රොෂේන් චානකගේ සිදුවීමෙන් පොලිස්පතිධුරය අහිමි වූ මහින්ද බාලසුරිය දිවිසැරිය නිමා කරයි.

මෙරට 32 පොලිස්පතිවරයා වු  මහින්ද බාලසුරිය මහතා  ඊයේ (29) සවස නාරාහේන්පිට පුද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වීය. මිය යන විට ඔහු 68 වන වියේ පසු විය.

1978 වසරේදී සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස පොලිස් සේවයට සම්බන්ධ වූ බාලසූරිය මහතා 2009 වසරේ නොවැම්බර් මාසයේදී පොලිස්පති තනතුරට පත්විය. ඒ මෙරට 32 පොලිස්පතිවරයා ලෙසිනි.

නමුත් ඔහුට පොලිස්පතිධුරය හෙබවීමට හැකි වුයේ 2011 වසරේ මැයි වන තුරු පමණි. 2011 වසරේ මැයි මාසයේදී සිය ධුරයෙන් ඉල්ලා අස් වීමට ඔහුට සිදු වු අතර ඉන් මාස කිහිපයකට පසුව බ්‍රසීලයේ තානාපතිවරයා ලෙස පත් කිරීමට රාජපක්ෂ රජය පියවර ගෙන තිබුණි. එන්.කේ. ඉලංගකෝන් මහතා පොලිස්පතිධුරයට පත් වන්නේ මහින්ද බාලසූරියගේ හිඩැසටය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානපතිවරයා ලෙසද සේවය කළ මොහු 2014 වසරේදී මහින්ද බාලසූරිය මහතා නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙසද කටයුතු කළේය.

ඔහුට ඉල්ලා අස් වීමට සිදු වුයේ  2011 වසරේදී කටුනායක නිදහස් වෙළඳ කලාපයේ පැවති උද්ඝෝෂණයක් අතරතුර පොලිස් වෙඩි තැබීමකින්  තරුණයෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලැබූ අතර ඒ සම්බන්ධයෙන් එල්ල වූ විරෝධය හමුවේය.

රාජපක්ෂ ආණ්ඩුව විසින් 2011 අප්‍රේල්  මස මුල දී පාර්ලිමේන්තුවට ඉදිරි පත් කරනු ලැබූ පෞද්ගලික අංශයේ සේවක විශ‍්‍රාම වැටුප් ප‍්‍රතිලාභ අරමුදල් පනතට එරෙහිව මැයි 24 වන දින විරෝධතා දිනයක් එවකට ක‍්‍රියාත්මකව තිබූ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය විසින් ප‍්‍රකාශයට පත් කරනු ලැබිණි. එහිදී කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ඉතා සාර්ථක උද්ඝෝෂණයක් සංවිධාන කෙරුණි.

මෙහිදි මැයි 28 වන දින කටුනායක සේවක නියෝජිතයින් හමුවූ කම්කරු හා කම්කරු සබඳතා ඇමති ගාමිණි ලොකුගේ මහතා එම පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට කටයුතු නොකරන බව වගකීමෙන් යුතුව දැනුම් දුන්නේ ය. නමුත් කම්කරු ඇමතිගේ දැනුම් දීම නොතකා, විශ‍්‍රාම වැටුප් ප‍්‍රතිලාභ අරමුදල් පනත නැවත ගෙන ඒමට සහාය ඉල්ලමින් පත‍්‍රිකා බෙදීම වෙළඳ කලාපය තුළ නොසන්සුන්තාවකට හේතු විය. අනතුරුව මැයි 30 වන දින එම දේශපාලකයින් මැරයින් සමග එක්ව උද්ඝෝෂණයකට සේවකයින් පෙළඹවීම නිසාවෙන් ඊට විරුද්ධව වූ සේවක විරෝධය හමුවේ දියත් කෙරුණු පොලිස් හා මැර ප‍්‍රහාරය හේතුවෙන් රෝෂේන් චානක නම් තරුණ කම්කරු සහෝදරයා ඇතුළු සේවක සේවිකාවන් 260 ක් පමණ තුවාල ලැබීය. රොෂේන් චානක  ජුනි මස 01 වන දින ජීවිතක්‍ෂයට පත්විය. ඒ පොලිස් වෙඩි පරට ලක් වී තුවාල ලැබීම නිසාය.

රොෂේන්ගේ මරණයත්  සමඟ රට පුරා නැඟුණු විරෝධතා නිසා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් එවකට සිටි පොලිස්පති වු මහින්ද බාලසුරිය මහතාට  ඉල්ලා අස්වන ලෙස කළ නියෝග කළ අතර ඒ අනුව තවත් එවසරක කාලයක් පොලිස්පතිධුරය දැරීමට අවස්ථාවද අහිමි කරගෙන ඔහු ඉල්ලා අස්වන්නේ ආණ්ඩුව බේරාගන්නටය.

එසේම ඝාතනය කෙරුණු මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ විමර්ශන කටයුතු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තතුවෙන් ඉවත් කර ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට යොමු කර තිබුණේද මොහු විසිනි.

-ශානි-

Social Sharing
නවතම