවා. දැන් රජයක් විදිහට ඒ ගැන අවධානය යොමුකරලා තියෙනවා.

මං දැක්කා පහුගිය කාලේ ජනාධිපතිතුමා ලොකු උත්සාහයක් ගත්තා මේ ප්‍රශ්නයට මැදිහත් වෙන්න. මොකද ඒ වනවිට සියලු තොග තිබ්බ ප්‍රධාන ව්‍යාපාරිකයන් අතේ. මේ කන්නේ තුළ සියලු නිෂ්පාදන ටික ලබා ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කරන්න එතුමාගේ වැඩපිළිවෙළක් තියෙනවා. පහුගිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු වල දිගටම මේගැන සාකච්ඡා කළා. ඒ නිසා මං හිතන්නේ අපට පුළුවන් එන කන්නෙන් පස්සේ යම් විසඳුමකට යන්න.

ඔබ නියෝජනය කරන ප්‍රදේශයේ විශාල වශයෙන් වතු තියෙනවා. ඉතාමත් දිළිඳු ජීවන තත්ත්වයක් තමයි ඒ ජනතාවට තියෙන්නේ. ඔවුන් මේ තත්ත්වයෙන් ඉහලට ගන්න පුළුවන් කොහොමද? ඒ සඳහා ආණ්ඩුවේ වැඩපිළිවෙළක් තියෙනවද?

වතු කම්කරුවන්ගේ ප්‍රශ්න ගැන කතා කරද්දි ඉතාමත් සංකීර්ණ ප්‍රශ්නයක්. මොණරාගල දිස්ත්‍රික්කයේ වතු ජනතාව විසිපන්දාහක් පමණ සිටිනවා. මේ දිස්ත්‍රික්කයේ මොණරාගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය, බිබිල ප්‍රදේශීය සභා බල ප්‍රදේශය, ඒත් එක්කම බඩල්කුඹුර ඉහළ කඳුකරයේ මේ කියන ප්‍රදේශවල තමා කම්කරුවන් ජීවත් වෙන්නේ. මේ වතුකම්කරුවන්ගේ අර්බුදය 1940 ගණන් වල ඉඳන් මේ දක්වා පවතින ඒකාකාරී ගැටලුවක් විදිහට තමයි මම දකින්නේ.

මේ අයගේ ජීවන තත්ත්වය සම්බන්ධයෙන් අපි සෑහීමකට පත් වෙලා නෑ කියන එක පිළිගන්නවා. මේකට ප්‍රධානම ගැටලුව වෙලා තියෙන්නේ, එකක් මේ අයගේ අධ්‍යාපන මට්ටමේ තියෙන දුර්වලතාවය. හොඳම උදාහරණය තමයි මොණරාගල ආශ්‍රිතව ඉන්න වතු කම්කරුවන්ගේ සමහර දරුවෝ ඉතාමත් අමාරුවෙන් ඉගෙනගෙන විවිධ ක්ෂේත්‍ර වලට යොමු වෙලා තියෙනවා. ඒ සමග ඔවුන් වත්තෙන් අයින් වෙලා තියෙනවා. වත්තෙන් අයින් වෙලා ගිහිල්ලා ඉතාමත්ම දියුණු මට්ටමක ජීවත් වෙනවා.

වතුකරය විනාශ වෙන්න එක හේතුවක් තමයි වතු ජනතාවට හොඳ වැටුපක් නැතිකම. මේ අයට ලැබෙන්නේ සොච්චම් වැටුපක්. තවත් කාරණයක් මේ අයගේ තියෙන වියදම් රටාව. උදාහරණ විදියට ගත්තොත් මේ අය තවමත් ඉන්නේ ලයින් කාමර වල. ලයින් කාමර වලින් එහාට ගිය අය ඉන්නේ ලයින් කාමර ඉස්සරහම හොඳ ගෙයක් හදාගෙන. හැබැයි ඒ ගෙදර හදන්න පෝල් පැලයක් මිරිස් ගහක් හදන්න බැහැ. පොඩි ඉඩක ජීවත් වෙන්නේ. එතකොට හැමදේම එයාලට සල්ලිවලට ගන්න වෙලා තියෙනවා. නාගරික මට්ටමක් තමයි අපට පෙන්නුම් කරන්නේ. මේ දේවල් එක්ක මේ වියදම් රටාව ගැටළුවක් වෙලා තියෙනවා.

