කොවිඩ් වසංගතය හා දක්ෂිණාංශික දේශපාලනය : විකල්ප කතිකාව

Covid epidemic and right-wing politics

දේශපාලනයේදී බොර දියේ මාළු ඇල්ලීම යනුවෙන් හැඳින්වෙන්නේ රටක පවතින අර්බුදකාරී ත්ත්වය ප්‍රයෝජනයට ගෙන දේශපාලන බලය අත්පත් කර ගැනීමට කරන උත්සාහයයි. මෙය බොහෝවිට රැඩිකල් දක්ෂිණාංශ මෙන්ම රැඩිකල් වම ද ප්‍රයෝජනයට ගනු ලබයි. අද වන විට වසරකට වැඩි කාලයක් ගතවී ඇති කොවිඩ් වසංගතය, වසර සියයක පමණ කාලයකදී ලෝකයම මුහුණ දුන් විශාලතම සෞඛ්‍ය අර්බුදය බවට පත්ව ඇත.

මීට වසර සියයකට ඉහත දී ස්පාඤ්ඤ උණ නමින් හැඳින් වූ වසංගතයෙන් පසු මිනිස් සංහතිය මුහුණ දෙන ප්‍රථම ගෝලීය වසංගතය මෙයයි.

ආරම්භයේදීම විවිධ රටවල් එක් එක් ආකාරයේ උපක්‍රමයන් තුළින් මෙම රෝගය දමනය කිරීම උත්සාහ කළ නමුත් මේ වන තුරු ලොව කිසිම රටකට මෙම රෝගය මුළුමනින්ම තම රටින් තුරන් කර ගැනීමට හැකිවී නොමැත. පසුගිය මාස 16 ක කාලය තුල ලොවපුරා මිලියන 140 ක් පමන මෙම රෝගයට ලොදුරු වී ඇති අතර මිලියන 3 ක් පමන මියගොස් ඇති බව සඳහන් වෙයි.

බටහිර ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ ඇති රටවල් වසංගතයට මුහුණ දීමේදී ක්‍රියාත්මක කරගෙන යන සීමා පැනවීම් පිළිබඳ අර්බුදකාරී තත්ත්වයන් මතුව තිබේ. අධිපතිවාදී හෝ ඒකාධිපතිවාදී රාජ්‍යයන් තුළ නම් මෙවැනි වසංගතයකදී රජය ගන්නා තීරණ ගැන ප්‍රශ්න කිරීමට හෝ කතා කිරීමට ජනතාවට ඇති ඉඩකඩ ඉතා සීමිත බැවින් එවැනි රජයන් ගන්නා තීරණ කිසියම් හෝ ආකාරයක ප්‍රශ්න කිරීමකට ලක් නොවේ. නමුත් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ පවතින රටවල්වල, විශේෂයෙන්ම ජර්මනිය වැනි රටවල, මෙවැනි සීමා පැනවීම් පිළිබඳ ගන්නා තීරණ ප්‍රශ්න කිරීම විවිධ පැති වලින් සිදු වෙයි.

දක්ෂිනාංශික කණ්ඩායම්

දෙවන ලෝක යුද්ධයෙන් පසු මෙතෙක් ඇතිවූ විශාලම සමාජ අර්බුදය වන මෙම වසංගතයෙහිදී රජය විසින් පනවනු ලබන සීමා පිළිබඳ ජර්මනිය තුළ විවිධ දක්ෂිනාශික කන්ඩායම් විසින් ප්‍රශ්න කිරීම් සහ විරෝධයපෑම් මතුව ඇත.

සහජයෙන්ම මානව නිදහසට විරුද්ධ දක්ශිනංශික පිරිස් කොවිඩ් වසංගතය සිය වාසියට යොදා ගත්හ

ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් තුළ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි බලවේගයන් සෑම මොහොතකම බලා සිටින්නේ පවතින ක්‍රමය තුළ කවර හෝ අර්බුදයක් මතු වන තුරුය. එවැනි අර්බුදයක් මතු වූ සෑම විටකම දක්ෂිණාංශික කණ්ඩායම්, විශේෂයෙන්ම ජර්මනිය වැනි රටකදී නම්, විශේෂයෙන්ම නව නාට්සි කණ්ඩායම් එම අර්බුදය මුල් කරගෙන පවතින බලයට අභියෝග කිරීමට රට තුළ සිටින විවිධ දක්ෂිණාංශික සහ පසුගාමි කණ්ඩායම් එකට එක් කරගනිමින් විරෝධතා පළ කරමින් සිටිති.

ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක පවතින රාජ්‍යයක දී කිසියම් ප්‍රශ්නයකට දේශපාලන විසඳුම් දීමේදී ඉක්මන් ඒකාධිපතිවාදී විසඳුම් දිය නොහැකිය.

කොවිඩ් වසංගතය ලෝකය පුරා පැතිරෙන විට විවිධ රාජ්‍යයන් එයට මුහුණ දුන් ආකාරය එක හා සමාන නොවේ. අද පවතින සමාජය මීට පෙර අත්දැක නොතිබූ මෙම වසංගතය එනිසාම මර්දන කර ගැනීම තවත් අපහසු විය. මේ හේතුවෙන්ම ඒ ඒ රටවල බලයේ සිටින රජයන් විසින් අනුගමනය කළ ක්‍රියාමාර්ග විවිධය.

බොල්සොනාරෝ සිට ට්‍රම්ප් දක්වා

බ්‍රසීලයේ දක්ෂිනාංශික රජය හෝ ජනාධිපති ට්‍රම්ප් යටතේ ඇමරිකා එක්සත් ජනපදය ගත් ක්‍රියාමාර්ග එක හා සමාන වූ අතර ජර්මනිය වැනි රටවල් ගත් ක්‍රියාමාර්ග ඊට වෙනස් විය. බ්‍රසීලය මෙන්ම ට්‍රම්ප් යටතේ ඇමරිකා එක්සත් ජනපදය මෙම වසංගතය එතරම් සැළකිල්ලට ගත යුතු දෙයක් ලෙස සැළකුවේ නැත. එම නායකයෝ මිනිස් ජීවිත වට වඩා ආර්ථික සුරක්ෂිත භාවය පවත්වා ගැනීමට පිළිබඳ මුල්තැන දුන්හ.

ජර්මනිය වැනි රටවල මෙම රෝගය පැතිරීයාම වළක්වා ගැනීමට සීමා මායිම් පැන වුවත් සම්පූර්ණයෙන් රට වසා දැමීමේ තත්ත්වයකට නොයමින් හෝ තාවකාලිකව වසා දැමීම් පමණක් කරමින් රෝගය විශාලලෙස පැතිරීම වළක්වා ගැනීමටත් එම රෝගය සඳහා එන්නතක් සොයා ගන්නා තුරු කල්අල්ලා සිටීමටත් වැඩ පිළිවෙලක් අනුගමනය කරන ලදී.

බාරදූර ලෙස නොගෙන මෙම වසංගතය පිළිබඳ ලිහිල් පිළිවෙතක් අනුගමනය කළ රටවල විශාල වශයෙන් රෝගය පැතිරීමත්, දස දහස් ගණනින් රෝගීන් මිය යාමත් සිදුවීය. ජර්මනිය වැනි රටවලත් රෝගය දිගින් දිගටම පැතිරගිය නමුත් රෝහල් පිරී ඉතිරී යාම වළක්වා ගැනීමට ඔවුනට ඉඩක් ලැබුණි. නමුත් ඇමරිකා එක්සත් ජනපදය සහ බ්‍රසීලය වැනි රටවල් වල රෝහල් පිරී ඉතිරී ගිය අතර එම තත්ත්වය තුළ විශාල වශයෙන් රෝගීහු මිය ගියහ. අද ඉන්දියාවෙහිද මතුව ඇති ඛේදනිය තත්වය දක්ෂිණාංශික හින්දුත්වා දේශපාලනය මහඟ බැදී තිබේ.

අගමැති මෝඩි හින්දුත්වා මතවාදය සහ නව ලිබරල් ආර්ථික පිළිවෙත මගින් ඉන්දියාව ව්‍යසනය කරා ගෙන ආවේය.

