තොරතුරු පනතේ උදව්වෙන් පාරක් හදාගත්ත දයාරත්නගේ කතාව!

right to information commission rti act sri lanka

ආර්.ඩී. දයාරත්න මහතා ජීවත් වෙන්නෙ බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇළ ප්‍රදේශයේ. ඔහු දවසෙ කුලියක් මලියක් කරගෙන ජීවත් වන අහිංසක අසරණ ගම්වැසියෙක්. අබාධිතයෙක්. ඔහු ඔහුගේ නිවසට සහ තවත් නිවෙස් පොකුරක් ඉලක්ක කර මාර්ගයක් තබාගන්න ඉඩ ඉල්ලනවා, ඒ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයෙන්, ඇත්තටම ඔහු ඉල්ලන්නේ පිඹුරු ගත මාර්ගයක්. නැති පාරක් නෙවෙයි ඔහු ඉල්ලන්නේ. ඔහුට පයින් යන්න අපහසුයි, ගෙදරටම වාහනයක යන්න තියෙයිනම් කොච්චර දෙයක් ද? ගම් ප්ලෑනේ එතනින් පාරක් තියෙනවා, ඔහු ඒක තමයි ඉල්ලන්නේ. 2015 ඉදලා ඔහු ලියුම් ලියනවා. ඔහුම කියන ආකාරයට ඔහු රුපියල් හතලිස් අට දහසක පමණ මුදලක් වියදම් කරලා තියෙනවා මේ ලියුම් ලිවිල්ලට විතරක්. දයාරත්න මහත්තයාගේ දවසේ වැඩ කුලියත් එක්ක බලද්දි ඒක අති විශාල මුදලක්. ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට, පරිපාලන අමාත්‍යංශයට, ඉඩම් අමාත්‍යංශයට, හිටපු ඉඩම් අමාත්‍යවරයාට, හිටපු පරිපාලන අමාත්‍යවරයාට, ජනාධිපතිට, අගමැතිට මේ සෑම ආයතනයකටම සෑම කෙනෙකුටම ලියපු ලියුම් මිටියක් ඔහු අතේ තියෙනවා. ඉහළ ආයතනවලින් කියලා තියෙන්නෙත් මෙම පාර ලබා දෙන්න කියලා. ග්‍රාම නිලධාරීටත් ලිඛිතව ලිපියක් නිකුත් කරලා තියෙනවා.

මේ අවසරය එක දවසින් දෙන්න පුළුවන්. නමුත් වසර පහක් ඔහු මේකට රස්තියාදු වෙනවා. අහන අහන හැම කෙනෙක්ම දයාරත්න මහත්තයාට කිව්වෙත් පිඹුරේ තියෙනවා නම් පාර ගන්න පුළුවන් කියලා. දිස්ත්‍රික් ලේකම්ගේ නියෝග ලැබුණත්, හාලිඇල හිටපු ප්‍රාදේශීය ලේකම් මේ වැඩේ කරලා දුන්නෙ නැහැ කියලායි දයාරත්න මහත්තයාගේ චෝදනාව. ප්‍රාදේශීය ලේකම්තුමිය දිස්ත්‍රික් ලේකම්ට සහ ඉඩම් කොමසාරිස්ට ලිපි දෙකක් ලියලා තියෙනවා. මේ පාර ලබා දුන්නා කියලා. නමුත් ඒ කාර්යය ඉටු වෙලා නැහැ. ඒක බොරුවක් බව ඔප්පුවෙන්නේ තොරතුරු දැනගැනීමේ පනත යටතේ අයදුම් කර අදාළ විස්තර ලබා ගැනීම නිසා.  තමන්ව මේ විදිහට නොමග යැව්වේ ඇයි කියලා දයාරත්න මහත්තයා ප්‍රශ්න කරන්නේ වේදනාවෙන්.

දයාරත්න මහතාගේ නිවසට පහළින් ජීවත්වෙන පවුලක් මේ මාර්ගය ලබාගන්නට යෑමේදී බොහෝ අකුල් හෙළනවා, ඒ ඔවුන්ගේ තේ වගාවෙන් යම් සුළු කොටසක් පාරට යටවෙන නිසා. මේ නිසාම මේ මිනිසුන්ගේ කියුම් බහට ප්‍රාදේශීය ලේකම් යටවුණා කියලා තමයි කියන්නේ. ඒත් දයාරත්න මහත්තයා ඉල්ලන්නේ පිඹුරේ තිබෙන මාර්ගයක්. ඔහු ඔහුගේ අසනීප තත්ත්වයත් තියාගෙන, අතේ මුදලුත් වියදම් කරගෙන ගමන් වාර ගණනාවක් ඇවිදිනවා. මේ වෙනුවෙන්. දිසාපති ලිපි ලේඛන මගින් පාර ලබා දෙන්න කියලා දැනුම් දීලාත් ප්‍රාදේශීය ලේකම්තුමිය මේ වැඩේ මග ඇරලා තියෙන්නෙ, පාර තමන්ගෙ සාක්කුවෙන් යනවා වගේ කියලා තමයි දයාරත්න මහත්තයා කියන්නේ. ඇය මේ පාර ලබාදීම ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ “පාරවල් දෙකක් දැනටත් තියෙන නිසා තවත් පාරක් දෙන්න බැහැ කියන පදනමෙන්. එහෙත් ඔහු ප්‍රශ්න කරන්නේ පාරවල් තියෙනවා නම් මෙතරම් කරදර වෙලා තව පාරක් ඉල්ලන්නේ මොකටද කියලයි.

ප්‍රාදේශී ලේකම්වරිය මෙලෙස පාර ලබානොදී එක එක දේවල් කියනකොට ඔහු ඌව ශක්ති පදනමේ අනුග්‍රහයෙන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ තොරතුරු ලබාදෙන්නැයි ඉල්ලීම් කරනවා, එහිදී අදාළ රාජ්‍ය නිළධාරිනිය කියන්නේ මොකද්ද? “ එවැනි පනතක් නැහැ, ඔයාල හිතන හිතන විදියට ඒ තොරතුරු දෙන්න බැහැ.” කියමින් එම ඉල්ලීම් පවා ප්‍රතික්ෂේප කරන්න ඇය කටයුතු කරනවා. ඔහු මේ පාර ඉල්ලන්නේ තමන් වෙනුවෙන් විතරක් නෙමෙයි, දැනට ඒ ආසන්නයේ ජීවත්වන පවුල් අටක් සහ තේ වතුවල වැඩකරන මිනිසුන් ඇතුළු හැමෝටම යන්න එන්න තමයි ඔහු මේ පිඹුරුගත මාර්ගය ඉල්ලන්නෙ. කොහොමහරි දීර්ඝ අරගලයකින් පස්සේ පාර කැපෙනවා. මේ මිනිසා ජීවත්වෙන නිවසට අපි ගියා. ඔහු දැන් ජීවත්වෙන්නේ රටක් රාජ්‍යක් ලැබුණා වගේ සතුටින්. ඔහුගේ ඊළඟ අරමුණ මේ මාර්ගය කොන්ක්‍රීට් කිරීම. ඔහුගේ ධෛරය නිසා ඒක ඔහුට බැරිවෙන එකක් නැහැ. ඔහු කියන්නේ ඌව ශක්ති පදනම, රයිට් ටු ලයිෆ් මානව හිමිකම් ආයතනය සහ තොරතුරු දැනගැනීමේ පනත නිසා ඔහුට මේ මාර්ගය ලබාගන්න හැකිවුණා කියලා.

-යශෝධරා වීරසිංහ-

Social Sharing

Related posts