අනිත් එක තමයි විශාල වශයෙන් මත්පැන් වලට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා තියෙනවා වර්තමාන පරම්පරාව. මේ තුළ සමාජ ගැටලු නිර්මාණය වෙලා තියෙනවා. විශේෂයෙන්ම මත්පැන් ව්‍යාපාරිකයාට පොතක් දාල තමයි මත්පැන් මිලදී ගන්නේ. එතකොට සම්පූර්ණ වැටුප දෙන්නෙ මත්පැන් ව්‍යාපාරිකයන්ට. මේක විශාල ප්‍රශ්නයක්. ගෙදර ජීවත් වෙන්න විදිහක් නෑ, ආහාර මිලදී ගන්න සල්ලි මදි, ළමයින්ට අධ්‍යාපනයට වියදම් කරන්න සල්ලි මදි, ගෙයක් දොරක් හදාගන්න කියල හිතන්නවත් බෑ. එතකොට මේ අය හැමදාම එකම තැන. සමහර තැන්වල සෞඛ්‍ය ගැටලු පැන නැගලා තියෙනවා. මේවා කාලයක් තිස්සේ එන ගැටළු. සමහර අයට ගෙවල් හදලා දුන්නත් මාස හය හතක් ඇතුළත ඒවා විකුණලා ආයේ ලයින් කාමර වලට එනවා. එහෙම තත්ත්වයක් තියෙන්නේ. ඒකට බලපාන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මේ අයගේ අධ්‍යාපන මට්ටම.

හොඳටම අධ්‍යාපනය ලබපු අය කොහොම හරි වත්තෙන් කැඩිලා එළියට යනවා. මැද පන්තියේ අධ්‍යාපන ලබන කට්ටිය කිරි කපන්න යන්නෙත් නෑ, තේ දළු නෙලන යන්නෙත් නෑ, මේ අය තමයි මේ ප්‍රදේශයේ කඩවල් වල වැඩ කටයුතු කරන්නේ. ඒ ආයතන වල වැඩ කරන්නේ ඉතාමත් සුළු වැටුපකට. ඒ අයගේ ආර්ථිකය වර්ධනය වෙන්නෙත් නැහැ. මේ අයට වෘත්තියකුත් නැහැ. 95% ක්ම කම්කරුවන් විදිහට තමයි ශ්‍රම බලකායට දායකත්වය ලබාදෙන්නේ. මේ වතුවලින් සේවය දෙන 95% ක්ම කම්කරුවන්, රබර් කිරි කපන්න දන්නවා, තේ දලු නෙළන්න දන්නවා. තවත් කොටසක් ඉගෙනගෙන එළියට ගිහිල්ලා තමන්ගේ ජීවිතේ හදාගන්නවා.

මේ අතරින් දක්ෂතා නැති අය බලලා අපි වැඩ පිළිවෙළක් සකස් කරන්න ඕනි. මේ අයට වෘත්තිමය වශයෙන් ජීවත් වෙන්න පුළුවන් වැඩපිළිවෙළක්. හැම රජයකින්ම පර්චස් 6 ගානේ බෙදුවත්, ව්‍යාපෘති ඇවිත් වැසිකිළි හැදුවත් එන්න එන්න මේ ජනගහනය වැඩි වෙනවා. මේ අයගේ මේ ප්‍රශ්නය එතනමයි. ඒ නිසා මම හිතන්නේ මේකට එකම විසඳුම තමයි මේ අයගේ අධ්‍යාපන මට්ටම වැඩි කරලා වෘත්තීයමය පැත්තෙන් වැඩපිළිවෙළක් හදන්න එක.

Related posts