මාර්ගගත අධ්‍යාපනය හා අනාගත ගුරු භූමිකාව – කථිකාචාර්ය එස්.එම්.පී.බණ්ඩාර

කොරෝනා වසංගත තත්ත්වය අද වන විට මුළු ලෝකයම උඩු යටි කුරු කරමින් තිබේ. එයින් බලපෑමට ලක්ව ඇත්තේ අද ජීවත්වන පුද්ගලයින් පමණක් නොවේ. අනාගත පරම්පරා ගණනාවකට එයින් ඇතිකරනු ලබන බලපෑම සුළුප‍ටු නොවන බව පෙනෙන්නට තිබෙන කරුණකි. එය ආර්ථිකමය වශයෙන් පමණක් නොව සමාජීය තත්ත්වයන් ද සංස්කෘතික ස්න්දර්භයන් ද සුණු විසුණු කර දමා ඇත. රටක අනාගතය තීරණය වන්නේ ඒ රටෙහි පවත්නා අධ්‍යාපන ක්‍රමය තුළිනි. අධ්‍යාපනය  විධිමත්, අවිධිමත් හා නොවිධිමත් යන අංශ තුනෙන්ම ඇති කරවන බලපෑම මෙහි දී අදාළ ය.

අපගේ අවධානය යොමු වන්නේ අවිධිමත් හා නොවිධිමත් අධ්‍යාපනය දෙසට නොවේ. පළමු ශ්‍රේණියේ සිට විශ්ව විද්‍යාල අධ්‍යාපනය දක්වා වූ විධිමත් අධ්‍යාපන යාන්ත්‍රණය එහි පෙර ගමන්කරුවා ලෙස ඒ රටේ අනාගතය ප්‍රති නිර්මාණය කිරීමට දායකත්වය සපයමින්ඇති  විධිමත් අධ්‍යාපනය දෙසටය. ඇතැම් විට මීට උසස් අධ්‍යාපන ආයතන ද ඇතුළත් කළ හැකිය. කෘෂිකර්ම විද්‍යාල,හෙද විද්‍යාල, ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ එවැනි ආයතනවලට උදාහරණය. මේවායෙන් බිහි කරනු ලබන්නේ වෘත්තිකයින් පිරිසකි. විශ්ව විද්‍යාලවල ඇතැම් පාඨමාලාද එසේ වෘත්තියාභිමුඛව පවතියි. වෛද්‍ය  වෛද්‍යාල නැතිනම් වෛද්‍ය පීඨ, ඉන්ජිනේරු පීඨ, නීති පීඨ ඊට උදාහරණය. විශේෂයෙන් ම අද මේ සෑම තැනක සිසුන් හා ගුරුවරුන් එකිනෙකා මුහුණට මුහුණ සජීවීව හමු වී අධ්‍යයන කටයුතුවල නොයෙදෙති. එය දැන් වසරකට අධික කාලයක් මාර්ග ගතව නැතිනම් හැමෝටම හුරුපුරුදු ඔන්ලයින් ක්‍රමයට සිදු වෙමින් පවතියි. රටක අධ්‍යාපනය  විසින් ඒ රටෙහි අනාගතය ප්‍රති නිර්මාණය කරන බව අපි කීවෙමු. දැන් අපේ රටේ විධිමත් අධ්‍යාපනය සිදු වන්නේ කෙසේ ද? මේ පිළිබඳව සියල්ලන්ගේම අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය ය.

