රටක ආර්ථිකය නැංවීමට මුලිකවම බලපාන්නේ එරට ව්‍යාපාරික ප්‍රජාවගේ ආකල්ප

economic crisis in Sri Lanka capital market central bank

වරලත් ගණකාධිකාරී හර්ෂ ගුණසේන

රටක  ආර්ථිකය නැංවීමට එරට සමාජ චින්තනයට අමතරව ව්‍යාපාරික ප්‍රජාවගේ ආකල්ප ද බෙහෙවින් බලපායි. ව්‍යාපාරයක් යනු අත්‍යන්තයෙන්ම තරඟකාරී එකකි. එය තරඟ කල යුත්තේ සමාන ව්‍යාපාර සමග පාරිභෝගිකයා දින ගැනීම සඳහා ය. තරඟයක් නොමැති අවස්ථා වලදී පවා  පාරිභෝගිකයා හෙවත් තමන්ගේ භාණ්ඩ හෝ සේවා හෝ ලබාගන්නා තැනැත්තාට ප්‍රමිතියෙන් ඉහළ දෙයක් දීම සාමාන්‍ය මනුෂ්‍ය ගුණධර්ම අනුවද අත්‍යවශ්‍ය දෙයකි.

සමහර ව්‍යාපාරිකයන් තරඟ කරන්නේ පාරිභෝගිකයා සමඟය. පාරිභෝගිකයා ගෙන් වැඩිම ලාභයක් ලබන්නේ කෙසේදැයි ඔවුහු කල්පනා කරති. මෙය ඉතාම කෙටි කාලීන ක්‍රියාවකි. ලෝකය පවතින්නේ දීම සහ ගැනීම මතය. රාජ්‍ය සේවකයා සිය සේවය ජනතාවට දී වැටුප් රජයෙන් ලබා ගනී.  ව්‍යාපාරිකයා භාණ්ඩ හෝ සේවා හෝ දී මුදල් ලබා ගනී.  වෛද්‍ය වරයා විටෙක රාජ්‍ය සේවකයා ගේ භූමිකාව ද විටෙක ව්‍යාපාරිකයා ගේ භූමිකාවද කරයි. දෙන දෙය ගන්නා දෙයට වඩා ගන්නා තැනැත්තාට හැඟී යන ආකාරයට වැඩි අගයක් ගනී නම් එය දෙන පුද්ගලයා ගේ දීර්ඝ කාලීන පැවැත්මට හේතුවේ.

ඕනෑම ව්‍යාපාරයක ප්‍රමුඛ අරමුණ වන්නේ පැවැත්මයි. ලාභ නොවේ. පැවැත්ම සඳහා ලාභ අවශ්‍ය වන අතර සමහර අවස්ථා වලදී කෙටි කාලීනව ලාභ කැපකර එනම් අලාභ විඳ පැවැත්ම ආරක්ෂා කර ගත යුතුවේ. දීර්ඝ කාලීනව අලාභ විඳිමින් පැවැත්ම ආරක්ෂා කර ගත නොහැක. එසේ කළ හැකි ව්‍යාපාර ද තිබේ. ශ්‍රී ලංකාවේ සමහර රාජ්‍ය ව්‍යාපාර මෙයට උදාහරණ වශයෙන් දැක්විය හැක. ඒවා අකාර්යක්ෂම කළමණාකරණය නිසාද දේශපාලන බලධාරීන්ගේ අන්තේවාසිකයන්ට රැකියා අවස්ථා ලබාදීම නිසාද රජය මගින් ජනතාවට යම් සහනාධාර ලබාදීමේ වාහකයක් වීම නිසාද ලාභ නොලබන ව්‍යාපාර බවට පත්වී ඇත. මේවා ප්‍රධාන වශයෙන්ම මේ ආකාරයෙන් පවත්වාගෙන යන්නේ රටේ පවතින ප්‍රමුඛ එමෙන්ම අප්‍රබුද්ධ එනම් මුග්ධ මතවාදන් නිසාය.

පැවැත්ම සඳහා ව්‍යාපාරයකට ස්ථායි පාරිභෝගිකයන්  පිරිසක් අවශ්‍යවේ. මෙම පාරිභෝගිකයන්ට  පහසුකම් සැලසීම හෙවත් ඔවුන් ඉල්ලන දේ ඔවුන් බලාපොරොත්තු වූවා ටත් වඩා හොඳින් ලබා දීම හරහා වෙළෙඳාම හෙවත් පිරිවැටුම ඉහළ යයි. ඒ අනුව වෙළෙඳ පිරිවැටුම පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා ඉටු කිරීම වෙනුවෙන් ලැබෙන ප්‍රතිඵලයකි. එමෙන්ම ව්‍යාපාරය වෙනුවෙන් කෙරෙන වියදම් පාලනය කින් යුතුව කරගෙන යා යුතුය. එහි ප්‍රතිඵලය ලාභයයි. කෙටි කාලීනව අයුතු ලාභ ලබා ගැනීමට උත්සාහ කළහොත් ව්‍යාපාරයේ පැවැත්ම තර්ජනයට ලක් විය හැක. එබැවින් ව්‍යාපාරය පවතින්නේ හේතු ඵල සම්බන්ධතා රාශියක ඵලයක් වශයෙනි.

