ඉන්දියාවේ උද්දච්ච නරේන්ද්‍රමෝඩිට දෙවෙනි නෑ අපේ පාලකයෝ – වකමුල්ලේ උදිත හිමි

අපේ රට දිවයිනක්. බුද්ධිමත් පාලකයෙකුට මේ දිවයින තුළ කොවිඩ් පාලනය කිරීම සදහා එතරම් අසීරු වන්නේ නෑ. අපේ රටට පිටරැටියන් එන මාර්ග දෙකයි තිබෙන්නේ. එකක් තමයි ගුවන් මගින්. අනෙක තමයි මුහුද මගින්.  ඒ දෙක පාලනය කරන්න ආණ්ඩුව උනන්දු වූවානම් මේ ව්‍යසනයට මේ රට ට මුහුණ දෙන්න වෙන්නේ නෑ. උදයංග වීරතුංගගේ විනෝදාංශය වෙනුවෙන් ආණ්ඩුව මේ රට බිල්ලට දුන්නා යැයි ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් වකමුල්ලේ උදිත හිමියන්  29 දින  පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

ආණ්ඩුව කොවිඩ් වසංගත තත්වයට මුහුණ දෙනවා වෙනුවට තම බලය තහවුරු කර ගැනීම සදහා කටයුතු කරමින් සිටිනවා. පසුගිය වසරේ ජනවාරි මාසයේදී මේ රට ට කොවිඩ් වසංගතයට මුහුණ දෙන්න සිදු වුණා. එම කාල වකවානුවේ සිට අද වන තෙක් කොවිඩ් වසංගතය පාලනය කරනවා වෙනුවට ආණ්ඩුව මුල් තැන දුන්නේ තම  බලය තහවුරු කර ගැනීම සදහා පමණක් බවට ඕනෑ තරම් නිදසුන් අපට ඉදිරිපත් කරන්න පුළුවන්.

මෑතකදී ඊට දිය හැකි හොදම උදා හරණය වන්නේ සිංහල දෙමළ අළුත් අවුරුදු සමයේදී මේ රට කොවිඩ් වසංගතයට මුහුණ දෙන රටක් බව අමතක කරමින් ආණ්ඩුව කටයුතු කළා. ආණ්ඩුවේ එම ප්‍රතිපත්තිය නිසා මෙරට ජනතාව උපරිම ලෙස සංචරණයට යොමු වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස අද වෙන විට දහසකට කොව්ඩ් ආසාධිතයින් රට තුළ බිහි වෙමින් තිබෙනවා.

ඒ සමගම ආණ්ඩුවේ පාර්ශව කම්කරු දිනය වෙනම සමරන්නට යාමත් සමඟ ආණ්ඩුවට කොවිඩ් වසංගතය මතක් වුණා. දැන් කොවිඩ් නීති උපයෝගී කරගනිමින් විරුද්ධ පාර්ශවයන්ගේ මත සමාජ ගතවීම වැලැක්වීම සදහා ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නවා.

සෞඛ්‍ය අංශ පවසන්නේ ලංකාවද ඉන්දියාවේ තත්වයට පත් වීම සදහා ආසන්න මට්ටමට එමින් තිබෙන බවයි. අපට පෙනෙනවා මේ පාලකයින් නිසා මෙරට ජනතාවට වැඩි කල් නොගොස් හුස්ම ටිකක් ඉල්ලමින් මහ මඟ  යදින්නට සිදු වෙනවා. මෙවැනි අවාසනාවන්ත තත්වයකට මේ රට පත් කළේ මේ රටේ සාමාන්‍ය මිනිසුන් පිළිබදව පාලකයින්ට කිසිදු වටිනාකමක් නැති නිසා.

ඉන්දියාවේ නරේන්ද්‍රමෝඩි අගමැති වරයා උද්දච්ච පාලකයෙක් බවට නන්දරා සිටිනවා. ඊට නොදෙවෙනි ලෙස අපේ පාලකයින් කටයුතු කරමින් ඉන්නවා. අපේ පාලකයින් බුද්ධිමතුන්ගේ  වෘත්තීය වේදීන් ගේ කිසිදු අදහසක් ගණන් ගන්නේ නැතිව කටයුතු කරමින් ඉන්නවා. ඇමතිනී සුදර්ශනී පුල්ලේ මැතිනිය මෑතකදී ප්‍රකාශ කොට තිුබුණා අළුත් අවුරුදු සමයේ සංචරණය සීමා කරන්න කැබිනට් මණ්ඩලයට ගෙන ආ යෝජනාව පරාජයට පත් වුණා කියලා. කැබිනට් මණ්ඩලයේ ඉන්නේ මේ රට ට ආදරය නැති පිරිසක් බව ඉන් නැවත වරක් තහවුරු වෙනවා.

එමෙන්ම විද්‍යාත්මක ක්‍රම වේද යොදා ගනිමින් කොවිඩ් වසංගතය පාලනය කරනවා වෙනුවට ආණ්ඩුව මිත්‍යාව පසුපස. ජනාතව ඒ දෙසට ගමන් කරන තැනට මේ රට ගෙනාව. ඊට හොදම උදාහරණය වන්නේ ධම්මික පැණියයි. ඊට අමතරව සෞඛ්‍ය ඇමති තුමිය මුට්ටි ගංගාවල පා කළා. එහෙම මේ වගේ දරුණු වසංගතයකට උත්තර හොයන්න පුළුවන්ද ?

කොවිඩ් වංසගතය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධනායේ මතය වන්නේ හැකි තරම් පරීක්ෂණ වලට යන්නැයි කියන කාරනාව. නමුත් ජනාධිපතිවරයා මී මුරේදී ගම සමඟ පිළිසදරක් වැඩ සටයහනේදී කිවුවේ කුමක්ද? PCR වෙනුවට එන්නත් ලබා දෙන බවයි. ලෝක සෞඛ්‍ය සංවිධනය කොවිඩ් ටෙස්ටින් වලට වැඩි අවධානය යොමු කරද්දී ජනාධිපතිවරයා එන්නත් ගැන විශ්වාසය තැබුවා. එහෙම මතයක ඉන්න ජනාධිපතිවරයෙක් පාලනය කරන රටේ කොවිඩ් එන්නත මේ වන විටත් ලබා දී තිබෙන්නේ ජනතාවගෙන් සියයට 4.2 දෙනෙකුට පමණක් බව සෞඛ්‍ය අංශ පවසනවා.

ආණ්ඩුවේ මේ අමනෝඥ පාලන ක්‍රමය නිසා මේ රටේ ජනතාවට රෝග බියෙන් පෙළෙන්නට සිදු වෙලා තිබෙනවා. ආණ්ඩුවේ මේ ප්‍රතිපත්තයට මේ රටේ බුද්ධිමත් ජනතාව නිහඩව සිටිය යුතු නැති බව ජාතික භික්ෂු පෙරනුනේ මතය බව සදහන් කරන්න කැමතියි. ආණ්ඩුවේ මේ ගමන නවතා නිරෝගමත් ජනතාවක් රට තුළ ඇති කිරීම සදහා ජාතික භික්ෂු පෙරමුණේ අපි පෙරමුණ ගන්නවා.

-චන්ද්‍රසේන ගමගේ-

Social Sharing
නවතම