ප්‍රථම වරට ඔන්ලයින් ගුරුවරු බිහි කිරීම මේ වසරේ සිදු වෙමින් තිබෙන බව පූර්ව සේවා ගුරු අධ්‍යාපනයේ පුරෝගාමි මෙහෙවරක් ඉ‍ටු කරනු ලබන ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල අධ්‍යයන කටයුතු පිළිබඳව අවධානය යොමු කිරීමෙන් වටහා ගත හැකිය. ඉකුත් 2020 වසරේ තුන්වන වසර හෙවත් සීමාවාසික ගුරු පුහුණුව සඳහා යොමු කළ ගුරු සිසු සිසුවියන් සෑහෙන දුරට ප්‍රායෝගික අත්දැකීම් ද ලබා ගත් පිරිසක් වුවත් ඔවුන්ගේ අවසාන ඇගයීම් පරික්ෂණය නැතිනම් අවසන් විභාගය පැවැත්වීමට මෙතෙක් අපොහොසත් වී තිබේ. වසර 35 කට අධික කාලයක් තිස්සේ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල පූර්ව සේවා ගුරු අධ්‍යාපනය ලැබූ සියල්ලන් වෙත අභ්‍යන්තර හා බාහිර ඇගයීම් පරික්ෂණ දෙකකට මුහුණ දීමට සිදු වුවත් ඉතිහාසයේ ප්‍රථම වතාවට 2020 සීමාවාසි පුහුණුව සඳහා යොමු කළ ගුරු සිසු සිසුවියන් වෙත අවසන් විභාග පැවැත්වීමට මෙතෙක් නොහැකි වීම කණගා‍ටුදායක කරුණකි. එය විභාග දෙපාර්තමේන්තුවත් ජාතික අධ්‍යාපන ආයතනයත් නොසලකා හැරියාදැයි සැක කළ හැකි කරුණු බොහෝ තිබේ. කොරෝනා තුන්වන ‍රැල්ල මතු වීමට පෙර කොළඹ දීත් ප්‍රාදේශීයවත් විවිධ කඩ ඉම් විභාග හා ඇගයීම්  තිබුණු බවත් අ.පො.ස. (සා.පෙ.),අ.පො.ස. (උ.පෙ.), ශිෂ්‍යත්ව විභාගය වැනි විභාග පැවැත්වීමට හැකි වූයේ නම් මෙම විභාග පමණක් නොපැවැත්වීමට හේතුවක් නැත. මේ තත්ත්වය නිසා එම ගුරු සිසුන් මුහුණ දී ඇති සමාජ ආර්ථික ප්‍රශ්න රාශියකි. විද්‍යාපීඨවලට ඇතුළත්වන විටත් සමහර ගුරු සිසු සිසුවියන් වයස අවුරුදු 25 වයසේ පසු වූවන් ද සිටිය හ. 2017 වසරේ අ.පො.ස. (උ.පෙ.) විභාගයේ ප්‍රතිපල මත විද්‍යාපීඨවලට ඇතුළු වූ ඔවුන් 2021 ජූලි මාසයෙන් අධ්‍යන කටයුතු අවසන් කිරීමට නියමිතය. දැන් ඔවුන්ගේ සීමාවාසික කාලයේ වැදගත්ම අවස්ථාව වන වසර දෙකක් නේවාසිකව ලද න්‍යායික හා ප්‍රායෝගික දැනුම භාවිතයට ගන්නා සුවිශේෂි අවස්ථාව සීමාවාසික කාලයයි. එහි සුවිශේෂි ඇගයීමක් ලෙස විද්‍යාපීඨයේ දී අධ්‍යයනය කළ සියලු විෂයයන් අළලා කෙරෙන පර්යේෂණාත්මක මැදිහත්වීම මෙවර අහිමි කෙරෙමින් තිබේ. එය කොරෝනා වසංගතය පිට දමා මග හැර යාමට ද හැකි ය. එහෙත් බොහෝ ගුරු සිසු සිසුවියන් මෙම කාර්යයේ නියැලී පර්යේෂණ යෝජනා ඉදිරිපත් කර ක්‍රියාවලියට අවතීර්ණ ව හෝ අවතීර්ණ වීම්ට සූදානම් ව හෝ සිටිති. පාඨමාලාව  ජුලි මාසයෙන් අවසන් වුවහොත් එය අහිමි වී යයි. එපමණක් නොව තාමත් අවසන් විභාගය පවත්වා නැත. මෙයින් සිදු වන්නේ කිසියම් දිනක මෙම ගුරු