
නඩත්තු කටයුත්තකදී හෝ වෙනත් හදිසි ජල සැපයුම් අවහිරවීමකදී එදිනෙදා ඔබ කෙතරම් නම් කලබලයට පත්වන්නේද? ඒ හේතුවෙන් මුළු දෛනික කාර්යයන් සියල්ලක්ම පාහේ අලසකමින් හා නිසි ලෙස ඉටු කරගත නොහැකිව ගෙවී යන බව ඔබට ඕනෑ තරම් දැනී තිබෙන්නට ඇත.මොහොතකට කල්පනා කරන්න… බුද්ධිමත් පුරවැසියෙකු ලෙස පිරිසිදු පානීය ජලය ලැබීම සම්බන්ධව ඔබට මානව අයිතිවාසිකමක් නැතැයි ඔබ තවමත් සිතන්නේද?
අප වෙසෙන පෘථුවිය දෙස බැලුවහොත් 97%කටත් වඩා වැඩි ප්‍රමාණයක් ජල ගෝලය අත්පත් කරගන්නා බවට දත්ත කියා පෑවද ඉන් පානයට ගත හැකි පිරිසිදු ජලය පවතින්නේ 1%ටත් වඩා අඩු ප්රමාණයකි. පෘථිවි වාසීන් ලෙස ජලය අපට බහුල සම්පතක් සේ පෙනුනද හිඟම සම්පත වන්නේ ජලය බව මින් වැටහේ. එලෙස පවතින සීමිත ජල සම්පත් ප්‍රමාණය එකසේ බෙදා ගැනීමට සෑම මනුෂ්‍යයෙකුටම අයිතිවාසිකමක් පවතී.
මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්රකාශනයෙන් (Universal Declaration of Human Rights) හෝ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් හෝ පිරිසිදු පානීය ජලය සඳහා ඇති අයිතිය සෘජුවම වගන්තියක් ලෙස ප්‍රකාශ නොකළද වෙනත් මානව අයිතිවාසිකම් හරහා එය සෑහෙන දුරට අර්ථකථනය කර තිබෙනු දැක ගතහැකිය. මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්රකාශනයේ 25 වන ප්‍රකාශය යටතේ “සෑම පුද්ගලයකුටම තම සහ තම පවුලේ අයගේ සෞඛ්‍යය සහ යහපැවැත්ම සඳහා ප්‍රමාණවත් ජීවන මට්ටමක් ලබා ගැනීමට අයිතියක් ඇත” යනුවෙන් වක්‍රාකාරව පානීය ජල අවශ්‍යතාව අයිතිවාසිකමක් ලෙස දක්වා ඇත. කෙසේ නමුත්, 2010 වසරේ දී, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය (UN General Assembly) මගින් සම්මත කරන ලද යෝජනාවෙන් පිරිසිදු පානීය ජලය සඳහා ඇති අයිතිය මානව අයිතිවාසිකමක් ලෙස නිල වශයෙන් පිළිගන්නා ලදී. 1978 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව, පිරිසිදු පානීය ජලය සඳහා ඇති අයිතිය ඉහත කී ලෙස මූලික අයිතිවාසිකම් පරිච්ඡේදවල සෘජුවම සඳහන් නොකළද, අධිකරණ තීන්දු හරහා එය වෙනත් අයිතිවාසිකම් හා සම්බන්ධ කොට අර්ථකථනයන් ගෙනහැරපා ඇත. මූලික වශයෙන් 12(1) වගන්තියෙන් නිරූපිත සමානාත්මතාවයේ අයිතිය තුළින් යම් හෙයකින් සිදුවන ජලය දුෂණය වීමකදී නීතිය ඉදිරියේ ලැබිය යුතු සමාන ආරක්ෂාවේ අයිතියද උල්ලංඝනය වනු ඇති බව විශේෂයෙන් සඳහන් කළ යුතුය.
