ශක්තිකට නිදහස: ICCPR පනතේ අවභාවිතාවට වග කියන්නේ කවුද?

Shakthika Sathkumara international covenant on civil and political rights act sri lanka

ෆේස් බුක් පිටුවේ කෙටි කතාවක් පළ කිරීම හේතු කොට ගෙන අත්අඩංගුවට ගත් පළමු ශ්‍රී ලාංකික පුරවැසියා වන ශක්තික සත්කුමාර නිදොස් කොට නිදහස් කිරීමට ඊයේ (09) දින පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය කටයුතු කර ඇත. අදාළ චෝදනාව පවත්වාගෙන යාමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම එයට හේතුවයි.

ශක්තික සත්කුමාර ලේඛකයෙකි. වර්ෂ 2010 සහ 2014 විශිෂ්ටතම කෙටි කතා කරුවාට හිමි යෞවන සම්මානය දින ගත්තේද මේ ශක්තික සත්කුමාරයි. ඒ ආකාරයේ විවිධ සම්මානයන්ට පාත්‍ර වූ කෙටිකතා කරුවකු වන ශක්තිකට කෙටි කතාවක් පළ කිරීම හේතු කොට ගෙන දින 126ක පමණ කාලයක් රක්ෂිත බන්ධනාගාරගත වීමටත් දිග්ගැස්සුනු නඩුවකට සම්බන්ධ වීමටත් සිදු විය. ශක්තික අත්අඩංගුවට ගැනුණේ 2019 අප්‍රේල් මස 01 වන දින දීය. 2019 අගෝස්තු මස 05 වන දින කුරුණෑගල මහාධීකරණය විසින් ඔහුට ඇප ලබා දෙන ලදී. ඔහු විසින් රචනා කරන ලද අර්ධ නම් කෙටි කතාව ඔහු සිය මුහුණු පොතේ පළ කිරී‍ම ඔහුව අත්අඩංගුවට ගැනීමට හේතුව වන අතර එහි ඇතුළත් කරුණු  2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත හෙවත් සුප්‍රසිද්ධ ICCPR පනතේ 3(1) වගන්තිය යටතේ ආගමික වෛරය සඳහා පෙළඹවීමක් බවත් එමෙන්ම දණ්ඩ නීති සංග්‍රහයේ 291 ආ වගන්තිය යටතේ ආගමික හැගීම් ඇවිස්සීමට හා ආගමික හැගීම්වලට නින්දා කිරීමට ද්වේශ සහගතව කටයුුතු කිරීමක් බවත් පොලීසිය විසින් ගරු අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි.

මෙහිදී වඩාත් විමසිය යුත්තේ 2007 අංක 56 දරණ ICCPR පනතයි. ශක්තික සත්කුමාරට මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබා ගැනීමට මෙම පනත යටතේ නොහැකි අතර ඇප ලබා ගත හැකි වන්නේ මහාධිකරණයෙනි. ICCPR පනත යටතේ මෙම නඩුව පැවරීම හේතු කොට ගෙනම ශක්තිකට දින 126ක් බන්ධනාගාරගත වීමට සිදු විය.  මෙම නඩුව නීතිපති උපදෙස් නොමැති වීම නිසා මෙතෙක් කල් ප්‍රමාද වූ අතර ඊයේ දිනයේ එනම් 09 වන දින නීතිපති උපදෙස් ලැබී තිබුණේ මෙම නඩුව පවත්වාගෙන යාමට නඩු නිමිත්තක් නොමැති බවයි. ඒ අනුව ශක්තික නිදොස් කොට නිදහස් කිරීමට පොල්ගහවෙල මහේස්ත්‍රාත්වරිය කටයුතු කරන ලදී.