ප්‍රජාතන්ත්‍රවාදී රටක ජනයාට තම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, නිදහසේ හැසිරීමේ අයිතිය, සහ රජය ගන්නා පියවරයන්ට එරෙහිව විරෝධය පෑමට ඇති අයිතිය තහවුරු කර තිබේ. එම තත්වය තුළ මේ වසංගත තත්වයේදී ජර්මනියෙහි දක්ෂිණාංශික කණ්ඩායම් තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සීමා කරනවා යයි කියමින් තමනට අදහස් ප්‍රකාශ කිරීමට, නිදහසේ හැසිරීමට, ඇති අයිතියට සීමා පැණවීමක්යැයි පවසමින් පවතින රජය විසින් වසංගතය පැතිරීම වැළැක්වීමට පනවන ලද සමාජ සීමාවන්ට එරෙහිව විරෝධතා ව්‍යාපාරයන් සංවිධානය කිරීම අරඹන ලදී.

ජර්මනියෙහි මෙම විරෝධතාවයන් සංවිධානය කරන කණ්ඩායම් දෙස බැලූ විට ඔවුන්ගේ අක්මුල් ඇත්තේ එක්කෝ නව නට්සි කණ්ඩායම් තුළ නැත්නම් දක්ෂිණාංශික පැසිස්ට්වාදී බලවේගයන් තුළ බව දැකගත හැක.

යුරෝපය පුරාම වසංගතය පාලනය කිරීමට දැරෙන සමාජ සීමා කිරීම් වලට එරෙහිව මූලිකත්වය ගෙන ඇත්තේ එම සමාජයන්හි මානව හිමිකම්වලට, සංක්‍රමණික අයිතීන්ට, පරිසර අයිතීන්ට, ස්ත්‍රී අයිතීන්ට විරුද්ධ හුදෙක්ම ආර්ථික ප්‍රතිලාභ දෟෂ්ඨිකෝනයෙන් කටයුතු කරන දේශපාලන පක්ෂ සහ බලවේගයන්ය. නමුත් ඇත්ත වශයෙන්ම නම් මෙම කන්ඩායම් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට සම්පූර්ණයෙන්ම විරුද්ධය. ඔවුන්ගේ අවශ්‍යතාවය වසංගතය පාලනය කිරීමට වඩා රජය දුර්වල කිරීමය.

දක්ෂිණාංශය සමඟ එකට සිට ගැනීම

එසේ නමුත් සමහර පුද්ගලයින් සහ කණ්ඩායම් මෙම නව නට්සිවාදීන් හෝ දක්ෂිණාංශික බලවේග සමග හුදෙක් තමනට මෙම වසංගත කාලයේදී පැනවී ඇති නීති සීමාවන් කෙරෙහි ඇති විරෝධය නිසාවෙන් එකට ගමන් කරති. තවත් කණ්ඩායම් පොදුවේම එන්නත් වලට එරෙහි වන්නනෝය. ඒ වාගේම සමහර යෝගී කන්ඩායම් මෙන්ම සමහර පරිසර කණ්ඩායම් ආදිය මෙම දක්ෂිණාංශික ගොනුව සමග එකට ගමන් කරනු දැකිය හැක. අන්තවාදී ආගමික කන්ඩායම්ද මොවුන් සමග අත්වැල් බැඳගෙන සිටී. එපමණක් නොව පවතින රාජ්‍යයට එරෙහි සමහර වාමංශික කණ්ඩායම් සහ පුද්ගලයින් ද එවැනි විරෝධයන් ගමන් කරනු දැකීම විමතියට කරුණකි.

වාමංශිකයකු ලෙස පෙනී සිටින වාසුදේවගේ අද හොඳම සගයා දක්ෂිණාංශික විමල්ය.

මෙම තත්වය ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ උනන්දුවක් දක්වන අප හැමගේම සැළකිල්ලට භාජනය විය යුතු කරුණකි. එනම් වසංගත අවධියක හෝ එවැනි වෙනත් ප්‍රශ්ණයක් මතු වු විට වාමංශික සහ පරිසරවාදී යනාදී දේශපාලන කන්ඩායම් අන්ත දක්ෂිණාංක බලවේගයන් සමඟ එක්ව ගමන් කළ යුතුද යන්නයි.