සිසුවෙකු තව දුරටත් වෘත්තීය සංවර්ධනය ඇති කර ගැනීම සඳහා අධ්‍යාපන අවස්ථා වෙත යොමු වීමට අවශ්‍ය විස්තරාත්මක ප්‍රතිපල සහතික ලබා ගැනීමේ දී ඔවුන්ට සිදු වන අසාධාරණය ගැන බලධාරින් සිතා බැලිය යුතු ය. මෙම අවසාන විභාගත් මාර්ග ගත ක්‍රමයටම පැවැත්වීම කෙරෙහි අවධානය යොමු වී ඇති බවට සැලවී තිබෙන අතර එය සිදු කරන්නේ කෙසේ දැයි මෙතෙක් නිශ්චිත ව කියා නැත. එක් අතකින් එම ගුරු සිසු සිසුවියන්ගේ තරුණ කාලය නිකරුණේ විනාශ වී යයි. අවුරුදු 25න් ඇතුළත් වූ කෙනා මේ වන විට අවුරුදු 28ක් පමණ වන වෙයි. අති බහුතරය ගැහැණු ය. සියයට 20ක් පමණ පිරිමි සිටින මෙම කණ්ඩායම 5000 ඉක්මවයි. ඔවුන්ගේ විවාහයන් ප්‍රමාද වනු ඇත. අනාගත සැලසුම් සහ මුලින්ම බිඳ වැටෙනු ඇත. ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවලට ඇතුළත් වන විට ගිවිසුමකට එළඹෙන ගුරු සිසුන් අනිවාර්යයෙන් ම අවිවාහක  අය බව තහවුරු කළ යුතු ය. පාඨමාලාව නිම වන තුරු ම එම කොන්දේසීන් ට යටත් විය යුතු ය. මේ නිසා අතකින් ඔවුන්ගේ අයිතිවාසිකම්වලට ද අනිසි ලෙස බලපෑමක් මෙයින් සිදු විය හැකිය. ඒ තුන්වන වසර සීමාවාසික ගුරු සිසුන්ගේ තත්ත්වයයි. ඔවුන් නම් විද්‍යාපීඨය තුළ වසර දෙකක න්‍යායික හා ප්‍රායෝගික පුහුණුව ලැබූ පිරිසකි. මාස දෙක තුනක අඩුවක් තිබුණත් ඔවුන් ගේ ප්‍රායෝගික පුහුණුවීම් හා න්‍යායික අත්දැකීම් බොහෝ සෙයින් සම්පූර්ණ කර ගත් හ.

එහෙත් දැන් දෙවන වසර ගුරු සිසු සිසුවියන් ඊට වඩා හාත්පසින් ම වෙනස් ය. ඔවුන් විද්‍යාපීඨවලට බඳවා ගෙන දිශාභිමුඛ කිරීමේ වැඩසටහන්වලින් පසු මාස 2ක් 3ක් පමණ කාලයක් නේවාසිකව අධ්‍යයන කටයුතු සිදු කරන්නට ඇත. එතැන් සිට අද දක්වාම ඔවුන් සියලු දෙනා අධ්‍යයන කටයුතුවලට සම්බන්ධ වන්නේ මාර්ග ගත ක්‍රමයට ය. නැතිනම් ඔන්ලයින් හරහා ය. මෙම තත්ත්වය සුලුවෙන් තැකිය හැකිද? පළමු වතාවට ගුරුවරයා මාර්ග ගත ක්‍රමයට ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව ලබන්නට යන්නේ මෙම කණ්ඩායමයි. අප එසේ කියන්නේ අධ්‍යාපන බලධාරින් දැනට අධ්‍යාපන විද්‍යාපීඨ 19 හි පීඨාධිපතිවරුන් වෙත උපදෙස් ලබා දී ඇත්තේ ඔවුන්ගේ දෙවන වසර අධ්‍යයන කටයුතු ද මාර්ග ගත ක්‍රමයට සිදු කර කඩිනමින් අවසන් කරන ලෙස ලබා දී ඇති උපදෙස්  පදනම් කරගෙනය. ගුරුවරයෙකු මාර්ග ගත ක්‍රමයට නිර්මාණය කළ හැකි ද? එවන් ගුරුවරයෙකුගෙන් නිර්මාණය වන  අනාගත පරම්පරාව කෙබඳු වනු ඇද්ද? අපගේ මතකයට නැගෙන්නේ විකට රංගන ශිල්පියෙකු ගැයූ ගීතයක කොටසකි. “දවසක් දා කකුලුවෙකුට මොනවද හිතිලා කෙලින් යන්න ටියුෂන් දෙන පංතියකට ගියා. මාස හයක් පාඩම් වැඩ තැපෑලෙන් කළා. සමත් වීමෙ විභාගයෙන් ඉහළින් ගොඩ වුණා.”