අද වෙළෙඳාම හෙවත් අලෙවි කරණය බොහෝ ව්‍යාප්ත වූ විෂයයක් බවට පත්වී තිබේ. මෙම විෂයේදී නිර්දේශ කරන්නේ පාරිභෝගිකයාට  රජකුට ලෙස සලකන ලෙසය. එනමුත් ප්‍රයෝගික තත්ත්වයන් හිදී රජුට ටිකක් ඉවසිල්ලෙන් සිටින ලෙස කීමට සිදුවන අවස්ථා ද තිබේ. ශ්‍රී ලංකාවේ දී මෙම රජුට නීචයකුට ලෙස සලකන අවස්ථා බොහෝ තිබේ. රාජ්‍ය සේවයේ නිලධාරීන්ගේ පාරිභෝගිකයන් වන්නේ මහජනතාවයි. කලකට පෙර රාජ්‍ය නිලධාරීන් විසින් මහජනතාවට ලියනු  ලැබූ ලිපි වල අත්සනට ඉහළින් ‘ඔබගේ කීකරු සේවක’ යන යෙදුම දක්නට ලැබුණි. දැන් එවැනි යෙදුමක් ලියවිල්ලේ හෝ ක්‍රියාවේ හෝ නොමැත. රාජ්‍ය නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාවය ලොව පුරා පැතිරුණු දෙයකි. එනමුත් ලංකාවේ සමහර නිලධාරීන් යම් බල අධිකාරිත්වයක් ආරෝපණය කරගෙන ජනතාව පෙලීමේ නිරතව සිටිති. වර්තමාන කොවිඩ් තත්ත්වය ජනතාව පෙළීමෙහි ලා වාහකයක් ලෙස ඔවුහු පාවිච්චි කරති.

වෛද්‍යවරයා ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නකු ලෙස සැලකුව හොත් (ඔවුන් බොහෝ දෙනෙක් පවත්වාගෙන යන්නේ ව්‍යාපාරය) රෝගියා ඔහුගේ හෝ ඇයගේ හෝ පාරිභෝගිකයා ය. මෙම පාරිභෝගිකයාට  සමහර වෛද්‍යවරු සලකන්නේ රජකුට නොව නීචයකුට පරිද්දෙනි. චැනල් සේවයේ යෙදෙන වෛද්‍යවරු  පොරොන්දු වන වේලාවට නොපැමිණෙන අතර ප්‍රමාදය විනාඩි ගණන් නොව පැය ගණන් වේ. රෝගියා ගේ ප්‍රශ්ණ වලට වෛද්‍යවරයා විස්තරාත්මක පිළිතුරු නොදෙන අතර ඔහු/ඇය රෝගියාට විධාන නිකුත් කරයි. සමහර අවස්ථා වලදී ඔවුහු ඖෂධ වෙළෙන්දන් ගෙන් අල්ලස් ලබාගෙන සිය පාරිභෝගිකයා ට අඩුමිල බෙහෙත් තිබියදී සන්නාම සහිත වැඩිමිල බෙහෙත් නියම කරති. දියවැඩියාව වැනි දීර්ඝ කාලීනව ප්‍රතිකාර ගතයුතු රෝග වලටද මෙවැනි ප්‍රතිකාර නියම කරණ වෛද්‍යවරු වෙති. මෙම සමස්ත ක්‍රියාවලිය නොමනා  ක්‍රියාවලියකි. මේවාට පැවැත්මක් නොමැත. මෙම තත්ත්වයන්ට එරෙහිව රජයක් විසින් ගතයුතු ක්‍රියාමාර්ග දෙකක් ඇත. එකක්  නියාමනයයි. අනෙක සුදුසු කම් ලත් විදේශ වෛද්‍ය වරුන්ට මෙරට වෙළෙඳ පොළ විවෘත කිරීමයි.