අන්ත දක්ෂිණාංශික කන්ඩායම් කොවිඩ් වසංගත සමාජ සීමාවන්ට මුවාවී සිය ප්‍රතිරූපය සහ බලය ගොඩ නඟාගැනීමට දරන ප්‍රයත්නයන්ට එරෙහිව බොහෝ ප්‍රගතිශීලී බලවේගයන්, ඇත්ත වශයෙන්ම ඔවුනට පවතින රජය සහ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳව විවිධ විවේචනයන් තිබියදීම, එක පෙළකට එකතුවී මෙම දක්ෂිණාංශික නව නාට්සි බලවේගයන්ට එරෙහිව පෙරමුණට විත් තම විරෝධය දක්වති.

රෝගය පාලනය කරගැනීමට රජය පනවන සීමාවනට ඔවුන් සහය දන්වන්නේ මෙම නව නාසි පෙළගැස්වීමට එරෙහි සහයෝගිතා බලවේගයක් ලෙසිනි. එසේ පෙළ ගැසෙන බලවේග සිය සටන් පාඨ ලෙස ඉදිරිපත් කරන්නේ වර්ගවාදයට එරෙහි වීම, ව්‍යාජ කුමන්ත්‍රණ මවාපෑමට එරෙහි වීම, ෆැසිස්ට්වාදයට එරෙහිවීම, සෑම පුද්ගලයෙකුටම සමාන අයිතිවාසිකම් සහ කිසිවකු සමාජය තුළ කොන් නොකළ යුතුය වැනි පොදු කාරණා මුල් කරගෙනය. නමුත් මෙම බලවේග රජය සහ තමන් අතර ඇති බෙදුම් ඉරි ඉතා පැහැදිළිව පවත්වා ගනිති.

එසේම ජර්මනියේ රාජ්‍යය ව්‍යුහයේ ඇති යම් යම් කාරණාවන්ද මෙම වසංගතය මර්දනයට යෑමේදී ප්‍රශ්නයකාරී විය. ජර්මනියේ පවතින්නේ සන්ධීය රාජ්‍ය ක්‍රමයකි. මධ්‍යම රජයට පවතින බලතල සහ ප්‍රාන්ත රාජ්‍යයන් වලට පවතින බලතල වෙන් වෙන් වශයෙන් දක්වා තිබේ.

පෙඩරල්වාදය සංසෝධනයවීම

එනමුත් මෙවැනි ගෝලීය වසංගත තත්වයකදී එය මර්දනය කිරීම සඳහා සමස්ත රටටම අදාළ වන පරිදි ගතයුතු ප්‍රතිපත්ති පිළිබඳව නීතිමය රාමුවක් ජර්මානු රාජ්‍ය ව්‍යුහය සඳහන් ව්‍යවස්ථාව තුළ ලියැවී තිබුණේ නැත. මේනිසාම සමහර ප්‍රාන්ත රාජ්‍යයන් වෙනම තීරණ ගැනීම හේතුවෙන් රට තුළ පනවන සීමා පැනවීම් වලදී මධ්‍යම රාජ්‍යයට ඉක්මන් ක්‍රියාදාමයන් වලට යාම අපහසු විය. ඒ පිළිබඳව ඇතිවූ සාකච්ඡාවන්හි වල අවසාන ප්‍රතිඵලය ලෙස මේ වන විට වසංගතයක් වැනි තත්වයකදී මධ්‍යම රජයට සමස්ත රට වශයෙන් තීරණ ගැනීමට ඇති අයිතිය ශක්තිමත් කිරීමට එකඟතාවයක් ඇති කර ගන්නා ලදී. එම වෙනස සිදුවූයේ ජර්මානු සමාජය තුළ පසුගිය දිනවල ඇතිවූ පුලුල් සාකච්ඡාවකින් පසුය.

කෙසේ වුවද ඕනෑම අර්බුදයකදී මෙන්ම සමාජ සහ දේශපාලන අස්ථාවර තත්ත්වයකදී ඒකාධිපතිවාදීන් සහ පැසිස්ට්වාදීන් දේශපාලන බලය තම අතට ගැනීමට උත්සාහ කරන බව ‍ප්‍රජාතන්ත්‍රවාදී බලවේග අමතක නොකළ යුතුය.

ඡ‍ායාරූපය අන්තර්ජාලයෙනි…

විදෙස්ගත ශ්‍රී ලාකික එකතුව,ජර්මනිය. අප්‍රේල් 2021

Social Sharing

Related posts