තැපැල් මාර්ගිකව කෙලින් යන්න ඉගැන්වීමත් විද්‍යුත් තැපැල් මාර්ගිකව ඉගැන්වීමට ඉගෙනීමත් අතර ලොකු වෙනසක් නෑ කියලා අපට කියන්නට සිදු වීම කණගා‍ටුවට කරුණකි. කෙනෙකුට තර්කයක් ගොඩනැගෙනු ඇති මේ වසංගත තත්ත්වය හමුවේ වෙන විකල්ප නැතැයි කියා. වෘත්තිකයින් බිහි කළ හැකි ද ඔන්ලයින් මගින්. වෛද්‍ය ශිෂ්‍යයෙකුගේ ප්‍රායෝගික පුහුණුවීම් මාර්ග ගත කරමයට සිදු කළ හැකි ද? කෘෂිකර්ම විද්‍යාලයේ ඉගෙන ගන්න සිසුවෙකුට අවශ්‍ය  ප්‍රායෝගික අත්දැකීම් ලබා දීම මාර්ග ගතව කළ හැකි ද? නිති සිසුවෙකු ට අවශ්‍ය කුසලතාවන් මාර්ගගතව සියල්ල ලබා දිය හැකි ද? හෙදියක් මාර්ගගත ඉගැන්වීම්වලින් ගොඩනැංවිය හැකිද?  එහෙත් ඉතා සීග්‍රයෙන් පැතිර යන වසංගත තත්ත්වයන් හමු වේ  රටක ආරක්ෂක කවුන්සිලය, කැබිනට් මණ්ඩලය පවා මාර්ග ගතව නැතිනම් ඔන්ලයින්  ‍රැස් වෙනවා නම් ඇයි ගුරුවරයෙකු මාර්ග ගතව ගොඩනගන්න බැරි කියන පැනය කෙනෙකුට මතු විය හැකිය. එම කරුණ පිළිබඳව අප සවිඥානික ය. ජාත්‍යන්තර රාජ්‍ය නායක සමුළු පවා මාර්ගගත ක්‍රමයට පවත්වන බවත් අපි දනිමු.

දැන් පාසලේ පළමු ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වාත් විශ්ව විද්‍යාල සිසුවාත් මේ මාර්ග ගත අධ්‍යාපනයට අවතීර්ණ වී සිටින බවත් අපට වැටහීමක් තිබේ. 1 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා මාර්ග ගත ක්‍රමයට සිසුන් ලක්ෂ 42ක් ඉගෙන ගන්නවාද? සත්‍යය එය නොවෙයි. සියයට 40ක් පමණ පිරිසකට මේ මාර්ග ගත ක්‍රමයට ප්‍රවේශ වීමේ දුෂ්කරතා තිබෙන බව අවධානයට ලක් වී තිබෙනවා දැයි ප්‍රශ්නකාරී ය. අද ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවල ගුරු සිසුන්ගෙන් ද සියයට 35ත් 40 ත් අතර ප්‍රමාණයක් මෙම මාර්ගගත ක්‍රමයට ප්‍රවේශ වීමේ දුෂ්කරතාවලින් පෙලෙති. එසේ සම්බන්ධ නොවූවන් අසමත් කෙරෙන්නේද? එය කොතරම් සාධාරණ ද? මෙහි දී ප්‍රවේශ වීමේ දුෂ්කරතා වශයෙන් අප අදහස් කරන්නේ ඇතැම් විට ඊට අවශ්‍ය උපාංග ලැප් ටොප් පරිඝනක, සුහුරු ජංගම දුරකතන හෝ ටැබ් යන්ත්‍ර හෝ අනෙකුත් උපාංග නොමැතිකම පමණක් නොවේ. ඊට අවශ්‍ය සඥා තරංග නොමැතිකම ද අදාල ය. ශ්‍රී  ලංකා ටෙලිකොම් ඇතුළු අනෙකුත් සමාගම් සියල්ලම ආවරණය කරන කලාප පිළිබඳව සොයා බැලීමෙන් එය පැහැදිලි කර ගත හැකිය. ඊට බැඳුණූ තවත් කරුණක් වන්නේ ඩේටාවලට වැයවන අධික පිරිවැයයි.  