ගොවි ජනතාව දැන් භුක්ති විඳින නිදහස ඉදිරියේ දී නැති වේවි! – කවුඩුල්ලේ ජයතිස්ස

Kawudulle piyathisse Problems faced by the farming community

ලාංකීය දේශපාලනයේ තීරණාත්මක මංසන්ධියකට මේ මොහොත අපි ආවා කියලයි මම ගොවියෙක් විදිහට දකින්නේ. ඒ තමයි විසි වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ ආණ්ඩුව බලගැන්වීම. නමුත් බලය ලබා ගැනීමේ දී ජනාධිපතිතුමා පොරොන්දු වුණේ පවතින ව්‍යවස්ථාව සංශෝධන කරනවා කියලා නෙමෙයි. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ඒය සම්මත කර ගැනීමේ ක්‍රියාවලියක නිරත වෙනවා කියලයි.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරගත්තට පසුව පවා එහි  ක්‍රියාදාමයන්  ක්‍රියාවට නගද්දී ආණ්ඩුවේ බල තුලනය පිළිබඳව ගැටලු මතුවී තිබුණා. ඒ නිසාම ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව මිනිසුන්ට තිබුණු පැහැදිලි තාවය ටිකෙන් ටික නැතිවී ගොස් ඒකාධිපති එහෙම නැත්නම්  රාජාණ්ඩු ක්‍රමයක් වගේ බලයක් තිබිය යුතුයි එසේ නොමැතිව ජනතාව පැත්තෙන් වාසිදායක වන තීන්දු තීරණ ගත නොහැකියි යන හැඟීමක් මාධ්‍ය විසින් ඇති කරලා තිබුණා.

පෙර පැවති ආණ්ඩුවේ ජනාධිපතිතුමා සහ අගමැතිතුමා අතර තිබුණු මතභේද හේතුකරගෙන තමයි එය විශාල වශයෙන් හට ගැනුනේ. මේ හේතු පාදක වුණා ගෝඨාභය රාජපක්ෂ මහතාට  හැට නම ලක්ෂයක විශාල බලයක් ලබාගැනීමට. ඒ නිසා අවුරුදු ගණනාවක ඉඳන් මම දකින්නේ 1978 ජේ ආර් ජයවර්ධන මහතා විසින් ගෙන ආ ඒ ව්‍යවස්ථාව  තවත් ඉදිරියට ගෙනයාමේ ක්‍රියාවලියකට  යන්න ලෝකය විසින් මේ රාජ්‍යය කරන අයට බල කරල තිබුන කියලා.

විශේෂයෙන් ඇමරිකාව, අපිට ආධාර දෙන ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන ලංකාවේ ඇති ප්‍රජාතන්ත්‍රවාදය  රැකෙන පනත් වෙනස්  කිරීමට බොහෝ උත්සාහයන් ගත්තා ඒ ඒ වකවානුවල. උදාහරණයක් විදිහට චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය බලයට පත්වුණාට පස්සේ ගොවි ජනතාවට බලපාන ප්‍රධාන ප්‍රශ්න ගණනාවක් අකා මකා දාන වැඩපිළිවෙළක් ක්‍රියාවට නැගුවා.

ලෝක බැංකුව විසින් ඉදිරිපත් කරන ලද ලියවිල්ලට අනුගත වෙමින් චන්ද්‍රිකා මැතිනිය ප්‍රජාතන්ත්‍රවාදී ගුණාංග පැත්තකට දමමින් කටයුතු කිරීමට තීරණය කළා. එම ලියැවිල්ලේ සටහන් වී තිබුණා ජලය සඳහා ජල වෙළඳපලක් සෑදීමට සහ ඉඩම් සඳහා ඉඩම් වෙළඳපලක් සෑදීමට. මේ ජනපද ගොවියාට තමන්ගේ ඉඩම ලේ උරුමයෙන් කිසි කෙනෙකුට බැහැර කිරීමට නොහැකි නීතියක් තිබෙනවා. එය හොඳ වාසිදායක දෙයක්.

නමුත් ඒක බැහැර කරලා ඕන කෙනකුට මේ ඉඩම විකුණා දැමීමේ අයිතිය තහවුරු කරන්න පුළුවන් ලෙස ඒ ලියවිල්ල සටහන්ව තිබුණා. වැවිලි නොවන බෝග වලට කියලා තමයි එය සටහන් කරලා තිබුණේ. ඒකෙන් අපිට පෙනෙන දේ තමයි අපේ සියලු දේ වැවේ අයිතිය, කන්න  රැස්වීමේ තිබුණු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය , ඉඩමේ වගා කිරීමේ අයිතිය මේ ඔක්කොම ක්‍රම ක්‍රමයෙන් හීන කිරීමේ වැඩපිළිවෙලවල් ඉදිරියට ගෙන ආවා.

