ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි වලට වෙච්ච දේ වරාය නැගෙනහිර ජැටියට වෙයිද?

oil tanks in trincomalee and the eastern terminal of the port

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පිලිබඳ මේ වන විට සමාජයේ දැඩි කථාබහක් මතුව ඇත. ඒ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දීම සම්බන්ධයෙනි.

ඉන්දියාව තරහ කර ගන්න බැහැ

මේ සම්බන්ධයෙන් වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ඊයේ (18) දින කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පවසා තිබුණේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පිළිබඳ ගැටළුවේදී රජය අපේ විදෙස් වෙළඳ ගනුදෙනු සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳවත් සැලකිලිමත් විය යුතු බවත් විශේෂයෙන්ම ඉන්දියාව තරහා කරගැනීමට තමන්ට නොහැකි බවත්ය.

අමාත්‍යවරයා පවසා සිටින්නේ ඔහු විසින් පත්කරන ලද කමිටුව මේ සම්බන්ධව ඉදිරි වැඩපිලිවෙල ගැන අධ්‍යනය කරගෙන යන බවය. ඔහු කියා සිටින්නේ මේ සිදු කරන්නේ ප්‍රතිඅපනයන ව්‍යාපාරයක් බව අමතක නොකළ යුතු බවය. එසේම ප්‍රතිඅපනයනයේ අප 66%ක් ගනුදෙනු කරන්නේ ඉන්දියාව සමඟද  9.50% ක් බංග්ලාදේශයත් සමඟ කටයුතු කරන බව පෙන්වා දෙන ඔහු අවධාරණය කර සිටින්නේ අනෙකුත් රටවල් සමඟ තියෙන අපේ වෙළඳ ගනුදෙනු ජාත්‍යන්තර සබඳතා අප ආරක්ෂා කරගත යුතු බවය.

ඒ නිසා මේ පර්යන්තය මාස 18ක් ඇතුළත හදලා ඉවර කර යුතු බවත්  ඒ පැත්තෙන් බටහිර පර්යන්තය මේ අවුරුද්දෙම ආරම්භ කළ යුතු බවත් එසේ වුයේ නැතිනම් නැව් සමාගම් අපෙන් ගිළිහී යන්න පුළුවන් යැයිද ඔහු අනතුරු අඟවා සිටියි.

විශේෂයෙන් අල්ලපු රට ඉන්දියාව සමඟ තරහා වී අර අර ගමක ඉන්න මයිකල් අයියයි සිරිපාල අයියයි රණඩුවෙනවා වගේ ගහලා එළවන්න පුළුවන්කමක් අපට නැතැයිද අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණි.

ජනපති සමඟ සාකච්ඡා

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා වරාය වෘත්තීය සමිති නියෝජිතයින් අතර මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වූයේ පසුගිය 13 වෙනි දින දහවල් ජනාධිපති කාර්යාලයේදීය. සාකච්ඡාවට කොළඹ වරායේ වෘත්තීය සමිති නියෝජිතයින් 12 දෙනෙකු සහභාගී වී ඇත. නමුත් ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වූ බව ඒකී වෘත්තීය සමිති නියෝජිතයින් සඳහන් කරන ලදී.

කෙසේ වුවද, මෙම සාකච්ඡාවන්ගෙන් පසුව ජනාධිපති මාධ්‍ය අංශය විසින්ද ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබිණි. ඒ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීම හෝ බදුදීම හෝ නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වරාය වෘත්තීය සමිති නියෝජිතයන්ට පැහැදිළි කළ බවය.