දිනකට වැය වන ඩේටා සඳහා රුපියල් 200ක් 300ක් වැනි මුදල ද ඇතැම් විට සොයා ගැනීම දුෂ්කර විය හැකිය. එය මසකට රුපියල් 8000ක් 9000ක් පමණ වුවහොත් එය දරා ගත හැකි ද? ඔවුන් කිසිදු ආදායමක් උපයන පිරිසක් ද නොවේ. ඒ සියල්ල සැපයීමෙන් පසු මාර්ග ගත ක්‍රමයට ගුරුවරයෙකු නිර්මාණය කළ හැකි ද? අපගේ අදහස නම් ඒත් බෑ යන්නයි. එසේ කියන්නේ ගුරුවරයා නිර්මාණය කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව බලධාරින්ට තිබෙන අවබෝධය ප‍ටු එකක් නිසා ඔන්ලයින් ගුරුවරුන් නිර්මාණය කිරීමේ නිගමනවලට එළඹෙන බවයි. අධ්‍යාපනය පිළිබඳවත් ගුරු අධ්‍යාපනය පිළිබඳවත් තීන්දු තීරණ ගන්නා ඇතැම් නිලධාරීන් ට අධ්‍යාපනය පිළිබඳව හෝ ගුරු අධ්‍යාපනය පිළිබඳව සැලකිය  යුතු අවබෝධයක් හෝ වැටහීමක් හෝ නොමැති බව කොරෝනාව සමග ගෙවුණු වසර පුරාම ප්‍රදර්ශනය කොට ඇත.

ගුරුවරයා නිර්මාණය කිරීම න්‍යායික දැනුම පොම්ප කිරීමෙන් කළ නොහැකිය. ඒ සඳහා ඉගෙනුම් තලයන් ප්‍රධාන වශයෙන් 3ක් තිබේ. ඉන් පළමු වැන්න ශාස්ත්‍රීය පරිචය ලැබීමයි. එය දේශනවලදී  සිදුවන්නකි. දෙවැන්න එසේ ඉගෙන ගත් න්‍යායන් භාවිත කිරීමේ කුසලතා ප්‍රායෝගිකව ලබා දීමයි. මේ දෙකම සාමූහිකවත් තනි තනිවත් සිදු කළ හැකි ය. තුන්වැන්න මවක දරුවෙකු නිර්මාණය කරන්නාක් මෙන් සමීපව සිදු කෙරෙන පුද්ගල ගොඩනැගීම් තලයයි. ගුරුවරයෙකු නිර්මාණය කිරීමේ දී මෙකී ඉගෙනුම් තලයන් ත්‍රිත්වයටම අනුගතව සිදු විය යුතු ය. ගුරුවරයෙකුට අවශ්‍ය පෞරුෂ ගුණාංග නිර්මාණය කරන්නේ මේ ත්‍රිත්වය තුළ දී ය. ඒ සඳහා වෘත්තීය විෂයයන්, විශේෂ විෂයයන් පමණක් නොව වෛකල්පික විෂයයන් ද විෂය සමගාමී ක්‍රියාකාරකම් ද රාශියකින් යුත් පුළුල් ක්‍රියාවලියක් පවතියි. නමුත් මාර්ගගත ව ගුරුවරයෙකු නිර්මාණය කිරීම යනු මේ තුනම නිසි පරිද්දෙන් සිදු නොවීමකි. කෙනෙකුට මේවාත් ඔන්ලයින්ම කරන්නට බැරි දැයි තර්කයක් ගොඩනැගිය හැකිය. එවැනි පැනයකට දිය හැකි පිළිතුර දිගු එකක් වූවත් කෙටි පිළිතුරක් ලබා දීමට කැමතිය. ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ඇතුළත්වන අතිශය බහුතරය ගුරුකමට කැමැත්තෙන් එන අය වත් ගුරු කමට උපන් හපන්කම් දක්වන අයවත් නොවේ. ඉන් සියයට 40ක් පමණ සමාජානුයෝජනයේ ගැටලු තිබෙන, පෞරුෂ ඌනතාවලින් පෙළෙන, පළමු වසරේ දී සුළු සුළු මානසික අක්‍රමතා ඇතිවන ඇතැම් විට ඉන් සියයට 10ක් පමණ ටිකක් අවදානම් මානසික අක්‍රමතාවලින් පෙළෙන පිරිස් සිටිති. ඔවුන්ට ඉහතින් කී ඉගෙනුම් තල ත්‍රිත්වයෙන් නිරායාසයෙන් වෙනස් වීමට, පෞරුෂ ඌනතා මගහරවා ගැනීමට උපකාරී වෙයි. පාසලක පංතිකාමරයකට යන