ඒකෙ දිගුවක් විදිහට චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේන් පසුව එක්සත් ජාතික පක්ෂ රජයත් ඒ ක්‍රියාව වෙනස් විදියකට ගෙනයන තීන්දු තිබුණා. ඒක තමයි යළි පුබුදමු ශ්‍රී ලංකා යන වැඩසටහන. ඉන් පසුව මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ දී භෞතික සැලැස්ම යන වැඩසටහන ආවා. කෘෂිකාර්මික රටක් වන ලංකාවේ ගොවිතැනට  උරුමකම් කියන බොහෝ ප්‍රජාතන්ත්‍රවාදී  ගුණාංග අහෝසි කර දැමීමේ ක්‍රියාපිළිවෙතක් දිගටම ආවා.

සංචාරක කර්මාන්තය සඳහා වැව අයිතිකර ගැනීම,  අලි පෙන්වීම සඳහා වැවේ වතුර ධාරිතාවය අඩු කිරීම, මේවායින් කෝටි ගණන් උපයන  සංඛ්‍යා ලේඛන අපි මේ මෑතකදී දැක්කා. මින්නේරි වැවේ සහ කවුඩුලු වැවේ පමණක් කෝටි පනස් පහක ආදායමක් උපයා තිබෙනවා වර්ෂයක් තුළ. එතකොට මිනිස්සුන්ට දැනුනා වැව  ගොවියන්ට අවශ්‍ය නැහැ , වැව  සංචාරක කර්මාන්තයට යොදා ගතහොත් විශාල ආදායමක් උපයාගන්නට පුලුවන් කියලා.

නමුත් ඒවා යම් විදිහකට පරාජය කර ගැනීමේ හැකියාවක් ගොවි ජනතාවට වගේම අනෙකුත් බුද්ධිමතුන්ට මේවා කරුණු කාරණා කියලා ඒ ඒ ආණ්ඩුව වෙනස් කිරීමටත් ඉවහල් වන කාරණා ආවා. ඒවා හොඳ ප්‍රජාතන්ත්‍රවාදී ගුනයන්. ඒවා බොහොම අමාරුවෙන් අපි දිනා ගත්ත ඒවා.

නමුත් විසිවෙනි සංශෝධනයෙන් මම ගොවියෙක් ලෙස දකින්නෙ ම අපි දිනාගත්ත බොහෝ අයිතීන් සහ සමහර දේවල් ක්‍රියාත්මක කිරීමට උත්සහ ගැනීමේදී බොහෝ වෑයමක් දරා අප පරාජය කර ගත් ඒවා සියල්ල අහෝසි වෙමින් මේ සියලූ අණපනත් ඒ ඒ ලෝක බලවතුන් ගේ වුවමනාවට ඒ වගේම මේ දේශපාලනඥයන්ගේ උවමනාවට මේ පනත් වෙනස් කරල ක්‍රියාවට නගන්න තනි ඒකාධිපති බලයක් ගොඩ නැගෙනවා කියලායි.

මින් ඉතාම නරකම තත්ත්වයකට ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ඇද වැටෙනවා සහ ඒ ප්‍රජාතන්ත්‍රවාදයේ ගුණාංග නැතිවී යනවා. නමුත් අපි දන්නවා ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක අපි හිතන විදිහට බලවතුන්ට යම් වැරදි දෙයක් කිරීමට එතරම් පහසු නැහැ.

හැබැයි අපි දන්නවා රාජ්‍යයක තියෙන ප්‍රධාන කාරණා තුනක් තියෙනවා. ව්‍යවස්ථාව  විධායකය අධිකරණය කියලා. මේවායේ බලය තැන් තුනක තිබෙන නිසා ඕනෑම වැරදි දෙයක් ගෙන ආවොත් එය පරාජය කිරීමේ බලය මේ බලාධිකාරයට  තිබෙනවා.

හැබැයි මෙය එකතු වුන අවස්ථා වේ මේ සියල්ල අහෝසි කරලා වැරදි දෙයක් ගෙන ඒමේ අවස්ථා සහ ඉඩකඩ තිබෙනවා. අනෙක් එක තමයි මේ මෑතක ඉඳන් ලෝකයේ ඒකාධිපති බලයක් ගොඩනගන්න විවිධ රාජ්‍යයන් අලුත් යටත් යටත්විජිතකරණයකට පත් වීමේ ක්‍රියාවලියක් ගොඩනැගිලා තිබෙනවා.

උදාහරණයක් ලෙස බුරුමය තායිලන්තය පකිස්තානය සහ බංග්ලාදේශය මෙවැනි රාජ්‍යයන් තුළ අපි මෑතකදී අත්දැක්කා ඒකාධිපති බලය ගොඩනඟන්න ගිහිල්ලා ඔවුන් අත්  කරගත්ත ඉරණම. එක පැත්තකින් මේ ජනතාවට හරි වැටහීමක් නෑ මේ පනත් පිළිබඳව. එදිනෙදා ජීවිතය පිළිබඳ ගැටෙන මිනිස්සුන්ට මේ ව්‍යවස්ථාවක් පිළිබඳව හෝ තවත් දෙයක් පිළිබඳව වැටහීමක්  ඇති කරගැනීමට  තිබෙන ඉඩකඩ අඩුයි.