පසුගිය රජය විසින් නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට විකිණීමට ගිවිසගෙන තිබූ බවත්, විකිණීමෙන් පසු ජපානයෙන් ණයක් ගැනීමත්, ණය මුදලින් ඉදිකිරීම් සඳහා වන උපකරණ මිලදී ගැනීමත් ගිවිසුමට ඇතුළත් වූ බවත්,  ගිවිසුම පිළිබඳව වත්මන් රජය ඉන්දියාව සමග කළ සාකච්ඡාවලින් පසු 51%ක අයිතිය සහ පර්යන්තයේ පාලනය ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ තබාගැනීමේ එකඟතාවට පැමිණීමට හැකිවූ බව එහිදී ජනාධිපතිතුමා පෙන්වා දුන් බව මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්විණි.

ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයේ හම්බන්තොට වරාය ගැනද සඳහන් විය. පසුගිය රජය විසින් හම්බන්තොට වරාය 99 වසරකට චීන රජයට සම්පූර්ණයෙන් බදු දී තිබූ බවද තමා බලයට පත්වීමෙන් පසු චීනය සමග සාකච්ඡා කර වරායට අයත් මුහුදු ප්‍රදේශයේ ආරක්ෂාව පිළිබඳ වගකීම රජය යටතට ගත් බවද එහිදී වැඩිදුරටත් පෙන්වා දී තිබේ. අනෙක් අතට නැගෙනහිර පර්යන්ත සංවර්ධනය සැලසුම් කළේ කලාපීය භූ දේශපාලනික සාධක, රටේ ස්වෛරීභාවය, ආදායම් සහ රැකියා උත්පාදනය ඇතුළු සියලු සාධක සමාලෝචනය කිරීමෙන් පසුව යැයි ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

ජනාධිපතිවරයා වෘත්තීය සමිති නියෝජිතයින් හමුවේ පැවසූ පරිදි නැගෙනහිර පර්යන්තය ප්‍රතිඅපනයන මෙහෙයුම්වලින්  66%කට ඉන්දියාව දායක වෙයි. 9% බංග්ලාදේශයටත්, ඉතිරිය තවත් රටවල් කිහිපයකටත් කෙරෙන ප්‍රතිඅපනයනයන්ය.

ශ්‍රී ලංකා රජයට 51% අයිතිය සහ ඉතිරි 49% ඉන්දීයාවේ “අදානි” සමාගමටත්, වෙනත් පාර්ශ්වයන්ටත් කොටස්කරුවන් වශයෙන් හවුල් විය හැකි ආයෝජනයක් ලෙස පර්යන්තය සංවර්ධනය කිරීම සැලසුම වී තිබේ. වරාය බටහිර පර්යන්තයේ මෙහෙයුම් වරාය අධිකාරියට පැවරීමට තමා අපේක්ෂා කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා වරාය සංවර්ධනය සඳහා සැලසුම් ඉදිරිපත් කිරීමේ වැදගත්කම ද වෘත්තීය සමිති නියෝජිතයන්ට පෙන්වා දුන් බව එකී නිවේදනයේ දැක්වෙයි.

වෘත්තිය සමිති පෙරට

කෙසේ වෙතත් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය රැකගැනීම වෙනුවෙන් වරාය සේවක සේවිකාවන් නියෝජනය කරන වෘත්තීය සමිති 23ක් මේ වන විටත් වෘත්තීය සමිති එකමුතුවක් ලෙස සංවිධානය වී සිටියි. ඔවුන් සිය අරගලය අඛණ්ඩව කරගෙන යාමට තීරණය කර ඇත.

වරාය නිදහස් සේවක සංගමයේ සභාපති, ප්‍රසන්ත කළුතරගේ මහතාගෙන් ඒ පිළිබඳ කියා සිටින්නේ මෙවැන්නකි.