2007 අංක 56 දරණ ICCPR පනතේ භාවිතාව

ජාත්‍යන්තර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියට ශ්‍රී ලංකාව වර්ෂ 1980 ජූනි මස 11 වන දින එකගත්වය ලබා දෙයි. ඒ අනුව ශ්‍රී ලංකාවද මෙම සම්මුතියේ පාර්ශවයක් වන අතර මෙම සම්මුතිය ලෝකය පුරා භාෂණයේ හා ප්‍රකාශණයේ නිදහස ඇතුළු සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පුළුල් කල සහ සිය රාජ්‍යයන් තුළත් එම අයිතිවාසිකම් පුළුල් කිරීමට පාර්ශවකාර රාජ්‍යයන්ට බල කෙරුනු සම්මුතියකි. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පුළුල් කල සම්මුතියකට අදාළ පනතක් භාෂණයේ හා ප්‍රකාශණයේ නිදහස සීමා කිරීමට භාවිතා කරන්නේ කෙසේද යන්න විමසා බැලිය යුතු ප්‍රශ්නයකි. මේ ආකාරයේ පවතින නීතින් අවභාවිතා කිරීම ශ්‍රී ලංකාවේ සුලභ වුවත් මානවයකු වීම නිසාම හිමි වන මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමට එකී මිනිස් අයිතිවාසිකම් තවදුරටත් පුළුල් හා සුරක්ෂිත කිරීමේ අරමුණින් පැනවූ පනතක් භාවිතා කිරීම ගැඹුරින් සලකා බැලිය යුතුය. අධිකරණයේ පවතින ප්‍රභූන්ගේ නඩු කටයුතු පිළිබඳව විමර්ශනය කිරීමට ජනාධිපති කොමිසන් පත් කරන ජනාධිපතිවරයා හරි නම් සිදු කල යුත්තේ මෙවන් කරුණු පිළිබඳ කොමිසමක් පත් කිරීමය.

ICCPR පනතේ පූර්විකාවේ දැක්වෙන්නේ ICCPR ජාත්‍යන්තර සම්මුතියේ සඳහන් බොහොමයක් කරුණු වලට ශ්‍රී ලංකාව සිය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් හා වෙනත් නීති වලින් ව්‍යවස්ථාමය පිළිගැනීමක් ලබා දී ඇති බවයි. ඉහත කී පනත පනවන්නේ මෙතෙක් ප්‍රමාණවත් ව්‍යවස්ථාමය පිළිගැනීමක් ලබා දී නැති ජාත්‍යන්තර සම්මුතියේ සඳහන් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම්වලට උචිත නීති සම්පාදනය කිරීම සඳහා බවත් පනතේ පූර්විකාව කියයි. එසේ නම් මෙම පනත භාවිතා කල යුත්තේ මෙම පනතේ පූර්විකාවේ පවසන පරිදිම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් මේ දක්වා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ලෙස සහතික කර ඇති මූලික අයිතිවාසිකම් සීමා නොවන පරිදිය. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික වී ඇති සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් මෙම පනත මගින් උල්ලංඝනය වන්නේ නම් මෙම පනතින් ජාත්‍යන්තර සම්මුතිය අපේක්ෂා කරන කරුණ ඉටු නොවේ.

ශක්තිකට පොලීසිය විසින් චෝදනා ගොනු කරන්නේ ICCPR පනතේ 3 (1) වන්තිය යටතේය. එකී වගන්තියට අනුව කිසිම තැනැත්තකු යුද්ධය පැතිරවීම හෝ වෙනස් ලෙස සැලකීමට, එදිරිවාදිකම්වලට හෝ ප්‍රචණ්ඩ ක්‍රියා වලට යොමු කිරීම සංයුක්ත වන, ජාතික, වාර්ගික හෝ ආගමික වෛරය සඳහා පෙළඹවීම් නොකල යුතු බව දක්වයි. වගන්තිය බැලූ කල බොහාම නිවැරදිය. ප්‍රශස්තය. ප්‍රශ්නය ඇත්තේ භාවිතාවේය. මෙම වගන්තිය භාවිතා කරන්නේ කිසිදු ජාතික ආගමික වෛරයකට පෙළඹවීමක් නොවන නමුත් යම් ආගමික සංස්ථාවක් විවේචනය වන අදහසක් හෝ වෙනත් සිය නිදහස් අදහසක් ප්‍රකාශ කරන අයෙක් අත්අඩංගුවට ගෙන ඔහුගේ හෝ ඇයගේ මානව නිදහස සීමා කර ඔහුව හිංසනයට පත් කිරීමට නම් එය සම්පූර්ණයෙන් මෙම පනත අවභාවිතා කිරීමකි. මෙම පනත යටතේ වන තවත් සුප්‍රසිද්ධ නඩුවක් කොළඹ මහාධිකරණයේ විභාග වන අතර ඒ රම්සි රසීක් නම් ෆේස්බුක් ක්‍රියාකාරිකයා සම්බන්ධ නඩුවයි. ශ්‍රී ලංකාවේ මෙම පනත භාවිතා කිරීම පිළිබඳ සිය කණස්සල්ල ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය ද ශ්‍රී ලංකාව සම්බන්ධ සිය වාර්තාවෙන් පළ කොට තිබුණි.

