OIC ලා 03ක් ඇතුළු 4ක් රිමාන්ඩ් – මහේස්ත්‍රාත් නියමයෙන් පොලිස් ටයි ගැලවේ

අද ඉතාම වැදගත් දවසක්. පුද්ගලයෙක් නීති විරෝධීව අත්අඩංගුවට අරං දරුණු ලෙස වධහිංසා කරලා අවුරුදු පහක් අත්අඩංගුවෙන් බේරීලා හිටපු පොලිස් ස්ථානාධිපතිවරු තිදෙනෙක් ඇතුළු පොලිසියේ හතර දෙනෙක් රිමාන්ඩ් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා අද නියෝග කළා.

ශ්‍රී ලංකාවේ කොච්චර දරුණු වධ හිංසාවලට පුද්ගලයක් ලක් වුණත් ඒ වධහිංසා කරන්නේ ලොකු බලයක් තියන පොලිසිය, බන්ධනාගාරය වගේ ආයතනවල නිලධාරීන් නිසා ඔවුන්ට එරෙහිව පැමිණිලි එනව  අඩුයි, පැමිණිලි ආවත් හරි විමර්ශනයක් කරන්නේ නෑ.

මේ සිද්ධිය 2020 අගෝස්තු මාසයේදී වෙන්නේ. මාතර මාලිම්බඩ පොලිසිය තරුණයෙක් අත්අඩංගුවට ගන්නවා. අත්අඩංගුවට අරං දින පහක් විතර තියාගෙන දස වධ දෙනවා. ඒකට මාතර පොලිසියේ කණ්ඩායමකුත් සම්බන්ධ වෙනවා. ඩිල්ෂාන් මේ ගැන පැමිණිලි කලාට කිසිම දෙයක් වුණේ නෑ. අවසානයේ ඔහු 2021 දී මහජන ආරක්ෂක අමාත්‍යංශයට එවපු ලියුමක ප්‍රතිඵලයක් විදිහට පොලිස් විශේෂ විමර්ශන ඒකකය විමර්ශනයක් ආරම්භ කරනවා. මෙහි ප්‍රධාන සැකකාර පොලිස් නිලධාරියකුගෙන් විශේෂ විමර්ශන ඒකකය 2023 දෙසැම්බර් 27 දීර්ඝ ප්‍රකාශයක් සටහන් කර ගන්නවා. ප්‍රකාශය සටහන් කර ගනිද්දි ඔහු වීරකැටිය පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරමින් හිටියේ.තරුණයාට වධහිංසා කරන කාලයේ ඔහු මාතර පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා. මෙම සිද්ධියේ තවත් සැකකාර පොලිස් නිලධාරියකුගෙන් 2023 දෙසැම්බර් 27 වැනිදා පොලිස් විශේෂ විමර්ශන ඒකකට කටඋත්තර ගන්නවා. ප්‍රකාශ ලබා ගනිද්දි ඔහු තංගල්ල කොට්ඨාස අපාරාධ විමර්ශන කාර්යංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරමින් හිටියා. තරුණයාට වධහිංසා කරද්දි ඔහු මාලිම්බඩ පොලිස් ස්ථානාධිපතිවරයා ලෙසයි කටයුතු කළේ. ඊට ආසන්න දිනකදී මේ සිද්ධියට සම්බන්ධ තවත් පොලිස් පරීක්ෂකවරයකුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත්තා. ඔහු එවකට මාලිම්බඩ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා.

මේ පිරිසගෙන් 2023 දෙසැම්බර් මාසේ ප්‍රකාශ සටහන් කර ගන්නේ දෙවැනිවරට. මුලින් ප්‍රකාශ සටහන් කරගෙන විමර්ශන කරගෙන යද්දි ඔවුන්ගේ ප්‍රකාශ බොරු බවට කරුණු නාවරණය වෙද්දි දෙවැනි ප්‍රකාශය සටහන් කර ගත්තේ. දෙවැනි ප්‍රකාශය සටහන් කරගෙන මාසයක් යන්න කලින් පැමිණීලිකාර තරුණයා, ඒ කියන්නේ වධහිංසාවට ලක්වෙච්ච තරුණයා පවත්වාගෙන ගිය දුරකතන අලුත්වැඩියා කරන කඩයට වෙඩි ප්‍රහාරයක් එල්ල වුණා. වෙඩි ප්‍රහාරය එල්ල වෙන්න මිනිත්තු කීපයකට කලින් තරුණයා වෙනත් කෙනෙකු කඩේ තියලා අසල කඩයකට ගියා. වෙඩි තියපු උදවිය සාමාන්‍යයෙන් මේ වින්දිත තරුණයා ඉන්න තැන හිටපු පුද්ගලයාට වෙඩි තිබ්බේ. අවාසනාවන්ත ලෙස වධහිංසාවට ලක්වූ තරැණයාගේ මිතුරෙක් මරණයට පත්වුණා. හොඳටම පැහැදිලියි වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී තිබුණේ වධහිංසාවට ලක්වූ තරැණයා කියලා.