මේ සම්බන්ධයෙන් ගත් කල, කරළියට එන වැදගත් සිද්ධාන්තයක් ලෙස Public Trust Doctrine හෙවත් මහජන භාර නීතිය හැඳින්විය හැකිය. ඉන් ගම්‍ය කරනුයේ ජලය ඇතුළු ස්වභාවික සම්පත් රාජ්‍යය තුළ; රජයට අයත් දේපලක් නොව ඒවා ජනතාව වෙනුවෙන් රජය විසින් ආරක්ෂා කළයුතු භාරයක් බවයි. තවදුරටත් ඉහත සියල්ල අධ්‍යයනයේදී අපට නැතුවම බැරි ලංකාවේ ඓතිහාසික නඩු කිහිපයක් වෙත්. එයිනුත්, චුන්නාකම් නඩුව (රවින්ද්‍ර ගුණවර්ධන කාරියවසම් එදිරිව මධ්‍යම පරිසර අධිකාරිය සහ තවත් අය) (SC(F/R)141/2015) යනු මෙම මහජන භාරය මූලික කරගත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් ඓතිහාසික නඩු තීන්දුවකි. එමෙන්ම රතුපස්වල නඩුවේදී අධිකරණය පිරිසිදු පානීය ජලය සඳහා ඇති අයිතිය විග්රහ කළේ “ජලය යනු ජීවත් ජීවත්වීමේ අයිතියේම කොටසක්” ලෙසටයි. තවදුරටත් එහිදී ද මහජන භාරකාරත්වයේ අයිතියත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ වධ හිංසාවලින් නිදහස ඇතුළත් 11වන වගන්තිය පිළිබඳවද සඳහන් කර තිබීම සුවිශේෂී වේ.
ඛේදාන්ත කැලණි ගංකොමළිය දූෂණය වීම හා Coca- Cola කර්මාන්තශාලාව අතර සිදුවීම පසුගිය කාලයේ අපට බොහෝ සමීපව ඇසුණු පුවතකි. මේ සිදුවීම නිසා ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාව කඩවුණි. එමෙන්ම කර්මාන්ත ශාලාවෙන් එළියට මුදා හැරි අපද්‍රව්‍ය තුළින් භූගත ජලය හා පානීය ජලය දූෂණයට ලක්වූ අතර මෙය ශ්‍රී ලංකාවේ පරිසර නීතියත්, මානව හිමිකම් නීතියත් ඝට්ටනය වූ වැදගත් නඩුවක් ලෙසද හැඳින්විය හැක. පසුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පීඩිත ජනතාවට සාධාරණයක් ඉටු කරනු වස් සුරක්ෂිත පරිසරයක ජීවත් වීමේ අයිතිය (Right to a healthy environment) තහවුරු කරමින් අවධාරණය කළේ, පරිසරය දූෂණය වීමෙන් වැළැක්වීම රාජ්‍යයේ වගකීම වන අතර රාජ්‍යය දියුණු කිරීම හා ආර්ථික සංවර්ධනය ඇති කළ යුත්තේ මහජනයාගේ මානව අයිතිවාසිකම් කඩ නොවන පරිද්දෙන් වන බවයි. මෙහිදී පරිසර දූෂණය යන්නෙන් ජල දූෂණය වීමද අදහස් කරනු ලබයි.

කෙසේ හෝ මෙම සියලු නඩු තීන්දු ඔස්සේ පසක් කරනුයේ පිරිසිදු පානීය ජලය නොලැබීමෙන් සිදුවන ජීවත්වීමේ අයිතිය කඩවීමත්, රාජ්‍යයට ඇති භාරදූර වගකීමත් පිළිබඳවය. මෙලෙස ඔබට පිරිසිදු පානීය ජලය ලැබීම සම්බන්ධව මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම කඩවීමේ නඩු ගොනු කළ හැකි බව දැන් ඔබට වැටහෙනු ඇත. රාජ්‍යයේ ජීවත් වන බුද්ධිමත්, ගෞරවනීය පුරවැසියන් ලෙස මානව අයිතිවාසිකම් හා නීතිය පිළිබඳ හොඳින් දැනුවත් වී අසාධාරණයට එරෙහිව හඬනැගීමට ඔබ පසුබට නොවිය යුතුය. ආර්ථික, සමාජ හා සංස්කෘතික හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව (UN Committee on Economic, Social and Cultural Rights) සඳහන් කරන පරිදි “මානව ගෞරවය සහිත නිරෝගීමත් ජීවිතයක් ගත කිරීම සඳහා ජලයට ඇති මානව හිමිකම අත්‍යවශ්‍ය වේ”. එබැවින් පිරිසිදු පානීය ජල සම්පතක හිමිකම අපට අවශ්‍ය නොව අත්‍යවශ්‍ය වන්නකි!

සටහන කාව්‍යා සිතුමිණි
