ඝාතනයට වසර විස්සයි සැකකරු තවමත් නිදැල්ලේ!

කළුතර මහාධිකරණයේ නඩු අංකය එච්.සී.570/13 යටතේ විභාග වන නඩුව ලෝකයේ දීර්ඝතම අපරාධ නඩු විභාගය වියහැකිය. එය අවුරුදු 20ක් ගතවීත් තවමත් විභාග වෙමින් තිබෙයි. මෙම නඩුවට අදාළ සිද්ධිය කුමක්ද? පයාගල පොලිස් අත්අඩංගුවේදී අමානුෂික වදහිංසා මතින් ඝාතනය කරනු ලැබූ ලසන්ත ජගත් කුමාරට යුක්තිය ඉටුකරගැනීම අරඹයා මෙම නඩුව තවමත් ඇසෙමින් තිබෙයි. මෙම නඩුවට අදාළ ප්‍රධාන චූදිතයා කවුද? ඔහු එවක පයියාගල පොලීසියේ අපරාධ අංශය භාරව සිටි ස්ථානාධිපතිවරයා ය. නම වල්පොලගෙදර ප්‍රසන්න වික්‍රමරත්න.

world's longest torture case police torture in sri lanka amitha priyanthi

ලසන්ත ජගත් කුමාරගේ සොහොයුරිය අමිතා ප්‍රියන්ති මහත්මිය

2000 අවුරුද්දේ ජුනි 12 වැනිදා ප්‍රසන්න වික්‍රමරත්න ප්‍රමුඛ පයියාගල පොලිස් කණ්ඩායම ලසන්තව අත්අඩංගුවට ගන්නේ ඔහු හමුදාවෙන් පැන ආ පුද්ගලයෙක් යැයි කියමින් ය. ලසන්ත ජගත් කුමාර හමුදා සාමාජිකයෙක් බව සැබෑවක් වුණාට පයියාගල පොලීසිය ඔහුව හමුදාවට භාර දෙන්නේ නැත. නියමිත ක්‍රමයටනම් ඔහු හමුදාවට භාර දිය යුතුය. නමුත් එය සිදුවී නැත. පයාගල ප්‍රදේශයේ සිදුවූ සුළු සුළු අපරාධ රැසකට මොහු සම්බන්ධ බව ප්‍රකාශ කරමින් මෙහිදී ලසන්තව අත් අඩංගුවේ රඳවා ගන්නට පයියාගල පොලිස් ලොක්කා කටයුතු කර ඇත. අත් අඩංගුවට ගෙන දින 5කට පසුව ජුනි 17 කළු‍තර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලසන්තට පයියාගල පොලීසිය ගොනුකරන අපරාධ හේතුව වන්නේ, සැකකරුවන් හඳුනා නොගත් සුළු‍ වැරදි කීපයකට අදාළ පැමිණිලි සම්බන්ධයෙන් වැරදිකරු බව සඳහන් කරමින් ය. ඒ වනවිට ලසන්තට පොලීසිය අමානුෂික ලෙස පහරදී දසවද දී අවසන් ය. අධිකරණයට ඉදිරිපත් කරනවිටත් ඔහුගේ එක අතක් කැඩී හමෙන් එල්ලෙමින් තිබුණ බව ඔහුගේ සොහොයුරිය අමිතා ප්‍රියන්ති අපහට පැවසුවා ය. මෙහිදී ලසන්ත අධිකරණයට ඉදිරිපත් කරන්නේ බොරු අධිකරණ වෛද්‍ය වාර්තාවක් ද සමගින් ය.

වෛද්‍ය නිලධාරී ඩබ් ආර් පියසෝම පොලීසියට අවශ්‍ය වාර්තාව ලියාදුන් වෛද්‍ය නිළධාරියා ය. එම වෛද්‍ය වාර්තාවේ සඳහන් වන්නේ ලසන්තගේ ශරීරයේ සුළු සීරීම් 5ක් පමණක් ඇති බවය. එහෙත් ඒ වනවිටත් ලසන්තගේ ශරීරාභ්‍යන්ත්‍රර ඉන්ද්‍රයන්වලට හානී සිදුවී තිබෙන්නට ඇත. මෙම හොර වාර්තා ලියාදුන් පියසෝමට වෛද්‍ය සභාවේ ලියාපදිංචිය වසර 3 කට අත්හිටුවනු ලැබිණි. ජුනි 18 වෙනිදා කොළඹ මැගසින් බන්ධනාගාරයට අධිකරණ නියෝග මත ගෙන එන ලසන්ත ජුනි මස 20 වෙනිදා දෙනෙත් පියාගන්නේ ය. මෙම මරණය ගැන පරීක්ෂා කරන අධිකරණ වෛද්‍යවරයා කියනවා අභ්‍යන්තර තුවාල විසි දෙකක් තිබුණ බව. දැන් ඔබට පයියාගල පොලීසියේ හැසිරීම ගැන සිතාගන්නට පුලුවන් වනු ඇත.