ඒ සිද්ධිය ගැන වෙනම විමර්ශනයක් පටං ගත්තත් ඉතාම මන්දගාමීව තමයි ඒක යන්නේ. මේ වන විට ආරක්ෂක තක්සේරුවකින් පසු වධහිංසාවට ලක්වූ තරුණයාට පැය 24ම පොලිස් ආරක්ෂාව දීලා තියනවා. ඔහුට මේ පැමිණිල්ල නිසා ඇති ජීවිත තර්ජන හමුවේ රස්සාවක්වත් කර ගන්න බැරි තත්ත්වෙට පත් වෙලා තියනවා. වින්දිතයන් හා සාක්කිකරුවන් ආරක්ෂා කිරීමට අදාලව ඇති පනත අනුව වින්දිතයාගේ ආර්ථික තත්ත්වය ගැනත් වින්දිතයන් ආරක්ෂා කිරීමේ අධිකාරිය සොයා බැලිය යුතුයි. ඔහුට නඩුවලට යන්න අවශ්‍ය පහසුකම් සැපයිය යුතුයි. නීති ආධාර ලබා දිය යුතුයි. නමුත් අධිකාරිය මේ වගකීම් පැහැර හැරලා තියනවා. සමහර දවස්වලට ඔහුට කාගෙන් හරි ණයක් අරං වාහන හොයාගෙන නඩුවලට යන්න වෙලා තියෙන්නේ. වෙඩි තැබීමේ සිද්ධියට අදාල නඩුව පසුගිය 16 වැනිදා මාතර මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදස මහතා ඉදිරියේ කැඳවපු අවස්ථාවේදි මහේස්ත්‍රාත්වරයා පවා මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරලා තිබුණා.

මේ නිශ්චිත වධහිංසා සිද්ධියට අදාලව පසුගිය ජනවාරි මාසයේදී සැකකාර පොලිස් නිලධාරීන් සිව් දෙනකුට මාතර මහාධිකරණයේදී අධිචෝදනා බාර දුන්නා. ඔවුන් ඒ වන විටත් පොලිස් සේවයේ හිටියා. තුන්දෙනෙක් පොලිස් ස්ථානයක, විමර්ශන අංශ දෙකක ස්ථානාධිපතිවරු. අඩු තරමේ විනය පරීක්ෂණයක් තියලා ඔවුන්ට කිසිම පියවරක් අරගෙන තිබුණේ නෑ. මේ ගැන එදා, ඒ කියන්නේ අධිචෝදනා බාර දීම ගැන වාර්තා කරද්දී අපි අනාවරණය කළවිට එය දැකලා පොලිස් නීති දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතා පොලිස් විශේෂ විමර්ශන අංශයෙන් වාර්තාවක් කැඳවා පොලිස්පතිවරයා දැනුම්වත් කර තිබුණා. ඒ අනුව හතර දෙනාගේම වැඩ තහනම් කිරීමට වැඩ බලන පොලිස්පතිවරයා අවශ්‍ය නියෝග ලබා දුන්නා.

අධිචෝදනා බාර දුන්නට පස්සේ තුන්වැනි දිනට නඩු කැඳවුයේ පහුගිය මැයි 08 වැනිදා. නඩුව කැඳවූ අවස්ථාවේදී රජයේ නීතිඥවරයා දැනුම් දුන්නා නැවත අධිචෝදනා ගොනු කිරීමට යටත්ව දැනට ගොනු කර ඇති අධිචෝදනා ඉල්ලා අස්කරගන්නවා කියලා. ඒ අනුව චූදිත පොලිස් නිලධාරීන් හතර දෙනා මුදා හැරුණා.  ඒ ගැන අපි වාර්තා කලාට පස්සේ ඇතිවෙච්ච කතාබහකදි නීතිපති දෙපාර්තමේන්තුව කියලා තිබ්බේ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් නොකර කෙලින්ම අධිචෝදන ගොනු කිරීම නිසා ඉල්ලා අස්කරගත් බවයි. ප්‍රශ්නය තියෙන්නේ එහෙම මහේස්ත්‍රාත් අධිකරණයට මුලින් ඉදිරිපත් කරලා ඉන්න අවශ්‍ය නම්, ඇයි එහෙම නොකර මුලින්ම අධිචෝදනා ගොනු කළේ කියලා. මේකේ තියන ඊළඟ උත්ප්‍රාස ජනක කතාව තමයි මේ විමර්ශනය ගැන නීතිපති උපදෙස් දෙන්න පටං ගන්නේ සහ නීතිපති වෙත කරුණු දැනුම් දෙන්න විමර්ශන අංශය පටං ගන්නේ 2023දි. ඒ වන විට නීතිපති ලෙස කටයුතු කළේ සංජය රාජරත්නම් කියන ජනාධිපති නීතිඥවරයා. පහුගිය ජනවාරි මාසේ මේ පොලිස් චූදිතයන්ට අධිචෝදනා බාර දුන් දිනයේ සිට චූදිතයන් වෙනුවෙන් මහාධිකරණයේ පෙනී සිට කරුණු දැක්වුවේ එදා නීතිපති විදිහට හිටපු දැන් විශ්‍රාම ගිහින් ඉන්න සංජය රාජරත්නම් ම තමයි. මේ විමර්ශනය ගැනත්, එහි අඩුපාඩු ගැනත් නීතිපති සංජය රාජරත්නම් දැනගෙන සිටිය යුතු බව හරිම පැහැදිලියි. එහෙම තත්ත්වයක තමයි මේ අධිචෝදනා ඉල්ලා අස්කරගත්තේ.