මුල්ම දිනයේ ගුරු මාණවක මානවිකාවන් සෑහෙන පිරිසකට ඇතිවන නොසන්සුන්කම, දැඩි ආතැති තත්ත්වය කෙබඳුදැයි අපි අත්දැකීමෙන් දනිමු. කුඩා ළමයින් පිරිසක් ඉදිරියේ දී පවා කතා කර ගැනීමට නොහැකිව තුෂ්නිංභූතවන, කකුල් වෙව්ලන ගුරු සිසුන් අපි දැක් ඇත්තෙමු. ඒ සැනින් ඔවුන්ට අවශ්‍ය ධෛර්යය ඊට මග පෙන්වන කථිකාචාර්යවරයා ඉහතින් කී තුන්වන ඉගෙනුම් තලයේ සිට සිදු කරයි. එය කාණ්ඩ ඉගැන්වීම් පුහුණුව හා සීමාවාසී ඉගැන්වීම් පුහුණුව, සමපදස්ත ඉගැන්වීම් පුහුණුව, ආදර්ශ ඉගැන්වීම් හා ගැඹුරු විවේචනයන් ඔස්සේ පමණක් නොව විද්‍යාපීඨය තුළ පවත්වනු ලබන විවිධ වැඩසටහන් තුළින් දෛනිකව ලබා ගනියි. පෞරුෂ ඌනතා දෙස අවධානය යොමු කළ හොත් මෙකී තත්වයන් සහමුලින් ම වෙනස් කොට තුන්වන වසරේදී (සීමාවාසික කාලයේ දී) තනිව  පංති කාමරයක ප්‍රවීන ගුරුවරයෙකු සේ වැඩ කිරීමේ ශක්තිය ලබා දීම දක්වා සිදුවන ක්‍රියාවලිය ඉතාමත් අත්‍යවශ්‍ය ය. එහෙත් දැන් 2020 දී පළමුවන වසරත් 2021 දී දෙවන වසරත් මාර්ගගතව ම ඉගෙන ගන්නා විද්‍යාපීඨ 19 හි ගුරු සිසුන් ඔන්ලයින් ගුරුවරුන් පිරිසක් ලෙස ඉදිරි වසරක දී පද්ධතියට එකතු වනු ඇත. එහි අනිසි ප්‍රතිපල ඉන් පසු වසර ගණනාවක් ම යන තුරු පද්ධතිය තුළ පවතිනු ඇත.

අනෙක් අතට ඊළග පළමු වසර ගුරු සිසුන් තවමත් විද්‍යාපීඨවලට බඳවාගැනීම ද සිදු වී නැත. කොරෝනාව මෙරට පූර්ව සේවා ගුරු අධ්‍යාපනය වලපල්ලට යවන තැනකට වැඩ සැලසෙමින් තිබෙන බව මේ අනුව පෙනී යයි. එසේ නම් කළ යුත්තේ කුමක් ද? මේ සඳහා කෙටි පිළිතුරක් ලබා දීම අසීරුය. මන් ද මේ වන විටත් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 19 ම කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස භාවිතයට ගනිමින් තිබෙන නිසා ය. වසරකටත් වැඩි කාලයක් මේ සඳහා එම නේවාසිකාගාර පමණක් නොව බොහෝ අංශ යොදාගෙන තිබේ. ඒවා නිදහස් කිරීමට ඉල්ලීම තරමක් අමානුෂික එකක් යැයි හැ‍ඟෙනු ඇත. එහෙත් රටක අනාගතය නිර්මාණය කරන ගුරුවරයා බිහිකරන භූමි ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පත් කිරීම දෙවරක් සිතා බැලිය යුතු කරුණකි. විකල්ප සෙවීම දැන් වත් සිදු කළ යුතු ය. වසරක් යනු සෑහෙන කාලයකි. සෞඛ්‍ය අංශවල පුරෝකථනයන් ට අනුව තවත් වසර 4ක් 5ක් ලෝකයට කොරෝනාවත් සමග ජීවත් වීමට සිදුවනු ඇත. අප ඊට සූදානම් ද? අනාගතය නිර්මාණය කරන දෑ සියල්ල කැප කොට කොරෝනා මඩින්නට වෙර දරන ගමන් විකල්ප සෙවීම දෙසට දැන්වත් හැරුණේ නැතිනම් රටේ අනාගතය ඉතාම දුර්භාග්‍ය සම්පන්න එකක් වීමට පිළිවන. දැන් විකල්ප