සති දෙකකින් ඉල්ලීම් නොදුන්නොත් සෞඛ්‍ය සේවය වර්ජනයකට සුදානම්!

මාස හයකට අධික කාලයක් තිස්සේ සෞඛ්‍ය සේවකයන් විසින් සිදු කරන ලද ඉල්ලිම් මාලාවක්  සම්බන්ධයෙන් මේතාක් යහපත් ප්‍රතිචාරයක්  ලබා දීමට කටයුතු කර නොමැති බවට චෝදනා  කරන   සෞඛ්‍ය වෘත්තිය සමිතියක් සති දෙකක් ඇතුලත  විසදුම් ලබා නොදුනහොත්  අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණය වන බවට ආණ්ඩුවට අනතුරු අඟවා තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවී වන්නිආරච්චි වෙත මාර්තු 01 සදුදා ලිපියක් යොමු කරමින් එම අනතුරු ඇගවීම කර ඇත්තේ  ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය  විසිනි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමිගේ සහ සභාපති චමින්ද නිලන්තගේ අත්සනින් යුතුව නිකුත් කර තිබෙන එම ලිපිය මගින් අවධාරණය කර ඇත්තේ සෞඛ්‍ය සේවක ඉල්ලීම් එකොළහක් සම්බන්ධයෙන්  සිය සංගමය විසින් අවස්ථා ගණනාවකදී විවිධ ක්‍රියාමාර්ග ගත් නමුත් එම ගැටළු එකක් හෝ විසඳීමට සෞඛ්‍ය  අමාත්‍යාංශය සමත්වී නොමැති බවයි.

“බොහෝ ඉල්ලීම් වසර ගණනාවක් තිස්සේ දිග්ගැසුණු ඒවාය. ඇතැම් ඉල්ලීම් පවතින වසංගත තත්වය නිසාවෙන් මතුවූ ගැටලුය. ඇතැම් ගැටලු වත්මන් රජය විසින් නිර්මාණය කළ ගැටලුය.”

මෙම ගැටලු විසඳන ලෙස ඉල්ලා  ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය  විසින්  2020 වසරේ සැප්තැම්බර් මාසයේ සිට 2021 පෙබරවාරි දක්වා  සෞඛ්‍ය අමාත්‍යාංශයට ලිපි මඟින් පමණක් අවස්ථා 15 ට වැඩි වාර ගණනකදී දැනුම් දී ඇති අතර  2020 දෙසැම්බර් 09 දින  දින සෞඛ්‍ය ඇමතිවරිය සමඟ සාකච්ඡාවක්ද පැවැත්වු නමුත් එහිදී පොරොන්දු වූ එකදු කාරණාවක් හෝ මෙතෙක් ඉෂ්ටකර නොමැති බවටත් එම සංගමය චෝදනා කරයි.

ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය  සිය ලිපිය මගින් සෞඛ්‍ය අමාත්‍යවරියට වැඩි දුරටත් දැනුම් දී ඇත්තේ සිය ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන්  අවස්ථා අටකදී   විවිධ ක්‍රියාමාර්ගද ගත් බවයි.

එහෙත් එම ක්‍රියාමාර්ගවලටද සෞඛ්‍ය  අමාත්‍යාංශය විසින් කිසිදු යහපත් ප්‍රතිචාරයක් මෙතෙක් දක්වා නොතිබීම අතිශය කණගාටුදායක බව පවසන ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය චෝදනා කරන්නේ

වගකිව යුතු රජයක් ලෙස සෞඛ්‍ය සේවකයන්ට පැනනැගී ඇති ගැටලු නොවිසඳීම අතිශය අසාධාරණ බවයි.

මෙන්න ඉල්ලීම්

එබැවින්  පහත ගැටළුවලට දින 14 ට පෙර විසඳුම් නොලැබෙන්නේ නම් අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවන බව ටැම්පිටියේ සුගතානන්ද හිමි සහ  චමින්ද නිලන්ත සෞඛ්‍ය අමාත්‍යවරියට දැනුම් දී තිබේ.

  1. සතියේ වැඩකරන අමතර පැය 08 ට වැටුපෙන් 01/30 ක් ලබාගැනීම,
  2. දින 180 සම්පූර්ණ කළ සියලු සෞඛ්‍ය ආදේශක, අනියම් සේවකයන් වහා ස්ථිර කරගැනීම,
  3. ආණ්ඩුවෙ මිළිටරීකරණ උවමනාවන් මත සිදුකරන අවිධිමත් බඳවාගැනීම් වහා නැවැත්වීම,
  4. නිල ඇඳුම් දීමනාව රු.15000 ක් කරගැනීම,
  5. සියලු සෞඛ්‍ය සේවකයන්ට විශේෂ අවදානම් දීමනාවක් ලබාගැනීම,
  6. ප්‍රමාදකළ උපස්ථායක පත්වීම් කඩිනමින් ලබාගැනීම,
  7. උදුරාගත් උත්සව අත්තිකාරම් දීමනාව පොලී රහිතව නැවත ලබාගැනීම,
  8. අතිකාල රේට් ක්‍රමයකට ලබාගැනීම,
  9. විධිමත් බඳවාගැනීම් පටිපාටියක් හා විධිමත් රාජකාරි ලයිස්තුවක් ලබාගැනීම,
  10. රෝහල් කණිෂ්ඨ කාර්යමණ්ඩල හිඟය පියවා ගැනීම,
  11. කළමණාකරණ සේවා විභාගය සමත් අයට පත්වීම් ලබාගැනීම හා වයස 45 ට වැඩි විශ්‍රාම වැටුප් අයිතිය අහිමි අයගේ විශ්‍රාම වැටුප් අයිතිය ලබාගැනීම.

සෞඛ්‍ය අමාත්‍යවරිය වෙත යොමු කළ ලිපියේ පිටපත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්  හා  සියලු රෝහල් ප්‍රධානීන්  වෙත යොමු කිරීමටත් ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය කටයුතු කර තිබේ.

Joint Health Workers Union

 

Social Sharing
නවතම