හිට්ලර්ව ඉල්ලපු දිලුම් අමුණුගමට ජර්මන් තානාපතිගෙන් කනේ පාරක්!

ශ්‍රී ලංකාවේ වත්මන් ජනාධිපතිවරයා ජනඝාතක පැසිස්ට්වාදී ජර්මන් ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර් මෙන් ඒකාධිපතියකු වී රට පාලනය කළ යුතු බවට රජයේ අමාත්‍යවරයකු කළ ප්‍රකාශය ශ්‍රී ලංකාවේ ජර්මන් තානාපතිවරයාගේ දැඩි දෝෂ දර්ශනයට ලක් වී තිබේ.

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම අප්‍රේල් 12 සඳුදා මහනුවර පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබුනේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා හිට්ලර් කෙනකු වනු ඇත යන්න තමන් ඇතුළු ඡන්දදායකයන්ගේ බලාපොරොත්තුව වූ බවයි.

“ආණ්ඩුවට ජනතාව චෝදනා කරනවානම්, කරන්නේ ජනතාව බලාපොරොත්තු උනා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරයා උනහම යම් මට්ටමක ඒකාධිපති පාලනයක් කරගෙන යයි කියලා. ඒක අපි දැක්කා පහුගිය ගරුතර මහා සංඝරත්නයත් කිව්වා ඒකාලේ හිට්ලර් කෙනෙක් උනත් කමක් නැහැ. එහෙම උනොත් හොදයි කියලා. නමුත් දැන් මේ හිට්ලර් කෙනෙක් නොවීම තමයි මේ දෝෂාරෝපන වලට හේතු වෙලා තියෙන්නේ. ඉතින් ඒක මම උනත් පිළිගන්නවා. මොකද එතුමාට ඡන්දය දීපු හැට නම ලක්ෂයක් ජනතාව බලාපොරොත්තු වෙනවා එතුමා යම් විදිහට හිට්ලර් කෙනෙක් හැටියට ක්‍රියාත්මක විය යුතුයි කියලා . එහෙම නොවුනාම එතුමා‌ට දොස් කියනවා.”

රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය හෙළා දකිමින් ට්විටර් පණිවිඩයක් ඔස්සේ ශ්‍රී ලංකාවේ ජර්මන් තානාපති හොල්ජර් සියුබර්ට් (Holger Seubert) අවධාරණය කර ඇත්තේ ඇඩොල්ෆ් හිට්ලර් යනු දේශපාලකයකුට කිසිසේත් ගැලපෙන පරමාදර්ශී චරිතයක් නොවන බවයි.

“හිට්ලර් කෙනකු ශ්‍රී ලංකාවට සුබදායක වේ යයි මට අසන්නට ලැබේ. ඇඩොල්ෆ් හිට්ලර් යනු දශලක්ෂ සංඛ්‍යාත මරණද ඇතුළුව හිතාගත නොහැකි තරමේ දුක් කම්කටොලු හා අපේක්ෂා භංගත්වයට වගකිව යුත්තා බව එම හඬ නගන අයට මා විසින් සිහිපත් කර දිය යුතුය. ඒ නම් දේශපාලකයකුට කිසිසේත් ගැලපෙන පරමාදර්ශී චරිතයක් නොවේ.”

තානාපති සියුබර්ට් ගේ ප්‍රකාශය අනුමත කරමින් ශ්‍රී ලංකාවේ කැනඩා තානාපති ඩේවිඩ් මැකිනොන් “මගේ ජර්මානු වෘත්තීය සගයාගේ වදන් ඥානාන්විත බවයි.

එකවර හිට්ලර් කෙනෙකු වීමට ජනාධිපතිවරයාගේ කැමැත්තක් නොමැති බවට පැවසු රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම එසේවෙතත්, හිට්ලර් කෙනෙකු දක්වා ඔහු තල්ලු වීමට ඉඩ ඇති බවට අනතුරු අඟවා සිටියේය.

රාජ්‍ය අමාත්‍ය ප්‍රකාශය සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහට ලක්වී තිබුණි.

තමන් ආරක්ෂක ලේකම් සමයේ මෙන් සැඩ පරුෂ පාලනයක් පවත්වාගෙන යාමට ඇති සූදානමත් ජනාධිපතිවරයා විසින් මේ වසර මුලදී ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබුණි.

“අපිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එපා, අපිට ඕනෑ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ” යැයි බෞද්ධ භික්ෂුන් තමන්ගෙන් කරන ඉල්ලීම පරිදි කටයුතු කළ හැකි බව ජනාධිපතිවරයා කියා සිටියේ අම්පාරේ පවතී ගම සමග පිළිසඳර වැඩසටහනක් අමතමිනි.

බෞද්ධ භික්ෂුන්ගේ ආශිර්වාදය

හිටපු ආරක්ෂක ලේකම්වරයා  සිය උපන්දිනය වෙනුවෙන් 2018 වසරේ  පැවැත්වු සාංඝික දානයකදී අස්ගිරි පාර්ශවයේ අනුනායක වෙඬරුවේ උපාලි අනුනාහිමියන් අනුශාසනා කර තිබුනේ ශ්‍රී ලංකාවේ මීළඟ විධායක ජනාධිපති ලෙසින් තේරී පත්වුවහොත් “හිට්ලර් කෙනෙක් වෙලා හරි” රටේ නිසි පාලනයන් පවත්වාගෙන යන ලෙසයි.

“ඔබතුමා හිට්ලර්වරයෙක් විදියටත් හඳුන්වල තියෙනව. ඉතින් අපි මතක් කරනවා හිට්ලර් කෙනෙක් වෙලා හරි මේ රට හදන්න කියන එක තමයි මහා සංඝරත්නය අවසාන වශයෙන් මතක් කරන්නේ,” යනුවෙන් වෙඬරුවේ උපාලි අනුනාහිමියන් අනුශාසනා කරන අන්දම එවකට  ජනමාධ්‍ය ඔස්සේ පුළුල් ලෙස ප්‍රචාරය කර තිබුණි.

“මිලිටරි පාලනයක් හරි අරගෙන ගිහින් මේක හදන්න කියල නැවතත් මතක් කරනවා,” යනුවෙන් ද අස්ගිරි පාර්ශවයේ අනුනායක හිමියෝ එහිදි වැඩි දුරටත් පවසා තිබුනි.

මහින්ද රාජපක්ෂ පාලන සමයේ ගෝඨාභය රාජපක්ෂ ලේකම්වරයා යටතේ පැවති ආරක්ෂක සේනා කළ බවට චෝදනා නැගෙන යුද අපරාධ සම්බන්ධයෙන් තොරතුරු රැස් කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය මහකොමසාරිස් වරියට බලය පැවරුවේ පසුගිය මාසයේය.

dilum amunugama Gotabaya Hitler Ambassador Holger Seubert

 

Social Sharing
නවතම