මේ සඳහා වෙනත් ක්‍රමයක්ද ඇත. සිය පාරිභෝගිකයාට හෙවත් රෝගියාට රජකුට ලෙස සලකන වෛද්‍යවරයාගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වනු ඇත. මෙම වෙනස කිරීමෙන් තමන් හා තරඟ කරණ අනෙකුත් වෛද්‍යවරුන්ට වඩා ඉහළින් සිටීමට ඔවුන්ට හැකි වනු ඇත. එමෙන්ම සමස්ත ක්ෂේත්‍රයේම වෙනසක් කිරීමට ඔවුන්ට හැකි වනු ඇත. උදාහරණයක් ගතහොත් කලකට ඉහත ත්‍රිරෝද රථ වලට මීටර් සවිකිරීමට ආණ්ඩුව උත්සාහ ගත් නමුත් ත්‍රි රෝද රථ වල රියැදුරන්ගේ විරෝධය නිසා එය නොකළ හැකි විය. පසුව එක් සමාගමක් විසින් මීටර් සහිත ත්‍රි රෝද රථ වෙළෙඳ පොළට හඳුන්වා දෙන ලදී . ඉන් පසුව පාරිභෝගික ඉල්ලුම මීටර් සහිත ත්‍රිරෝද රථ සඳහා විය. ඒ අනුව අනෙකුත් රියදුරෝද තම ත්‍රිරෝද රථ වලට මීටර් සවිකර ගත්හ. ඉල්ලුමට සරිලනසේ සැපයුම තිබිය යුතුය. රජය විසින් නොකළ හැකිවූ කාර්යය වෙළෙඳ පොළ විසින් සිදු කරණ ලදී.

පුද්ගලික ව්‍යාපාර සිය පාරිභෝගිකයන්ට නොසැලකිල්ලෙන් සලකන අවස්ථා බොහෝ තිබේ. මෙය ව්‍යාපාර දියුණුවට විශාල බාධාවකි. නව පාරිභෝගිකයන් සෙවීමට වඩා වැදගත් වන්නේ සිටින පාරිභෝගිකයන් රැක ගැනීමයි. ඔවුන්ට හොඳ ප්‍රමිතියක භාණ්ඩ සැපයිය යුතුය. ලංකාවේ තිබෙන බොහෝ ව්‍යාපාර සිය නිෂ්පාදන සඳහා වන වියදම ඉහළ යන විට භාණ්ඩ වල ප්‍රමිතිය අඩු කරති. නිෂ්පාදන වියදම ඉහළ යන විට කලයුත්තේ අඩු වියදමකින් සිය භාණ්ඩ හෝ සේවා හෝ නිමවීමට ක්‍රම සහ විධි සොයා ගැනීමයි. එසේ නොකළ හැකිනම් භාණ්ඩ වල විකුණුම් මිල ඉහළ දැමීමට සිදුවේ. වෙළෙඳ පොළේ තරඟ කාරී භාණ්ඩ වල මිල සිය භාණ්ඩයේ මිලට වඩා අඩුනම් සිය භාණ්ඩ විකුණා ගැනීමට අසීරු විය හැකිය. කෙසේ වෙතත් භාණ්ඩ වල ප්‍රමිතිය අඩු කිරීම පාරිභෝගිකයා රැවටීමක් වන අතර එය නොකළ යුතු ක්‍රියාවකි. පාරිභෝගිකයා රවටන වෙළෙන්දාට පැවැත්මක් නොමැත.

රොබට් නොක්ස් විසින් ක්‍රි ව 1681 දී රචිත ඇන් හිස්ටොරිකල් රිලේෂන් ඔෆ් සිලෝන් නැමැති ග්‍රන්ථයේ මෙම දිවයිනෙහි වාසීන් පිලිබඳ කොටසේ ඔහු සිංහලයන් ගැන මෙසේ කියයි. “ඔවුහු ඉතා සට කපට කිසිම ප්‍රකාශයක්  කෙරෙහි විශ්වාසය නොතැබිය හැකි පිරිසක් වෙති. ඔවුන් කථා කරණ ප්‍රසන්න සහ ආචාරශීලි ස්වභාවය අනුව ඔවුන්ගේ ගති පැවතුම් සහ චරිත ස්වභාවය නොදන්නා අයෙක් ඉතා පහසුවෙන් රැවටීමට ඔවුන්ට පුළුවන. බොරු කීම සහ ඒ බව අනුන් දැනගැනීම සම්බන්ධයෙන් කිසිම වගවීමක් හෘදය සාක්ෂියක්, ලජ්ජාවක් හෝ නින්දාවක් ඔවුන්ට නැත. එය සාමාන්‍ය දෙයකි.”