ශක්තිකගේ සිදුවීම ගනිමු. ශක්තික ඔහුගේ කෙටි කතාව සිය ෆේස් බුක් පිටුවේ පළ කරන්නේ 2019 පෙබරවාරි මසයි. ඔහුව අත්අඩංගුවට ගනු ලබන්නේ 2019 අප්‍රේල් මස 01 වන දිනයි. ශක්තිකගේ කෙටි කතාව පෙබරවාරියේ පළ කිරීම නිසා කිසියම් හෝ ආගමික ප්‍රචණ්ඩ ක්‍රියාවක් හෝ අවම වශයෙන් සුළු හෝ නොසන්සුන්තාවයක් 2019 අප්‍රේල් වන තෙක් ඇති වී නොතිබුණි. ශක්තිකගේ කෙටි කතාව බොහෝ පිරිසක් කියවා තිබුණි. නමුත් කෙටි කතාවෙන් හොඳටම රිදී ඇත්තේ රිදිය යුුතු පිරිසකට බව ශක්තිකට එරෙහි පැමිණිල්ලෙන් පෙනේ. පොල්ගහවෙල පොලිස් ස්ථානාධිපතිවරයා සිහි බුද්ධියක් ඇති වැදගත් ස්වාධීන රජයේ නිලධාරියෙක් නම් ඔහුට මෙය වටහා ගතහැකිව තිබුණු අතර ICCPR පනත මේ සම්බන්ධයෙන් භාවිතා නොකල යුතුව තිබුණි. මෙහි දී සිදු වූයේ ස්ථානාධිපතිවරයාට මෙය නොදැනීම නොවේ. චීවරධාරීන්ගේ ආධිපත්‍යයකට පොලීසිය යට වීමයි. භික්ෂු ආධිපත්‍යයට රාජ්‍ය ආයතන යටත් වීම කලක පටන් සිදු වන දෙයක් වන අතර එහි මුල් තැන ශ්‍රී ලංකා පොලීසියට හිමි වෙයි. ඒවා නැවත නැවතත් ප්‍රකට කරන්නේ මෙවන් සිදු වීම්ය. පොලිස් ස්ථානයන් හා භික්ෂූන් අතර සම්බන්ධය මේ කාලයේ ඉතාම ප්‍රභලය. පොලීසිය ස්වාධීන කිරීමේ සටන් පාඨය හැම විටම දේශපාලඥයන් ඉලක්ක වි තිබුණත් පොලීසිය වෙනත් අධිපතිවාදී ආගමික හා වෙනත් සංස්ථා වලින්ද ස්වාධීන කර ගැනීම යුගයේ අවශ්‍යතාවයක්.

පැමිණිලිකරුවෝ

ශක්තිකගේ නඩුවේ පැමිණිලිකරුවන් වන්නේ බෞද්ධ භික්ෂූන් පිරිසක් යැයි කියන චීවර ධාරීන් පිරිසකි. විවේචනයට ඔරොත්තු දෙන බුද්ධ දර්ශනය මත පදනම් වූවන්ට නම් මෙවන් වෛරී පැමිණිලි ඉදිරිපත් කළ නොහැක. බෞද්ධ තොරතුරු කේන්ද්‍රය යනුවෙන් භීක්ෂූන් පිරිසක් යැයි කියා ගන්නා පිරිසක් පවත්වාගෙන යන ආයතනයක්ද පොලිස්පතිට මේ සම්බන්ධව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි. ඔවුන් පැමිණිල්ල යොමු කල ලිපියේ ශීර්ෂයේ දැක්වේ. ශක්තික මෙන්ම තවත් බොහෝ පිරිසකට එරෙහිව මේ ආකාරයට පැමිණිලි ගොනු කිරීම් මොවුන් සිදු කල අතර සුවිශේෂි කරුණ වන්නේ ඔවුන් විසින් පුද්ගලයා අත්අඩංගුවට ගත යුතු පනත කුමක්ද යන්න සම්බන්ධයෙන්ද පොලීසියට උපදෙස් දීමයි. සාමාන්‍ය මිනිසෙක් පොලීසියට ගොස් පැමිණිල්ලක් ගොනු කරද්දී චූදිත අත්අඩංගුවට ගත යුතු නීති තත්වයන් හෝ තමාට සහන ලබා ගත හැකි නීති තත්වයන් සම්බන්ධයෙන් පොලීසියට උපදෙස් දෙන්නට ගියහොත් ඇති වන තත්වය කුමක් විය හැකිද?

ICCPR පනත යටතේ නඩු පැවරීමකදී ඉක්මනින් ක්‍රියාත්මක වීමේ හැකියාවක් නැද්ද?