ප්‍රතිකාර මධ්‍යස්ථාන ගැන සිතා බැලිය යුතු ය. ඒවා කඩිනමින් ගොඩනැගීම හා යටිතල පහසුකම් සැපයීම සිදු කළ යුතු ය. දෙවනුව දැනට වසරකට අධික කාලයක් කොරෝනාවට කැප කළ මෙරට පූර්ව සේවා ගුරු අධ්‍යාපනයේ පුරෝගාමී ආයතන වන ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ  ඉදිරි පරම්පරාවන් සඳහා සුදුසු පරිදි ප්‍රතිසංස්කරණය කර දී එහි යටිතල පහසුකම් සංවර්ධනය කළ යුතු ය. මේ කටයුතු සිදු වන අතර තුර ශීක්ෂණලාභීන් හා අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලවලට  කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දීම කෙරෙහි යොමු විය යුතු ය. තෙවනුව මාර්ගගත අධ්‍යාපනය හා සමීපව මුහුණට මුහුණ සිදු කෙරෙන සමීපස්ත අධ්‍යාපන ක්‍රියාවලිය ඇරඹිය යුතු ය.  2021,2022 වසර  අවසන් වන විට අපේ රටේ ගුරුවරුන්  30 000ක් පමණ විශ්‍රාම යෑමට නියමිත බැව් ද බලධාරින්ගේ මතකයේ තිබිය යුතු ය. මේ පිළිබඳව අතිගරු ජනාධිපතිතුමාගේත් අග්‍රාමාත්‍ය තුමාගේත් අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මැතිතුමාගේත් අධ්‍යාපන බලධාරීන්ගේත් අවධානය යොමු විය යුතු ය. රටේ වසංගත තත්ත්වය උත්සන්න වන විට එය පාළනය කිරීමට ක්‍රියාමාර්ග ගන්නා ගමන් අනෙකුත් යාන්ත්‍රණයන් ක්‍රියාත්මක වීම ද අවශ්‍ය වන්නේ ය යන අතිගරු ජනාධිපතිතුන්මන්ගේ දුර දක්නා දෘෂ්ටිය යථාර්ථයක් කිරීමට අධ්‍යාපන බලධාරින් දැන් දැන් ම සැලසුම් සකස් කළ යුතු ය. අධ්‍යාපනයේ දැවැන්ත පෙරලියකට යන්නට සූදානම් වන මොහොතක රටේ අධ්‍යාපනයේ ඉතාමත් තීරණාත්මක සාධකයක් වන පූර්ව සේවා ගුරු පුහුණව විශිෂ්ට එකක් බවට පත් කර ගැනීමට කටයුතු කළ යුතු ය. ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ විශ්ව විද්‍යාල තත්ත්වයට උසස් කිරීම හා අධ්‍යාපනවේදී විශේෂ උපාධි පිරිනමන ආයතන බවට ඒවා පත් කිරීමට කඩිනම් වැඩපිළිවෙලක් සැකසිය යුතු ය. වෛද්‍යවරයාට වැරදුන හොත් රෝගියා මිය යා හැකිය. විනිසුරුවරයාට වැරදුනහොත් වරද  සිර ගත කළ හැකිය.එහෙත් ගුරුවරයාට වැරදුන හොත් පරම්පරා ගණනාවක් වැළලෙනු ඇත. මේ සත්‍යය වටහා නොගතහොත් රටේ අනාගතය අඳුරේ ගිලී යනු නියතය. දැනටමත් පූර්ව සේවා ගුරු අධ්‍යාපනය වසර 3 කින් පමණ ආපස්සට ගොස් ඇති තත්ත්වයක් තුළ මීට කඩිනම් විසඳුම් නොගතහොත් අනාගත පරම්පරා ගණනාවකටම එහි වන්දිය ගෙවීමට සිදුවනු ඇත.

කථිකාචාර්ය එස්.එම්.පී.බණ්ඩාර

විධායක සභික

ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා සංගමය

Social Sharing
නවතම විශේෂාංග