දේශීය ඖෂධ වට්ටෝරු ගැන අනතුරු ඇඟවීමක්!

කොරෝනා වසංගතය සදහා ගුණදායක බව පවසමින් අන්තර්ජාලය තුළ සංසරණය වන ඖෂධ වට්ටෝරු භාවිත නොකරන ලෙස දේශීය වෛද්‍ය අමාත්‍යංශය ඉල්ලා සිටී.

නිවේදනයක් නිකුත් කරමින් දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාතාංශය පවසන්නේ කොව්ඩ් 19 තුන්වැනි අවස්ථාවත් සමග ඇති වී තිබෙන රෝගී තතත්වයේ ව්‍යාප්තියේ වැඩිවීමත් සමග කොව්ඩ් 19 රෝගය සදහා ගුණදායක බව පවසමින් දේශීය වෙදකම තුළ භාවිත වන අමුද්‍රව්‍ය සහිත වට්ටෝරු පසුගිය අවස්ථා වලට වඩා සීඝ්‍රයෙන් මෙම අවස්ථාවේ විශාල වශයෙන් අන්තර්ජාලය තුළ සංසරණය වන බවයි.

එවැනි ආගන්තුක ඖෂධ අත්හදා බැලීම සිදු නොකරන ලෙස අමාත්‍යාංශයේ ලේකම් කුමාරි වීරසේකරගේ අත්සනින් යුතුව නිකුත් කර තිබෙන නිවේදනය මගින් සමස්ත ජනතාවගෙන් ඉල්ලා තිබේ.

වසංගතයේ දෙවැනි රැල්ල නැග ආ සමයේ ප්‍රතිකාරයක් ලෙස ප්‍රචාරය කෙරුණු “ධම්මික පැණිය” නමින් ප්‍රකටවූ පානයට පාර්ලිමේන්තුවේ අනුග්‍රහය ලබාදෙමින් එය පානය කළ සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ද කොරෝනාසාදිත වී බටහිර වෛද්‍ය ප්‍රතිකාර ලැබීමෙන් අනුව දැන් සුවපත් වී සිටින්නීය.

ආයුර්වේදයේ හා දේශීය වෙදකම තුළ රෝගයක් සදහා ඖෂධ සකස් කිරීමේදී ඊට යොදාගනු ලබන අමුද්‍රව්‍ය පිළිබද සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය කරුණක් බව ඇගේ යටතේ පවතින දේශීය වෛද්‍ය අමාත්‍යංශය දැන් පවසයි.

එම ඖෂධ සදහා භාවිත කරන්නේ ශාකමය අමුද්‍රව්‍යයක් නම් එසේ භාවිත කළ යුත්තේ එම ශාකයේ කුමන කොටසද යන්න පිළිබද නිශ්චිත අවබෝධයක් ලබා ගැනීම ඉතාම වැදගත් බව අමාත්‍යාංශ නිවේදනය සිහිපත් කර දෙයි.

“යම් ඖෂධයක් සකස් කිරීම සදහා ශාකමය පොතු ආදිය යෙදිය යුතු අවස්ථාවක එම ශාකයේ ඵල යොදා ගැනීම එම ඖෂධ වට්ටෝරුවේ නියමිත ගුණය නොලැබෙන අතර ඒ තුලින් ශරීරයට අහිතකර සංයෝගයන් ඇති වීමට පවා අවස්ථාව ඇති විය හැකිය.”

එබැවින් පාරම්පරිකව භාවිත කරනු ලබන අත්බෙහෙත් වැනි දේවල් හැරුනු කොට අනෙකුත් ආගන්තුක වට්ටෝරු  භාවිත කිරීමෙන් වළකින ලෙස දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය වැඩි දුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටි.

එම නිවේදනය මගින් තව දුරටත් දැනුම් දී ඇත්තේ ශරීර ප්‍රතිශක්තිය වර්ධනය උදෙසා භාවිත කළ හැකි ඖෂධ වර්ග හා අනෙකුත් ප්‍රතිකර්ම පිළිබදව එම අමාත්‍යාංශය, ආයුර්වේද දෙපාර්තමේන්තුව, පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව සහ ප්‍රජා සෞඛ්‍ය ආයුර්වේද වෛද්‍ය නිලධාරීන් විසින් මහජනතාව දැනුවත් කරන බවයි.

“තම ශරීර ප්‍රතිශක්තිය වර්ධනය උදෙසා දේශිය වෙද්‍ය ප්‍රතිකර්ම භාවිත කළ යුත්තේ, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලබා දී ඇති මාර්ගෝපදේශයන්ට අනුකූලව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර ඇති සෞඛ්‍ය උපදේශ ඒ ආකාරයෙන්ම තව දුරටත් පිළිපදිමින්ම බව අවධාරණය කරනු කැමැත්තෙමි. ”

ගෙවී ගිය සිය තුළ ශ්‍රී ලංකාවෙන් දිනකට වාර්තා වන රෝගීන් සංඛ්‍යාව දහස ඉක්මවා තිබුනි.

Social Sharing
නවතම