ශ්‍රී ලංකාවේ නීතියේ පාලනය සම්බන්ධ ගැටළු අතර ඇති ප්‍රධාන ගැටළුවකි නඩු ප්‍රමාදය. මෙය ජාතික ගැටළුවක් ලෙස සලකා විසදුම් සෙවීම කාලීන අවශ්‍යතාවයක් වී තිබේ. නීතිපති දෙපාර්තමේන්තුවේ ඇති දරුණු මානව සම්පත්හි හිග කම හා ඔවුන්ට සලකා බැලිය යුතු නඩු ගොඩ ගැසීම හේතු කොට ගෙන නීතිපති උපදෙස් ප්‍රමාද වීම සිදු වෙයි. නීති කෂේත්‍රයේ නියැලෙන්නන් මෙම තත්වය හොඳින්ම දනී. නීතිපති උපදෙස් ප්‍රමාද වීමෙන් වඩාත් අසාධාරණයට ලක් වන්නේ ශක්තික වැනි අසාධාරණ ලෙස නඩු පැවරූවන්ය. නීතිපති වරයා නඩු පැවරීමට නිමිත්තක් නොමැති බව දන්වද්දී වසර දෙකකට ආසන්න කලක් ගත වි ඇත. ඒ කාලය තුළදී මාස 4ක් වැනි කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමකටද ශක්තික ලක් වි ඇත. අසාධාරණ නඩු පැවරීමකින් ශක්තිකගේ මානව හිමිකම් බරපතළ ලෙස උල්ලංඝනය වී ඇත. එකී මාස 4 ක කාලය තුළ ශක්තිකට සිදුවුනු මානසික ශාරීරික පීඩාව ඝණනය කරන්නේ කවුරුන්ද? ශ්‍රී ලංකාවේ රිමාන්ඩ් බන්ධනාගාරයන්හි තත්වය ඉතාම ශෝචනීයයි. පසුගිය වසරේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සිදු කල පර්යේෂනයක් ඒ බව මනාව සහතික කරයි. අසාධාරණ නඩු පැවරීමකින් රක්ෂිත බණ්ධනාගාරගත කිරීමක් ශක්තිකට හිමි වී ඇත.

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සුරක්ෂීත කිරීම උදෙසා වූ ජාත්‍යන්තර සම්මුතියකට අදාළ පනතකින් මෙවන් තත්වයක් ඇති වීම ජාත්‍යන්තර වශයෙන්ද ලංකාවේ කීර්තිය ප්‍රශ්නගත කරයි. භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස සීමා කරන මෙවන් නීතීන් පාවිච්චි කල යුත්තේ ඉතාමත් පරෙස්සමින්ය. පොලිස් ස්ථානාධිපතිවරයකුට, ආගමික සංස්ථාවලට මිනිසුන්ගේ පුද්ගලික නිදහස සමග සෙල්ලම් කිරීමට ඉඩ දිය යුතු නැත.

මෙම තත්වය අවම කර ගැනීමට නම් නඩු කටයුතු ඉක්මන් කිරීම සිදු කල යුතුය. විශේෂයෙන් මෙම ICCPR පනත ජාත්‍යන්තර සම්මුතියක් සමග බැඳී පවතින නිසාත් එකී සම්මුතියේ අරමුණ මිනිසුන්ගේ පුද්ගලික නිදහස තහවුරු කිරීම නිසාත් මෙම පනත යටතේ අසාධාරණ ලෙස නඩු පවරා ලංකාවේ නීති පද්ධතියේ ඇති තාක්ෂණික ගැටළුවක් වන නඩු ප්‍රමාදය භාවිතා කර අත්තනෝමතික ලෙස පුරවැසියන්ගේ පුද්ගලික නිදහස සීමා කිරීමට මෙය භාවිතා කරන නිසාත් මෙම පනත යටතේ නඩු පැවරීම් ඉක්මන් කිරීමේ ක්‍රමවේදයකට රජය යොමු විය යුතුය. නීතිපති උපදෙස ඉතා ඉක්මනින් ලබා ගෙන එය හැකි ඉක්මනින් ගරු අධිකරණයට ඉදිරිපත් කිරීමේ හැකියාවක් තිබුණිනම් ශක්තිකට බොහෝ කාලයක් රිමාන්ඩ් වී වසර දෙකකට ආසන්න කාලයක් නඩුවක පැටලී සිටීමට සිදු වන්නේ නැත.

දැන් මේ සිදුවීම සම්බන්ධයෙන් වගකිව යුත්තෙක් නැත. එම නිසා ශක්තිකගේ නිදහස ලැබීමෙන් මෙම සටන අත් නොහැරිය යුතුව ඇත. සටන ඇත්තේ දැන්ය.ඒ ශක්තිකගේ සිදුවීම උදාහරණයක් ලෙස ගෙන ICCPR පනත අවභාවිතා කිරීම වැළැක්වීම වෙනුවෙන් සටන් කිරීමය. වහා එය ආරම්භ කල යුතුය.

නීතිඥ දුලාන් දසනායක

Social Sharing

Related posts