වෙළෙඳාමේ දී එය කිසිසේත්ම සාමාන්‍ය දෙයක් නොවේ. මෙවැනි ක්‍රියා කලාපයක් සිය ව්‍යාපාරයේ පැවැත්ම බරපතල අර්බුදයකට හෙලීමට හේතුවනු ඇත. මෙරට නිෂ්පාදනයේ සහ වෙළෙඳාමෙහි යෙදෙන්නන් ගේ පොදු විඥාණයේ  රොබට් නොක්ස් ගේ ඉහත ප්‍රකාශයේ සෙවනැල්ලක් තිබෙතැයි කිවහැක. විශේෂයෙන්ම අපනයන වෙළෙඳාමට පිවිසෙන නවකයන් මෙම කාරණය පිලිබඳ සැලකිලිමත් විය යුතුය.

ලංකාවෙන් පිටරට යවන කුරුඳු සහ පොල්කොහු කර්මාන්ත බොහෝ සෙයින් එම වගාවන් පැතිරුණු පළාත්වල කුඩා පරිමාණයේ කර්මාන්ත ලෙස පවත්වාගෙන යනු ලැබේ. ඒවායේ ප්‍රමිතිය පිලිබඳ වැටහීමක් එම ව්‍යාපාර වල යෙදෙන්නන්ට නොමැත. ලංකාවේ තිබෙන වර්ගයේ කුරුඳු ලෝකයට සපයන ප්‍රමුඛ තම රට වන්නේ ශ්‍රී ලංකාවයි. එම කුරුඳු වලට විශාල ඉල්ලුමක් ලෝකයේ තිබේ. එනමුත් කුරුඳු නිෂ්පාදන ක්‍රියාවලිය ඉතාමත් පසුගාමිය. නිෂ්පාදන ක්‍රියාවලියේදී නිපදවන්නන් විශේෂයෙන්ම කම්කරුවන් විසින් ලෙහෙසිය පහසුව සහ කෙටි කාලීන ලාභය උදෙසා අප ද්‍රව්‍ය නිමි භාණ්ඩයට ඇතුළත් කරනු ලැබේ. නිෂ්පාදනයේ යෙදෙන කම්කරුවන්ගේ හිඟය නිසා නිෂ්පාදන ක්‍රියාවලිය සම්බන්ධව ඔවුන්ගේ අධිකාරිත්වයක් තිබේ. ඔවුන්ගේ කුලියද ඉතා ඉහළය. මෙම කුරුඳු වල ලෝක සැපයුම සීමිත නිසා සාපේක්ෂව ඉහළ මිලක් මෙරට කුරුඳු වලට ලැබේ. එනමුත් භාණ්ඩ වල ප්‍රමිතිය ඉහළ නංවා ගත හැකිනම් මෙයට වඩා බොහෝ ඉහළ මිලක් මෙරට කුරුඳු වලට ලබා ගත හැක. එසේ නොවන්නේ භාණ්ඩ වල ගුණාත්මක භාවය සහ පාරිභෝගිකයාගේ කැමැත්ත පිලිබඳ වැටහීමක් කර්මාන්තයේ පහල ස්ථර වලට නොමැති වීමයි. කොහු කර්මාන්තය පිලිබඳ තත්ත්වයද මෙසේය. ඔවුන් නිපදවන්නේ බාල වර්ගයේ කොහු වන අතර බොහෝ විට බර වැඩි කර ගැනීම සඳහා වතුර මිශ්‍ර කර කර්මාන්ත ශාලා වෙත එවන ප්‍රවනතාවයක්ද තිබේ.

අප මෙරට වෛද්‍යවරු පිළිබඳවද රාජ්‍ය නිලධාරීන් පිළිබඳවද  ත්‍රිරෝද රථ හිමියන් පිළිබඳවද කුරුඳු සහ කොහු කර්මාන්තවල  යෙදෙන්නන් පිළිබඳවද සාකච්ඡා කළෙමු. ඔවුහු සමාජයේ ඉහළ සිට පහලට හරස්කඩක් නියෝජනය කරති. ඔවුන් සියල්ලන්ගේම මහා පොදු සාධකයක් තිබේ. එනම් සිය පාරිභෝගිකයන් කෙරෙහි දක්වන අඩු සැලකිල්ලයි. මගේ නිරීක්ෂණය මෙය අපගේ ජාතික දුර්වලතාවයක් බවයි. රොබට් නොක්ස් විසින් ඉදිරිපත් කළ මානසිකත්වය අප විසින් හළ යුතුය. මෙම ජාතික දුර්වලතාවය ජය නොගත හොත් රාජ්‍ය ප්‍රතිපත්ති කෙතරම් සැකසුවත් රටේ ආර්ථිකය ඉහළ නංවා ගැනීම අපහසු කටයුත්තක් වනු ඇත.

Social Sharing

Related posts