මෙම සිද්ධියේ ප්‍රධාන චූදිතයා වල්පොලගෙදර ප්‍රසන්න වික්‍රමරත්න මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත්තත් ඔහුට ඉක්මනින්ම ඇප ලැබෙනවා. ඇප ලැබුණ දා සිට ඔහු තවමත් අතුරුදන්. මෙම පොලිස් නිළධාරියාගේ බිරිඳ අධිකරණයට ප්‍රකාශ කර ඇත්තේ මේ පුද්ගලයා ලංකාව හැරගොස් ඇති බවයි. එහෙත් අවුරුදු 20කට වැඩි කාලයක් සිය සොහොයුරා වෙනුවෙන් යුක්තිය ඉල්ලා උසාවි ගානේ රස්තියාදුවෙන අමිතා ප්‍රියන්ති මහත්මියනම් කියන්නේ මේ පුද්ගලයා ලංකාවේ කොහේ හෝ සැඟව සුවසේ කල් ගෙවන බවය. ඒ පොලිස් අනුග්‍රහය යටතේ ය. ‘ නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥවරයා මේ පුද්ගලයාට ඇප දෙන වේලාවේදී පැමිණිල්ල වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ, හර්ෂන නානායක්කාර කියන නීතිඥවරයා තමයි පෙනී ඉඳල තියෙන්නෙ රජය වෙනුවෙන්, එයා මේ සම්බන්ධයෙන් මුකුත් කියලා නැහැ. අනිත් නඩුවලදීත් වලදීත් එහෙමයි.  එකම නීතියක් නම් මේ පුද්ගලයාට විතරක් සුවිශේෂී අවස්ථාවක් ලබා දුන්නේ කොහොමද? ඒකෙන් පේන්නේ හැමෝම මොහුට උදව් කළ තියෙනවා මේ නඩුවෙන් පැනයන්න. පසුගිය කාලයක මට ආරංචියක් ලැබුණා මේ පුද්ගලයා කිහිප සැරයක්ම ඔහුගේ රැකියාව ඉල්ලලා ඇපිල් ඉදිරිපත් කරලා තියනවා කියලා. ඉතින් රැකියාව ඉල්ලලා ඇපිල් කරනවා නම් ඒ පුද්ගලයා ජීවත් වෙනවා කියලා පොලිසිය දැනගන්න එපැයි. බුද්ධි අංශ නිලධාරීන්මයි කියන්නේ මෙයා පොලිස් මූලස්ථානයට ඇපිල් කරලා තියනවා කියලා එසේ නම් ඒ පුද්ගලයා ලංකාවේ කොහේ හෝ තැනක ඉන්නවා නේ ඇයි ඔහු අත්අඩංගුවට ගන්නේ නැත්තේ?’ අමිතා ප්‍රියන්තිගේ මෙම ප්‍රශ්න කිරීම සාධාරණය.

‘ඔක්කොම නඩු හතරක් තිබුණා, මේ වෙනකොට නඩු 3ක් විභාග වෙනවා, මූලික අයිතිවාසිකම් නඩුවයි, ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවයි, අපරාධ නඩුවයි, දිස්ත්‍රික් උසාවියේ නඩු දෙකයි. ඊට අමතරව වෛද්‍ය සභාවට විරුද්ධව පරීක්ෂණය ගියා, ඊටත් අමතරව නියෝග කඩ කිරීම සම්බන්ධව පොලිස් දෙපාර්තමේන්තුවේ පරීක්ෂණය ගියා. ඒවායෙන් මොනාද උනේ කියන එක අපට පැහැදිලි නැහැ. නමුත් අදාළ චුදිතයා වශයෙන් සැකකරපු අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා පමණක් වැඩ තහනමකට ලක්වුණා. මොකද රංජිත් අබේසූරිය මහතා පොලිස් කොමිසම කරපු කාලයේ වර්තමානයේ වගේ නෙමෙයි අකුරට එය ක්‍රියාත්මක වුණා. සාධාරණව මහජන පැමිණිලි සම්බන්ධව ක්‍රියා කළා. නීති ක්‍රියාත්මක කරන ආයතනවල තියෙන දුර්වලතාවය හා අපරාධකරුවන් සමඟ තියෙන සම්බන්ධතාවය නිසා මේ රටේ අපරාධ සම්බන්ධව යුක්තිය ඉෂ්ට වෙන්නේ නැහැ කියන එක තමයි මට අවසන් වශයෙන් කියන්න තියෙන්නේ. මල්ලී නැතිවුණා මල්ලිගේ පුතා දැන් තරුණයෙක් අපි ඔහුට කියන්නේ මොනාද? අපේ පවුල වගේම මල්ලිගේ පවුලත් මේ සිද්ධිය නිසා දෙදරලා ගියා. හැබැයි මේ සිද්ධියට අදාළ චූදිතයා තවමත් හොඳට නිදහසේ ඉන්නවා. අපිට කවදාද යුක්තිය ලැබෙන්නේ ‘ මේ සියලු නඩු කටයුතු සහ යුක්තිය වෙනුවෙන් කෙරෙන අරගලය අමිතා ප්‍රියන්තිගේ නොවක් කැපවීමේ සහ ධෛරයේ ප්‍රථිපල බව කිවයුතුය.

Social Sharing
නවතම විශේෂාංග