“ජනාධිපතිවරයා සමග කළ සාකච්ඡාවෙන් අපි බලාපොරොත්තු වුණේ නැගෙනහිර පර්යන්තය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ තබා ගැනීමටයි. නමුත් ඒ බලාපොරොත්තුව ඉටු වුණේ නෑ. ජනාධිපතිවරයා මේක 51%යි 49% විදිහට ඉන්දියාවට දෙන තීරණයේ තමා දැඩිව ඉන්නෙ. ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ සමහර කරුණු කාරණා නිවරදි තොරතුරු මත පදනම් වූ ඒවා නෙවෙයි. කවුරු හරි විසින් ජනාධිපතිවරයාට ලබාදුන් වැරදි තොරතුරු. අපි කොහොමත් මේ වෘත්තීය සමිති 23න් යුතුව ඒකමුතුව ගොඩනැඟුවේ 1%ක හෝ කොටසක් විකුණනවා නම් අපි ඒකට එරෙහිව සටන් කරන බවට ශපථ කරමින්. අනෙක් අතට අපි ජාතික බලවේගයක් පිහිටෙව්වා. රටේ දේශපාලන පක්ෂ, බහුජන සංවිධාන, වෘත්තීය සමිති ඒකරාශි කරගනිමින්. එතනදිත් අපි ඒ හැමෝගෙන්ම නැගෙනහිර පර්යන්තගේ කොටසක් හෝ විකිණීමට විරුද්ධ බවට ප්‍රතිඥාවක් ගත්තා. ඒ නිසා අපට දැන් මේ නැගෙනහිර පර්යන්තය කොටස් කර විකුණනවාට හෝ බදුදෙනවාට හෝ කිසි සේත්ම එකඟ වෙන්නට බෑ. ඒක නිසා මේ රජයේ උත්සාහය පරාජය කිරීම වෙනුවෙන් අපට හැකි සෑම ආකාරයකින්ම වරාය අධිකාරිය තුළත්, ඉන් පිටතත් විරෝධතා ක්‍රියා මාර්ග දියත් කරන්න බලාපොරොත්තු වෙනවා”

මේ අතර ස්වාධීන වරාය සේවක සංගමයේ සභාපති ලාල් බංගමුවගේ මහතා ද ඒ් පිළිබඳ අදහස් දක්වමින් මෙසේ කියා සිටියි.

“අපි ජනාධිපතිවරයා සමග කළ සාකච්ඡා අසාර්ථකයි. ජනාධිපතිවරයා සඳහන් කරන ආකාරයට ඉන්දියාව නැති වුණොත් මේ බිස්නස් ඒක නැතිවෙනවා. ඒක එහෙම නැති වෙන්නෙ නෑ. මේක ඉන්දියාවට කරන්න පුළුවන් බිස්නස් ඒකක් නෙවෙයි. අපේ වරාය ස්ථානගත වී ඇත්තේ නාවුක සිතියමේ මර්මස්ථානයක. අපව මගහැර කාටවත් කොහෙවත් යන්න බෑ. අපි ඒ ගැන කරුණු කීවාට ජනාධිපතිවරයා ඒ් දේවල් පිළිගන්න සූදානම් වුණේ නෑ. තමන් තමයි මේක ඉන්දියාවට දෙන බවට පොරොන්දු වුණේ කියන එකත් ජනාධිපතිවරයා කියා සිටියා. කලින් රජය සූදානම් වූ ආකාරයට ජපානයෙන් ණයක් අරන් ඒ ණය පියවන්න කටයුතු කිරීමට තිබුණු සැලසුම වෙනස් කරමින් 49%ක් දෙන එක වාසියි කියන එක තමා එතුමා කියන්නෙ. ණයක් අරන් සංවර්ධනය කළා නම් අපිට තියෙන්නෙ ණය ගෙවන්න විතරයි. ඒත් මේකෙන් 49%ක් ඉන්දියාවට දුන්නම  අපට වරාය අධිකාරිය හැටියට කිසි දෙයක් කරන්න වෙන්නෙ නෑ. ඒ අය මෑන් පවර් සේවකයින් තමා මේකට දාන්නෙ. අපි කියන්නේ 100%ක්ම මේකෙ අයිතිය ශ්‍රී ලංකාවට, වරාය අධිකාරියට තිබිය යුතුයි කියන ස්ථාවරයේ තමා අපි ඉන්නෙ. ඒ අනුව අපි වරාය, ජාතිය සතු කරගැනීමේ අරගලය නොනවත්වාම ගෙනියනවා. සයිටම් වලට එරෙහි වූ ව්‍යාපාරය වැනි බහුජන ව්‍යාපාරයක් හැටියට අපි මේක ජයග්‍රහණය තෙක් ගෙනියනවා.”