මේ සම්බන්ධයෙන් ඇතිවූ කතා බහෙන් පසු මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කලා.  අද නඩුව මාතර මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා ඉදිරියේ කැඳෙව්වා. වැඩතහනම් වෙලා ඉන්න පොලිසියේ හතර දෙනාම අධිකරණයේ පෙනී සිටියා. පොලිසිය වාචිකව ඔවුන් රිමාන්ඩ් කරන්න කියලා ඉල්ලුවේ නෑ. මෙහි වින්දිත තරුණයා වෙනුවෙන් නීතිඥ නිලූෂි දේවපුරගේ උපදෙස් මත පෙනී සිටි නීතිඥ මොහොමඩ් ඉන්ෆාක් මහතා කෙටියෙන් පැහිදිලි කිරීමක් කළා මේ තරුණයාගේ ආරක්ෂාව සහ මීට පෙර වෙඩි තැබීමේ සිදුවීම ගැන. ඔහු ඉල්ලා සිටියා සැකකාර පොලිස් නිලධාරීන් රිමාන්ඩ් කරන ලෙස.

පාර්ශ්ව තුනේම (පොලිසිය, සැකකරුවන්‌ගේ සහ වින්දිතයාගේ) කරුණු සලකා බැලූ මාතර මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා මෙම සැකකාර පොලිස් නිලධාරීන් හතර දෙනා ජුනි 05 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස නියෝග කලා. තරුණයාගේ අුාරක්ෂාව ගැනත්, විමර්ශනවල තත්ත්වය ගැනත් මහේස්ත්‍රාත්වරයා එහිදී කරුණු සඳහන් කළා. ඒවගේම නඩුව අතරතුර මහේස්ත්‍රාත්තුමා තවත් කාරණයක් නිරීක්ෂණය කලා. ඒ තමයි මේ නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් පනී සිටින පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරියා පැළඳ සිටි ආකාරයේම පොලිස් ටයි පටයක් මේ නඩුවේ සැකකාරුවකු ලෙස විත්ති කූඩුවේ හිටගෙන ඉන්න සැකකාර පොලිස් නිධාරියෙක් ඇඳගෙන සිටි බව. වැඩතහනම් වෙලා සිටිමින් සැකකරුවෙක් ලෙස සිටින නිලධාරියා පොලිස් ටයිපටයක් පැළඳීම ගැන මහේස්ත්‍රාත්තුමා ප්‍රශ්න කලා. ඒ අනුව විත්තිකූඩුවෙන් බැහැලා පොලිස් ටයිපටය ගලවාගෙන නැවත කූඩුවට නගින්න සැකකාර පොලිස් නිලධාරියාට සිද්ධ වුණා.

අවසානයේ තරුණයකුට දරුණු වධහිංසා දීලා, ඒ තරුණයාගේ මුළු ජීවිතයම විනාස කරපු සැකකාර පොලිස් නිලධාරීන් අවුරුදු 05කට පස්සේ පළමු වතාවට රිමාන්ඩ් වුණා. නීතිපති නඩුව ඉල්ලා අස්කර ගැනීමෙන් පසු ලංකාවේ නීතිය ක්‍රියාත්මක වන ක්‍රමය ගැන දැඩි කණස්සල්ලට පත්වෙලා හිටපු වින්දිත තරුණයාට මාතර මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතාගේ නියෝගෙයෙන් පස්සේ නීතිය ගැන යම් විශ්වාසයක් එන්න ඇති. මහේස්ත්‍රාත්ගේ නියෝගය මෙම යුක්තිය ගැන තවදුරටත් අපේකෂා තියාගන්න වින්දිතයා ධෛරවත් කරන්න හේතුවෙන්න ඇති.

