සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්, මාධ්‍යවේදීන් බිය වැද්දීම නවත්වන්න! – අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ

අවවාද කිරීම්, අනතුරු ඇඟවීම් කළ හැකි වරදවලට පවා සමාජ මාධ්‍ය භාවිතා කරන පුරවැසියන් අත්අඩංගුවටගෙන රිමාන්ඩ්  නොකරන්න යැයි අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය පවසයි.

සමාජ මාධ්‍ය භාවිතා කරන සාමාන්‍ය ජනයා පවා මාධ්‍ය භාවිතය පිළිබඳ මනා අවබෝධයකින් කටයුතු කළ යුතු බවත්  ඒ අතරම, සමාජ මාධ්‍ය භාවිතා කරන ඇතැම් පුද්ගලයන්ගේ ක්‍රියා දඩමීමා කරගනිමින් සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්, මාධ්‍යවේදීන් හා සමාජය බියවැද්දීම සඳහා කටයුතු කිරීම නවත්වන ලෙසද ඒම සංවිධානය  බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

ව්‍යාජ පුවත් හා වෛරී ප්‍රකාශවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සංවිධානය සහාය පළකරන නමුත් එහිදී, තෝරාගැනීමකින් තොරව, පොදුභාවයකින් යුතුව කටයුතු කිරීමේ වැදගත්කමද අවධාරණය කර සිටියි. විශේෂීකරණයකින් තොරව නීතිය සැමට එකලෙස ක්‍රියාත්මක කිරීම ප්‍රජාතන්ත්‍රවාදී රජයක වගකීමක් බවද අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය පවසයි.

එම සංවිධනයේ කැඳවුම්කාර මණ්ඩලය වෙනුවෙන් මාධ්‍යවේදි, නිතිඥ දුලාන් දසනායක හා මාධ්‍යවේදි කේ. සංජීව මහතා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් මේ බව කියා ඇත.

එහි වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

සියලු පුරවැසියන්ගේ මාධ්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීමට හා විශේෂයෙන්ම සමාජ මාධ්‍ය පරිහරණය කිරීමේදී අනුගමනය කළ යුතු ආචාරධර්ම පිළිබඳ පුරවැසියන් දැනුවත් කිරීමටද රජය කටයුතු කළ යුතුය. අවවාද කිරීම්, අනතුරු ඇඟවීම් කළ හැකි වරදවලට පවා සමාජ මාධ්‍ය භාවිතා කරන පුරවැසියන් අත්අඩංගුවටගෙන රිමාන්ඩ් කිරීම නොකරන ලෙස අපි බලධාරීන්ගෙන් විශේෂයෙන් ඉල්ලා සිටින්නෙමු.

මෙම කිසිදු කාර්යයකින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පුරවැසියන්ට සහතික වී ඇති භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට හා මාධ්‍ය නිදහසට බලපෑමක් සිදු නොවිය යුතු අතර, ආචාරධර්මවලට අනුකූලව හා නීත්‍යානුකූලව තොරතුරු හා අදහස් සන්නිවේදනයේ යෙදෙන මාධ්‍යකරුවන් හා පුරවැසියන් දිරිගැන්වෙන පරිදි කටයුතු කිරීම ප්‍රජාතාන්ත්‍රික රජයක වගකීම බවද අපි අවධාරණය කරන්නෙමු.

සම්පූර්ණ නිවේදනය පහතින්…

SINHALA

ENGLISH

TAMIL

 

Social Sharing
නවතම විශේෂාංග