ඒ නිසා මෙය බුද්ධිමතුන් කොපමණ ප්‍රමාණයක් මෙයට එරෙහි වෙනවාද , මෙහි අඩුපාඩුකම් පෙන්වා දෙන විට ඒවා  පිළිබඳ හැඟීමක් ඇතිකර ගන්නවාද යන්න පරීක්ෂා කළ යුතුයි.

අන්න ඒ අනුව තමයි අපි තීරණය කරන්නේ මේ එන්නේ  වැරදි පාරක යන්න කියන එක. ඒ අනුව මම එක පැත්තකින් ගොවි ජනතාව නියෝජනය කරන කෙනෙක් හැටියට මගේ පැත්තෙන් මම දකින්නේ මෙම 20 වන සංශෝධනය සම්මත විමෙන් පසුව ගොවි ජනතාව දැන් භුක්ති විඳින නිදහස, අප භුක්තිවිදින ප්‍රජාතන්ත්‍රවාදී ගුණාංග අහෝසි වෙනවා.

වැවේ අයිතිය අදටත් වඩා තහවුරු කරගන්නවා විදේශ බලවතුන්. සංචාරක ව්‍යාපාර සඳහා අපේ ඉඩ කඩම් අයිති වීම වළක්වන්නට බැරි වෙනවා. වැවේ වතුර ටික මීටර් හයි කරල ගන්න තත්ත්වයකට මේ ක්‍රියාවලිය හරහා පත්වෙනවා . අපේ කුඩා ඉඩම් අකුලලා ඒවා මහා ඉඩම් බවට පරිවර්තනය කරන වෙළඳ ව්‍යාපාර ඇති කරන්න, ඔවුන්ගේ භව භෝග එකේ වගා කරන්න ඔවුන් ඉඩකඩ  ඇති කරගන්නවා.

වී වල ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අපි අදටත් දිනාගෙන තිබෙන රටක්. වී වලට දැන් ඇවිත් තිබෙනවා වඳ බීජ එහෙම නැත්නම් හයිබ්‍රිඩ් බීජ. අනික් බීජ වලට මේක ඇවිත් තිබුනත් අපි අවුරුදු දහස් ගණනක කාල පරිච්ඡේදය තුළ රැගෙන ආව බීජ අදත් සංරක්ෂණය කරමින් මේ කියන විපරිත ක්‍රමය යටතේ අපට පවත්වාගෙන යන්න පුළුවන්.

හැබැයි මේ ඒකාධිපති බලය ගොඩනැගුන මේ තියෙන හැම එකක්ම අහෝසි කරලා ඔවුන්ගේ ඕනෑ එපාකම් අනුව විදේශ බලවතුන් ගේ අවශ්‍යතාවයන් අනුව ක්‍රියාවට නගන්න රටේ ඉඩකඩක් විවෘත වෙනවා .

ඒ නිසා ගොවි ජනතාවගේ පැත්තෙන් මම දකිනවා 20 වන සංශෝධණය ඉතාම නරක ව්‍යවස්ථාවක් . මේක වහාම වෙනස් කළ යුතුයි. 19 වන ව්‍යවස්ථාවට කැමැත්ත පළ කල බොහෝ දෙනෙක් මේ 20 වෙනි ව්‍යවස්ථාවට සහාය දැක්වූවා. ඇත්තටම ඔවුන් ජනතාවගේ නියෝජිතයන් නෙවෙයි. ඔවුන් විවිධ බැල මෙහෙවරකම් කරන වහල් සිතුවිලි එක්ක යන්න මන්ත්‍රීවරු කියලයි මම නම් දකින්නේ.

මම යෝජනා කරන්නේ අඳුරට ශාප කරමින් සිටින්නේ නැතිව මේ වරද්දා ගැනීම නිවැරදි කර ගැනීම සඳහා රට තුළ ආගමික නායකයින්ගේ සම්ප්‍රාප්තිය, බුද්ධිමතුන් ඉදිරිපත් කරන මතවාද , ඒ වගේම ආණ්ඩුව බලයට පත් කරන්න දැඩිව ක්‍රියා කරපු ආගමික නායකයින් සහ බුද්ධිමතුන් මීට එරෙහිව කටයුතු කල යුතුයි.

මේ සියලු දෙනාගේම සහභාගිත්වයෙන් සිවිල් බලයක් හෙවත් පුරවැසි බලයක් උපයෝගී කරගනිමින් දිගුකාලීන අරගලයක් වීදි වල කළ යුතුයි. අපි දන්නවා ලෝකයේ මේ වගේ හිතුවක්කාර නායකයෝ පහළ උනහම ඒවා පරාජය කළේ විශාල ජන බලයක් එක්ක . ජන කලකිරීම් ඉතාම ඉක්මනින් ඇති  වෙනවා. අපට පෙනෙනවා අවුරුද්දක් ඇතුලත විශාල ජන කළකිරීමක් සමාජය තුළ දැනටමත් ඇති වී තිබෙන බව.

කේ. සංජීව

Related posts

One Thought to “ගොවි ජනතාව දැන් භුක්ති විඳින නිදහස ඉදිරියේ දී නැති වේවි! – කවුඩුල්ලේ ජයතිස්ස”

Comments are closed.