දේශපාලඥයින්ගේ බාල ජනප්‍රියතාව වෙනුවෙන් විද්‍යාපීඨ වැසීමට ඉඩ දිය නොහැකියි – ලංකා ගුරු සංගමය

මේ වන විට දිවයින පුරා පවතින ගුරුවරුන් පුහුණු කරන ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 20 ම කොරෝනා රෝගීන් වෙනුවෙන් ප‍්‍රතිකාර මධ්‍යස්ථාන බවට පත් කර ඇති හෙයින්  එම පීඨවල ඉගෙනුම ලබන ගුරු සිසුන්ගේ අධ්‍යයන කටයුතු අඩාල වී ඇති බැවින් මෙම විද්‍යාපීඨවල අධ්‍යයන කටයුතු වහා ආරම්භ කිරීමට පියවර ගත යුතු බව  ලංකා ගුරු සංගමයේ පධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා පවසයි.

එමෙන්ම පස්දුන්රට ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය බවට පත් කිරීමේ සැලැස්මට ලංකා ගුරු සංගමය විරෝධය පළකරන බවද ඔහු කියා සිටියි.

පස්දුන්රට ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය මාරි මියුසියස් මහත්මිය විසින් පරිත්‍යාග කරන ලද අක්කර 42 ක භූමිභාගයක පිහිටුවා ඇති විද්‍යාපීඨයක් වන අතර මෙය කළුතර ඉංග්‍රිසි ගුරු විදුහල ලෙස ප‍්‍රකටව ඇත. 1985 වසරේ දී ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයක් බවට පත් කළ අතර පස්දුන්රට ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය මගින් පාසල් පද්ධතියට ඉංග්‍රිසි  ගුරුවරු පුහුණු කිරීම සිදුකරන බවද  එවැනි වටිනාකමක් සහිත විද්‍යාපීඨය වෛද්‍ය පීඨයක් බවට පත් කිරීම අටුව කඩා පුටුව සෑදීම වැනි ක‍්‍රියා මාර්ගයක් බව ලංකා ගුරු සංගමය පවසා සිටියි.

පසුගිය දිනක කළුතර දිස්ත්‍රික්කය  නියෝජනය කරන රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයා, විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග, මොරටුව විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය නෙරන්ජන් ගුණවර්ධන, කළුතර උප දිසාපති ඇතුළු පිරිසක් මෙම කටයුත්ත සඳහා විද්‍යාපීඨයේ නිරීක්ෂණ චාරිකාවක යෙදී ඇති බව සඳහන් කරන ලංකා ගුරු සංගමය පවසන්නේ මොරටුව විශ්ව විද්‍යාලයට වෛද්‍ය පීඨයක් ඇති කිරීම සම්බන්ධයෙන් ගැටළුවක් නැති නමුත් පාසල් පද්ධතියට ගුරුවරු බිහිකරන විද්‍යාපීඨයක් වසා වෛද්‍ය පීඨයක් බිහි කිරීම විහිළුවක් බවය.

මෙම කටයුත්තට මුලපුරා ඇත්තේ රෝහිත අබේගුණවර්ධන මහතා බව ඔහුගේ ප‍්‍රචාරක ව්‍යාපෘතියෙන් මනාව පැහැදිලි වන බවත්  මෙවැනි දේශපාලකයින්ගේ බාල ජනප්‍රියතාව  වෙනුවෙන් අධ්‍යාපනයට සම්බන්ධ තීන්දු තීරණ ගැනීම කනගාටුදායක තත්වයක් බවද  සාමාන්‍ය අධ්‍යාපනය මෙන්ම උසස් අධ්‍යාපන විෂය ද භාර මහාචාර්ය ජී.එල්. පීරිස් මෙන්ම ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ද සිටියදී රෝහිත අබේගුණවර්ධන වැනි ඇමතිවරයෙකු තම විෂය පථයට අයත් නොවන කටයුත්තක් වෙනුවෙන් පාසල් පද්ධතියට ගුරුවරු බිහිකරන අධ්‍යාපන විද්‍යාපීඨයක් වසා දැමීමට කටයුතු යෙදීම ‘සෞභාග්‍ය දැක්මේ’ ක්‍රියා  පිළිවෙත දැයි සැකයක් මතු වන බවත් ලංකා ගුරු සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

මේ තත්වය මත පස්දුන්රට ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය වෛද්‍ය පීඨයක් කිරීමේ සැලසුම වහා නතර කළ යුතු බවත්  එසේ නොවන්නේ නම් පස්දුන්රට ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ මේ වන විට ඉගෙනුම ලබන සහ පෙර ඉගෙනුම ලැබූ සියලූ දෙනා එක්ව මේ සම්බන්ධයෙන් විරෝධතා කි‍්‍රයාමාර්ග ගැනීමට කටයුතු කරන බව ද ලංකා ගුරු සංගමය අවධාරණය කර සිටී.

-ශානි –

Social Sharing
නවතම