මේ විදිහටම වැරදීමකින් වත්තල පොලිසිය පුද්ගලයෙක් අත්අඩංගුවට අරගෙන හොඳටම පහරදීලා වධහිංසා කිරීම ගැන නඩුවක් යද්දි වධහිංසාවට ලක්වූ පුද්ගලයා බස්රථයක්තුල වෙඩි තබා ඝාතනය කලා. වධහිංසා සම්බන්ධයෙන් ලංකාවේ ප්‍රසිද්ධ නඩුතීන්දුවක් වන ජෙරාඩ් මර්වින් පෙරේරා නඩුව (නීතිඥ සංජීව එ. වත්තල පොලිස් ස්ථානාධිපති සුරවීර) ඒ සිද්ධිය ගැන. ඒ වධහිංසාවට ලක්වූ පුද්ගලයා තමයි එලෙස බස් රථයකදි ඝාතනය වුණේ. ඔහු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වත්තල පොලීයේ නිලධාරීන්ට මරණ දඬුවම හම්බුණා. හැබැයි වධහිංසා කිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණයෙන් ඒ පොලිස් නිලධාරීන් නිදහස් වුණා. වධහිංසා නඩුවලදි පොලිසියට එරෙහිව පොලිසියම විමර්ශන කරද්දි සහ නීතිපති නඩු පවරද්දි හරියට සාක්කි රැස් නොකිරීමේ ප්‍රතිඵලය සහ හරියට සාක්කි මෙහෙයවන්නේ නැති එකේ ප්‍රතිඵලය තමයි ඒක.

ලංකාවේ දිගින් දිගටම වාර්තා වන පොලිස් වධහිංසා නතර කරන්න නම් නීතිය හරියට ක්‍රියාත්මක කළ යුතුයි. මාතර තියන මාලිම්බඩ තරුණයාගේ වධහිංසා සිද්ධිය එය ඔප්පු කිරීමට හොඳම නිදර්ශනයක්. වින්දිතයන් ආරක්ෂා කිරීමේ අධිකාරිය ජෙරාඩ්ට වෙච්ච දේ දන්නේ නැත්නම් ඒ ගැන හොඳට හොයලා බලලා මාලිම්බඩ තරුණයාගේ ආරක්ෂාව තවදුරටත් තර කළ යුතුයි. පනතේ ප්‍රතිපාදන අනුව ඔහුට ප්‍රශ්නයක් නැතුව, මානසික පීඩනයක් නැතුව ජීවත්වෙන්න අවශ්‍ය වටපිටාව සකස් කළ යුතුයි. මේ සිද්ධිය නිසා කඩා වැටුණු ඔහුගේ ආර්ථික තත්ත්වය වැඩිදියුණු කරන්න අවශ්‍ය පියවර ගත යුතුයි. නීතිපති දෙපාර්තමේන්තුව මේ නඩු දෙක ගැනම ඉතාම සීරියස් අරගෙන ලංකාවේ නැවත ටෝචර් සිදුවීම් නොවෙන්න මේක හොඳම නඩුවක් විදිහට අදාල නීති කෘත්‍ය කළ යුතුයි. හැකි නම් මේ නඩු දිනපතා අහලා ඉවර කරන්න පුලුවන් ක්‍රමයක් සකස් කළ යුතුයි. අද සහ අධිචෝදනා ගොනු කරපු දවසෙත් විය යුතුව තිබුණේ සැකරකුවන් රිමාන්ඩ් කරන්න නීතිපති සහ පොලිසිය ඉල්ලා සිටීමයි. මාතර මහේස්ත්‍රාත්තුමා   මෙතන ඇති බරපතල තත්ත්වය තේරුම් ගැනීම නිසා සැකකරුවන් රිමාන්ඩ් කලත්, වගකිව යුතු අනිත් ආයතන මෙහි ඇති බරපතලකම තවම තේරුම් නොගැනීම කණගාටුදායකයි.

තරිඳු ජයවර්ධන – 2025 මැයි 22

පහතින් තියෙන්නේ මේ සිද්ධිය ගැන කරපු වාර්තාකිරීම්වලින් ටිකක්.

නීතිපති වැඩ පටං ගනී – තවත් නඩුවක චෝදනාපත්‍ර ඉවත්කරගනී

ඇඟ හිරිවැටෙන කුමන්ත්‍රණයක් – OICලා තුනකට ඇප

පොලිස් වධකයන් හතරකගේ වැඩ තහනම්

 

Social Sharing
අවකාශය නවතම