විදෙස් ආයෝජන අනවශ්‍යයයි.

ඔවුන් එසේ කියද්දි වරාය ඉංජිනේරු සංගමය පවසන්නේ කිසිදු විදෙස් ආයෝජනයකින් තොරව වසර දෙකහමාරක් තුළ කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සංවර්ධනයකර අවසන් කිරීමේ වගකීම තමන් භාර ගන්නා බවය.

ඊට අදාළ සවිස්තර වාර්තාවක් එළැඹෙන 20 වනදා ඊට අදාළ කැබිනට් කමිටුවට ඉදිරිපත් කරන බව ද ඊයේ  (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නියෝජිතයෝ සඳහන් කළහ.

එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා වරාය ඉංජිනේරු සංගමයේ සභාපති ආර්.පී.පී. ක්‍රිෂාන්ත මහතා,

“ආයෝජනය කරන්න ඕනේ කියන්නේ සාමාන්‍යයෙන් අපිට කරන්න බැරි දෙයකට ආයෝජනයක් කරන්න අවශ්‍යතාවයක් නෑ. මොකද අපිට මේ ටර්මිනල් එකේ 1/3ක් පාවිච්චි කරන්න පුළුවන් දැනට තියෙන ක්‍රේන් තුනයි. එතකොට මෙයින් අපට ලබාගන්න පුළුවන් ආදායම වසරකට ඩොලර් මිලියන 50ට වැඩියි. වර්ධනය වෙද්දි ඩොලර් මිලියන 250ට වැඩි ආදායමක් ලබන්න පුළුවන්. අපි දැන් දීලා තියෙනවා ආයෝජනයට කියලා ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි. අදටත් ඉතුරු තෙල් ටැංකි ගන්න බැහැ. ඒ වගේ තත්ත්වයක් ඇතිවෙලා තියෙද්දිත් අපි දැනගන්න ඕනේ ඉන්දියාව කියන සතුරා ගෙනත් දාන්න හොඳ නැහැ. ඉන්දියාව තරහා කරගන්න දෙයක් නෑ. එයාලා යාළුයි හැමතිස්සෙම මොකද ඉන්දියාව වැඩිම අපනයනය කරන්නේ ලංකාවට. කොහෙත්ම ඒ තුළ ඉඳගෙන අපිත් එක්ක තරහ වෙන්නේ නෑ. අපි තරහ වුණොත් මිසක්.  ජනපති නිලධාරීන් එක්ක කතාකරන්න අවසර දුන්නා. අපේ තියෙන යෝජනා සිකුරාදා වෙනකොට දෙන්න කිව්වා. මේක අපිට කරන්න පුළුවන්. වෙන රටකින් ණය ගන්න ඕනේ නෑ. අපිට ඩොලර් මිලියන 100ක වගේ පොඩි ගාණකින් කරගෙන යන්න පුළුවන්. ඩොලර් මිලියන 600ක් ඕනේ නෑ. මේ යන ක්‍රමවේදය තුළ ඊ.සී.ටී. පර්යන්තය තවමත් ක්‍රියාත්මකයි. ඒ තුළ අපි ඉන්නවා.  අපි ඉන්නේ 100%ක් වරාය අධිකාරියෙන් කළයුතුයි. අපි සැලැස්මක් දෙනවා කමිටුවට. අවුරුදු දෙකහමාරකින් හදලා ඉවර කරන්න පුළුවන්“

Social Sharing

Related posts