සැම්බියාවේ මිල සූත්‍රය

සැම්බියාව මෙන්ම ඝානාවද ලංකාව ගෙවුම් ශේෂ හා රාජ්‍ය ණය අර්බුද වලට මුහුණ දුන් කාලයට ආසන්න කාලයකදී එවැනිම අර්බුද වලට මුහුණ දුන් රටවල් දෙකක්. ලංකාව මෙන්ම ඉහත රටවල් දෙකද මේ වන විට මූල්‍ය අරමුදලේ උදවුවෙන් සිය ආර්ථිකයන් ස්ථාවර කරගෙන තිබෙනවා.

ලංකාව මේ වන විට ණය ප්‍රතිව්‍යුහගත කිරීම් මුළුමනින්ම මෙන් අවසන් කර ඇතත්, ඉහත සඳහන් අප්‍රිකානු රටවල් දෙකෙහි එම ක්‍රියාවලීන් තවමත් අවසන්ව නැහැ. එහෙත් බොහෝ දුරට අවසන්. ස්ථායිකරණ වැඩසටහන් වල ප්‍රතිඵලයක් ලෙස සැම්බියාව, ඝානාව මෙන්ම ලංකාව යන රටවල් තුනෙහිම කඩා වැටී තිබූ මුදල් ඒකක නැවත ශක්තිමත් වී තිබෙනු දැකිය හැකියි.

පසුගිය නොවැම්බර් මාසයේදී ඇමරිකන් ඩොලරයක් සඳහා ඝානා සීඩී 16.33ක් පමණ ගෙවිය යුතුව තිබුණත් මේ වන විට ඩොලරයක් සඳහා ගෙවිය යුතුව තිබෙන්නේ ඝානා සීඩී 10.35ක් පමණයි. එමෙන්ම, මේ වසරේ මාර්තු මාසයේදී ඇමරිකන් ඩොලරයක් සඳහා සැම්බියා ක්වාචා 28.81ක් පමණ ගෙවිය යුතු වුවත් දැන් ගෙවිය යුත්තේ සැම්බියා ක්වාචා 23.88ක් පමණයි.

ලංකාවේ මෙන්ම සැම්බියාවේ හා ඝානාවේ ආර්ථිකයන්ද නැවත පණ ගසා නැගිටිමින් සිටින අතර පළමු කාර්තුව තුළ පිළිවෙලින් 4.5%ක හා 5.3%ක වර්ධනයන් වාර්තා කර තිබෙනවා. මෙම රාජ්‍යයන් දෙක සඳහා මූල්‍ය අරමුදල විසින් යෝජනා කළ වැඩපිළිවෙළවල් සහ ලංකාව සඳහා යෝජනා වූ වැඩපිළිවෙළ අතර සැලකිය යුතු සමානකම් දැකිය හැකියි. ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගැනීමේ අවශ්‍යතාවය උදාහරණයක්.

ලංකාවේ මෙන්ම සැම්බියාවේද ඉන්ධන සඳහා මිල සූත්‍ර ක්‍රමයක් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. මේ සමඟ පළ කෙරෙන සැම්බියාවේ උපයෝගීතා කොමිසමේ සභාපති ජේම්ස් බණ්ඩාගේ නිවේදනය අනුව, 2025 ජූලි 1 දින සිට සැම්බියාවේ ඉන්ධන මිල ගණන් සැලකිය යුතු ලෙස අඩු කර තිබෙනවා. ජාත්‍යන්තර ඉන්ධන මිල ගණන් ඉහළ ගොස් තිබියදී මේ අයුරින් සැම්බියාවේ ඉන්ධන මිල ගණන් අඩු කෙරෙන්නේ සැම්බියා ක්වාචා මුදල ශක්තිමත් වී තිබීමේ උදවුවෙනුයි.

#ඉකොනොමැට්ටා #economatta #v10econ

Social Sharing

නවතම විදෙස්